පැතුම් කඳුවැටි පාමුල.....

සලමින් කඳුළු හමුවේ අටලෝ දහම
කිමද වෙව්ලා සැලී සිත
තරණය කරනු උගහට පැතුම් කඳුවැටි පාමුල
පිළිසරණ යැද යැද......
නොසිතූ පරිදි ළං වූ
මරණයේ අඳුරු සෙවණැලි මතින්
දින දින වියැකී යන ජීවිතය
දින දින ළඟාවන මරණය
සැමෙකක් හමුවේ නොසැලී සිටින්නට
විලසින් ඉන්ද්‍රඛීලයක්
බලගන්නට සිත් මඩල
පිය නඟනු මැනවි
අසිරිමත් ගෞතම රජදහන කරා.....
පදවැල් ගෙත්තම :: භාග්‍යා ෴

සෝමවතී සැ රජුන් නමඳිමි මා හද බැතියෙන්...
සුපින්බර ලක් මව්නි,
හතලිස් පස් වසක් මුළුල්ලේ මේ ලොව පවතින පරම සුන්දර , පරම ගම්භීර
අමා දම් ස්පර්ශ කළ ගොයුම් බුදු සමිඳුන් ගේ දකුණූ දන්ත ධාතුන් වහන්සේ
දරා වැඩ හිඳින්නී...
පුහුදුන් මිනිසුන්ට වටිනා මුතු මැණික් නුඹ ලයෙන් මතු වන
නුඹට නොවටිනා බව නොරහසකි මා හට...
චක්‍ර ලකුණින් සෝබමාන වූ රෝස පැහැති
ගොයුම් බුදු රජිදාණන් ගේ සිරිපා යුග
ස්පර්ශ කළ මා සුපින්බර ලක් මව්නි,
කෙතරම් පින්වන්ත මවක්ද ඔබ...
මහ වන මැද බුද්ධ රශ්මි ධාරාවන් විහිදුවමින්
හුදෙකලාව දිලුන සෝමවතිය,
සුන්දර සෝමවතිය දරා වැඩ හිඳින්නී...
වචන වලින් නුඹට කියනු නොහැකි වූ
බුදු සමිඳුන් ගේ ගුණ ගඟ
අනේ... අපටත් කියා දෙන්න
බුදු සමිඳුන් ගේ ම පුත් රුවනක් පහළ වුනා නොව නුඹ ළය මඩලෙන්ම...
සුපින්බර සෝමවතිය සුදෝ සුදුව බැබළෙමින් රනින් දිලෙන කොත් වහන්සේ
දරමින් දිලෙනා විට නුඹම නොවෙද මල් මාලා ගොතා පළඳවන්නට කුසුමන්
පිබිදවූ පිනැත්තී...
අනේ මේ කුසුමන් පිපෙන්නේ බුදු සමිඳුන්ට පුදා පින් රැස් කරගන්න
බව අපට කියා දී, සියතින්ම ඒ සොඳුරු කුසුමන් බුදු සමිඳුන්ට පුදා
සොඳුරු සෝමවතිය සරසන්නට
අපේ පින මතු කර දෙන්නට
මේ යුගයේ බුදු සමිඳුන් ගේම
ශ්‍රාවක පුත් රුවනක් පහළ වුනා නෙව...
සුපින්බර ලක් මව්නි,
බුදු ගුණ දරා ගත නොහී කම්පා වන්නී...,
ඒ මහා වීර වූ
පින්වත් දෙව්මිනිසුන් ගේ එකම ශාස්ත්‍රුන් වහන්සේගේ
ගුණ නොදැන උන් අපට,
මේ මහා භද්‍ර කල්පයේ
හතරවෙනුව ලොව පහල වූ ගෞතම නම් වූ බුදු රජාණන් ගැන කියා දෙන්නට
බුදු පුත් රුවනක් පහල කළා නෙව නුඹ ලය මඩලෙන්...
ඒ අසිරිමත් සම්බුදු ගුණ කැටි කොට සුන්දර කොඩි වැල්
දෙව්මිනිසුන් ගේ සාදු නද මැද
සිරසින් වැඩම කරවා, සුන්දර සෝමවතිය සරසන්න පුද දෙන්න
අපේ පින මතු කළා නෙව ඒ බුදු පුත් තෙර...
අහස් ගැබ සඳ මඩල සඟවා
පිනැත්තන්ට මහා ආලෝක පූජාව කරන්නට අවස්ථාව සලසා දුන් විට
දෙව් ලොව සිරි පරදන නීල වර්ණ ආලෝක පූජාව
අනුමෝදන් වුනා දෙව් මිනිස් හැම
ඒ සොඳුරු අසිරිය දුටු නෙත් ඇති...
නුඹ ලයෙන් මතු වූ මහා කළු ගල් හැඩ කොට
මහා කාරුණික බුදු රුව මවන්නට
ඒ බුදු පුතුන්, දෙව් මිනිසුන් ගේ පින මතුකර දුන් හන්දා...,
සුවඳ මල් පුදා ශාස්ත්‍රුන් වහන්සේව නමඳින්න අපෙත් පින මතු වුනා නෙව...
සුපින්බර ලක් මවුනි,
රැයක් පුරා අමා දම් අසන්නට ආසන පැනවූ පිනැත්තී...
නුඹව හැඩ කර සුදු වැලි අතුරා
පින්වන්තයන් උදෙසා මහ ආසන පනවන්න
අපේ පින මතු කලා නෙව
ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක පුත් රුවන...
සුපින්බර ලක් මවුනි,
නුඹ ඇකයේ උන් දරුවන් එකිනෙකා
පින ගැන නොදන්නම නිසා
දියෙහි ගිලෙනා අහින්සකයෙකු ගේ පවා අභරණ ගලවා ගනිමින් උන් යුගයක
අසරණයෙකුට කුස ගින්නට බත් පිඬ්ක් නොදුන් යුගයක
නුඹ කෙතරම් සුසුම් හෙලන්නට ඇතිද...?
නුඹේ දරුවන් සියතින්ම මනා ලෙස සකස් කොට
මහත් ගෞරවයෙන් යුතුව
තමන් සතු මිල මුදල් වියදම් කොට ඉතා පිරිසිදු ලෙස සකසා
"පින්වතුනේ එන්න,
මෙ දන් පැන් ලබා ගෙන සුව සේ සැ රජුන් වන්දනා කර පින් රැස් කර ගන්න"
යයි පවසමින් දන් පැන් දෙන විට
මවුනි නුඹට වැටහෙන්න ඇති
පින ගැන දන්නා වූ දක්නා වූ
මහ ඉසිවර ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක දරුවන් ගේ අසිරිය...
සාරිපුත්ත, මොග්ගල්ලාන, අනුරුද්ධ, ආනන්ද, කස්සප...
මහ සඟ පරපුරෙන්ම පැවත එන බුදු සමිදුන් ගේම ශ්‍රාවක පුත් රුවන පහළ නොවන්නට
අවබෝධයෙන්ම මහ දන් දී පින් රැස් කර ගන්න
අපේ පින කවුරුනම් මතු කර දෙන්නද...?
දස අත වැසුනේ පින් වරුසාමයි...
සොඳුරු කුසුමන් පැනින් නැහැවූයේ දෙවිවරුන්මයි...
සුන්දර කුසුමන් අහසින් බිමට වැටුනේ සාදු නද මැදමයි...
මහ සෙනඟ ගඟ රැස් වූයේ පින් රැස් කර ගන්නමයි...
පින් රැස් කර ගත්තෝ විවර කර ගත්තේ සුගතියට යන මගමයි...
සුපින්බර ලක් මවුනි,
සැ රජුන් නහවන්න සුවඳ පැන් මවන්නී...
මේ දැත් පින්බර වුනා නොව ඒ සුවඳ පැන් ස්පර්ශ කරන්නට...
පින ගැන දන්න වූ දක්නා වූ ගෞතම බුදු සමිඳුනේ...
නමස්කාර වේවා ඔබ හට සම්බුදු සමිඳාණෙනි...!
සැනසීම පිරී ගිය, නිවන් සුව සලසා දෙන , හැම දුක් නිමා කරවන
අති උතුම් වචනම වූ ඒ පරම ගම්භීර අමා දම් මා සිරසින් වන්දනා කරමි...!
සම්බුදු වදන්ම පවසන, මනා කොට දහම තුළ පිහිටාගෙන, උතුම් වූ නිවනට යන මගම වඩිමින... පින්වතුන් ගේ පිනම මතු කර දෙන, බුදු සමිඳුන් ගේ ආර්‍ය මහා සඟ රුවනට මාගේ වැඳුම වේවා...!
පින්වත් දෙවිවරුන් ගේ මහත් ආරක්‍ෂාව මැද සිදු කළ අසිරිමත් සැ රජුන් වන්දනාව නැවත නැවත සිහි කරමින්,
මහත් වූ පින් රැස් කර ගන්නට සියල්ලෝ දක්‍ෂ වෙත්වා...
බුදු රැස් විහිදෙන පින්වත් සෝමවතිය ,
වන සතුන් ගේද, පින්වත් දෙවි මිනිසුන් ගේද ආරක්‍ෂාව මැද
බුදු රැස් විහිදුවමින්
පින් කැමති දෙවි මිනිසුන්ට පින් රැස් කර ගන්නට තවත් බොහෝ කලක් සෝභමානව වැඩ හිඳීවා...!
තෙරුවන් සරණයි!
CHAMEERA - chameerajayasingha@gmail.com
බුදු ගුණ මහිම තුඩ තුඩ රැව් දුනාවේ....
සිව් මහ නදී සයුරට එක් වුනා වේ
හිරු සඳු නැගී අවරින් බැස ගියා වේ
අම දම් සුවඳ දසතම පැතිරුනා වේ
බුදු ගුණ මහිම තුඩ තුඩ රැව් දුනා වේ
තෙරුවන් බලෙන් නිදි දන පුබුදුවන්න යි
බුදු හිමි අනුහසින් දම් ඇස ලබන්න යි
ආරද විරිය නිති හද තුළ රැඳෙන්න යි
පිය උරුමයේ රැකවරණය ලබන්න යි
සද්ධා සීල ශ්‍රැත චාගය පඥ්ඥා ය
සක් දෙවිඳුත් වඳී මහ ගුණ සමුදා ය
උපේක්‍ෂාව මෙත් කරුණා මුදිතා ය
විවරල මඟයි තෙක් බඹු අකනිට්ටා ය
ජාතිය - ජරා - මරණය පරදවන්න යි
අනිත්‍ය - දුක - අනාත්මය දකින්න යි
රාගය - ද්වේෂ - මෝහය දුරු කරන්න යි
සිල් - සමාධි - ප්‍රඥා නිති වඩන්න යි
ඉපදුන සංඛත වෙනස්ව මියෙන්න යි
හේතුවකින් හටගත් ඵල බිඳෙන්න යි
ඵල හටගත් හේතු යළි නොම සැදෙන්න යි
ලෝ දම පසක් කොට සසරින් මිදෙන්න යි
මග අරි අටැඟි වෙත ඒවා පිනැති දන න්
විමසා නුවණ සිව් අරි සත ගැනම නිති න්
සත් තිස් බෝධි ගුණ තුළ සිත නිති වඩමි න්
ලබනට සුවය නිකෙලෙස් නිවනේ පහසි න්
බැහැරින් ලද මිතුරු කළණයි සඟ රුව නේ
කතරක අතරමග හමු උල්පත ලෙසි නේ
සදහම් ස්වාක්ඛාතයි සවනත වැකු නේ
නිති නොපමා වීරිය මිස නැත අන් සර නේ
මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි!!!
සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ.....
සිව් මහා බුදුවරුන් පහස ලද මේ බිමේ
ත්රිපිටකය අකුරු කොට සුරැකගත් මේ බිමේ
සොළොස් තැන් පහස දී බුදුන් වැඩි මේ බිමේ
රහත් මුනිවරුන් නිති ඇවිද ගිය මේ බිමේ
අම්මේ.....
දුකඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දෙදී ගෙනදෙයි සුව අම්මේ
දස මසක්ම දස දුක් විඳ ලේ කිරි පෙවු අම්මේ
යදිනෙමි වරයක් සදනට සත හට සුව අම්මේ
ආදරයේ උල්පත නුඹ නොවේය මා රාහුල පුතු
අම්මේ
මව් ගුණ සුවඳ හැමදාමත් සිහිලයි තෙදබලැතියි නුඹෙ
අම්මේ
එනමුදු ජරා මරණය ඒ හැම පරයන දුක් සයුරකි
අම්මේ
බුදු පිය උරුමය තුළ පතනෙමි රැකවරණය අවසර
අම්මේ
අනවරාඝතයි බියකරු සසර දුකක්මයි අඳුරුයි
අම්මේ
මරු පරදා මගෙ බුදු පියා ජයගති බෝ මැඩ මුල දුක
අම්මේ
ඒ මඟ අම නිවන් කෙලවර සදා සැපයි නිති සොඳුරුයි
අම්මේ
දෙනවද විවරණ පුතු හට වඩිනට රහතුන් ගත් මඟ
අම්මේ
අම්මේ
මේ ලද ක්‍ෂණය ගිලිහෙනු දී පරදිනු බෑ මේ සටනින්
අම්මේ
පූජා දී සසුනට සැදැහෙන් පිහිටා සරණයෙ තිසරණ
අම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ නෙත කඳුලින් බලා නොයින්
අම්මේ....... ෴෴෴













45