Let's Meditate ( part -08)
‘මඟ ගැන අවබෝධය විශ්වාසයට හේතුවයි’
නාවලපිටියේ අරියවංශ හිමි
මේ ධර්මතා පහ පුරුදු කරන කෙනාට සම්මා දිට්ඨිය ඇතිවෙනවා ද නැද්ද? ඇතිවෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක් ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණය , මේ කාරණා පහ පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳ අවබෝධයක් ඇතිවනවා. සම්මා දිට්ඨිය ඇතිවනවා. ඊළඟට සම්මා සමාධිය ඇතිකර ගන්න පුළුවන්කම තියෙනවා. සම්මා සමාධියෙන් යුක්ත කෙනාට යථාභූත ඤාණය ඉපදෙනවා. අන්න එයා කළකිරෙනවා .
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
අපි කථා කරමින් සිටියේ නිබ්බිදා සූත්‍රය පිළිබඳ ව. ඒ සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්මතා පහක් (අසුභ භාවනාව, ආහාරයේ පිළිකුළ පිළිබඳ භාවනාව, සියලු ලෝකයේ නො ඇල්ම පිළිබඳ සංඥාව, සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව , මරණ සතිය) පුරුදු කරන කෙනා ඒකාන්ත වශයෙන් ම කළකිරෙනවා කියලා. එතකොට සසරින් නිදහස්වීම පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන් ද? බැරිද? පුළුවන්. ඇත්තෙන් ම ලොකු විශ්වාසයක් නො වෙයි, පරිපූර්ණ විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන්. මම ලොකු කියලා කිව්වේ අපේ ස්වභාවයට අනුව යි.
යම් කෙනෙක් දක්ෂ වුණොත් එයාට පරිපූර්ණ විශ්වාසයක් කරා එන්න පුළුවන්. මේ ධර්මය පුරුදු කළොත් නියත වශයෙන් ම නිවන කරා යන්න පුළුවන්. කාටවත් වෙනස් කරන්න බැරි විදියට තමන් ගේ ශ්‍රද්ධාව ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඔබ දක්ෂ වුණොත් ඔබට පුළුවන් වෙයි මේ ධර්ම පුරුදු කළොත් ඒකාන්ත වශයෙන් නිවන අවබෝධ කරන්න පුළුවන් කියන විශ්වාසය මේ මොහොතේදී ම ඇති කරගන්න. අපට එබඳු දක්ෂකමක් ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්න ඕන. එහෙම වුණොත් එයා භාග්‍යවන්තයෙක්.
එසේ විශ්වාසයට පැමිණුනොත් එයා මොකද කරන්නේ? එයා කැමැති වෙනවා මමත් එහෙම නම් මේ ධර්මය පුරුදු කරන්න ඕන කියලා. එහෙමනම් විශ්වාසයට පැමිණිය යුත්තේ තමන් ගැනද...? නෑ. මේ ධර්මය ගැනයි විශ්වාසයට පැමිණිය යුත්තේ. ‘මේ ධර්මය යමෙක් පුරුදු කළොත් එයාට ඒකාන්ත වශයෙන් ම නිවන අවබෝධ කර ගන්න පුළුවන්’ ආන්න එහෙමයි විශ්වාස කරන්නේ. මේක කිය කියා යන එකක් ද....? නෑ මේක තමා තුළ ඉපදෙන දෙයක්. අන්න ඒක තමා ‘නිසැක බව‘ කියලා කියන්නේ.
ඒ නිසැක බව කියන එක තමාටත් අනුන්ට ත් දෙපිරිසට ම පොදුයි. ‘දැන් මට නම් මේ ධර්මය පුරුදු කළොත් හරි යයි. ඔයාලට කොහොම වෙයි ද දන්නේ නෑ...’ නිසැක බව කියන එක තුළ එහෙම දෙයක් සිදුවනව ද....? නෑ... එහෙමත් නැත්නම්, ‘ඔයගොල්ලන්ට නම් මේක ඛ්රියයි, මට මේක හරි යයිද දන්නේ නෑ...’ එහෙම එකක් තියෙනවාද....? නෑ... නිසැක බව කියන්නේ සියලු දෙනාට ම එක වාගේ. ඒ නිසා මේ ධර්මය කෙරෙහි අන්න එවැනි නිසැක භාවයකට එන්න බලන්න.
එතකොට ඒ නිසැක භාවය ඇතිවුණේ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි යි. අන්න එයා කල්පනා කරනවා ‘එහෙනම් මම මේක පුරුදු කර ගන්න බලන්න ඕන’ කියලා. එයා කලබල වෙන්නෙ නෑ.
එයා මේ ධර්මය ටික ටික පුරුදු කර ගන්න කල්පනා කරනවා. එයා ගමන යන්න පටන් ගන්නවා. ඇයි කලබලේ අත් හැරිලනේ. එතකොට බලන්න අපිට කොතරම් ලාභයක් අත්කර ගන්න පුළුවන්ද මේ ධර්මය කෙරෙහි විශ්වාස කිරීමෙන්. එහෙම නේද?
එතකොට බලන්න මේ දේශනාවෙන් කියලා දෙන්නේ මේ ධර්ම පහ පුරුදු කරන කෙනා ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීමට පත් වනවා කියන එකයි.
එතකොට අවබෝධයෙන් කළකිරීමට පත් වන්නේ කොහොම කෙනාද?... යථාභූත ඤාණය ඇති වූ කෙනා. කුමක් කෙරෙහි යථාභූත ඤාණය ද? පංච උපාදානස්කන්ධ කෙරෙහි. පංච උපාදානස්කන්ධ කෙරෙහි යථාභූත ඤාණය ඉපදුනා නම්, ඊට පසසේ එයා ඒ කෙරෙහි කළකිරෙන්න පටන් ගන්නවා.
එතකොට පංච උපාදානස්කන්ධ කෙරෙහි යථාභූත ඤාණය ඇතිවන්න නම් එයාට මොකක් ද තියෙන්න ඕන....? එයාට සමාධිය තියෙන්න ඕන. එහෙම නම් බලන්න මේ ධර්මතා පුරුදු කරන කෙනාට යථාභූත ඤාණයත් උපදිනවා. ඒකාන්ත වශයෙන් කළකිරෙන්න නම් යථාභූත ඤාණය තියෙන්න ඕනෑ.
එහෙම නම් යථාභූත ඤාණයත් උපදිනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි වැටහීමක් නැත්නම් යථාභූත ඤාණය ඇතිවෙනව ද?..... ඇතිවෙන්නේ නෑ. පංච උපාදානස්කන්ධ කෙරෙහි වැටහීමක් ඇතිවෙන කෙනාට තමයි යථාභූත ඤාණය ඇතිවෙන්නේ. එහෙනම් මේ ධර්මතා පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධ කෙරෙහි වැටහීමකුත් ඇතිවෙනවා නේද?
දැන් බලන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි වැටහීමක් ඇතිවෙන්නේ නම්, කුමක් ද තිබිය යුත්තේ....? කොහොම කෙනාට ද ඒ අවබෝධය ඇති වෙන්නේ....? සමාධිමත් කෙනාටයි. පංච උපාදානස්කන්ධ ගැන වැටහීමක් ඇතිවෙන්නේ. සමාධිමත් කෙනාට තමයි වැටහෙන්නේ, මේ තමයි රූපය, මේ තමයි රූපයේ හට ගැනීම, මේ තමයි රූපයේ නැතිවීම’ කියලා. මේ විදියට රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඤ්ඤාණය ගැන පංච උපාදානස්කන්ධය ගැන ම මේ වැටහීම ඇතිවෙන්නේ සමාධිමත් කෙනාට යි.
එහෙම නම් මේ ධර්මතා පහ පුරුදු කරන කෙනාට සමාධිය ඇතිවෙනවා නේ ද?... එතකොට බලන්න සම්මා සමාධිය ඇතිවන්නේ කොහොම ද කියන කාරණයත් අපට තේරුම් ගන්න පුළුවන්. අවබෝධයෙන් කළකිරීම ඇතිවීමට උපකාරී වන්නා වූ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ කෙරෙහි යථාභූත ඤාණය ඇතිවීමට උපකාරි වන්නා වූ සමාධිය තමයි, සම්මා සමාධිය කියලා කියන්නේ. ඒ සම්මා සමාධිය ඇතිවන්නේ කෙබඳු කෙනකුටද...? සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනකුට යි.
එහෙනම් මේ ධර්මතා පහ පුරුදු කරන කෙනාට සම්මා දිට්ඨිය ඇතිවෙනවා ද නැද්ද? ඇතිවෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක් ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණය , එහෙනම් මේ ධර්මතා පහ පුරුදු කරන කොනාට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණයත් ඇති වෙනවා නේද? ඇතිවෙනවා.
එහෙමත් නැත්නම් මේ කාරණා පහ පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳ ව අවබෝධයක් ඇතිවනවා. මේ දේශනාවේ ඒ කාරණා සෘජුව පෙන්වා දීල නැති වුණත්, බලන්න ඒ ධර්මතා පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධ පිළිබඳ වැටහීමක් ඇතිවෙනවා.
සම්මා දිට්ඨිය ඇතිවනවා. ඊළඟට සම්මා සමාධිය ඇතිකර ගන්න පුළුවන්කම තියෙනවා. සම්මා සමාධියෙන් යුක්ත කෙනාට යථාභූත ඤාණය ඉපදෙනවා. අන්න එයා කළකිරෙනවා ඒකාන්ත වශයෙන් ම කළකිරෙනවා.
එහෙනම් බලන්න මේ ධර්මතා පුරුදු කරන කෙනා නොමඟට යනවා ද? නොම¼ග යන්නේ නෑ. මේ ධර්මතා පුරුදු කරන කෙනා නිවැරැදි මාර්ගයේ නේ ද යන්නේ? නිවැරැඳි මාර්ගයේ යනවා. එහෙනම් බලන්න අන්න ඒ වගේ දේශනාවක් කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න පුළුවන් වුණොත් එයා ඒකාන්ත වශයෙන් ම නිවන් මඟට විශ්වාසය ඇතිකර ගෙන නේ ද....? අන්න ඒ විදියට මඟ කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්ත කෙනා භය වෙනවද?, සැක කරනවද, කලබල වෙනව ද නෑ...? එයා මහත් ප්‍රබෝධයෙන් ඉඳීද නැද්ද....? එයා මහත් ප්‍රබෝධයෙන් ඉන්නවා. ඇයි ඒ.....? එයා සෙව්වේ නිවන් මඟ නම් ඒ සොයපු නිවන් මඟ මුණ ගැසුණා. ඒ නිසයි, එයා ප්‍රබෝධවත් ව ඉන්නේ.
දක්ක ද මේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති වූ කෙනාට සිද්ධ වෙන දේ...? එහෙනම් ඒ වගේ බලවත් විශ්වාසයක පිහිටපු පිරිසක් ඈලි මෑලි ස්වභාවයෙන් ඉඳීද.....? එහෙම ඉන්න හේතුවක් නෑ නේද?... එහෙනම් යම් පිරිසක් ඈලි මෑලි ස්වභාවයෙන් ඉන්නවා නම්, අපහසුතාවයෙන් ඉන්නවා නම්, ප්‍රබෝධය නැති විදියට ඉන්නවා නම්, මැළිවෙලා ඉන්නවා නම්, අව්වට වේලිච්ච ලා උණ ගස් වගේ නම් ඉන්නේ මොකක් ද ඒකට හේතුව මොකක් ද? ඒ අය ධර්මය කෙරෙහි විශ්වාසයට පැමිණිලා නැති බවයි ඒකෙන් පේන්නේ.
එහෙනම් අපි මොකද කළ යුත්තේ? වහා වහා මේ ධර්ම කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්න කල්පනා කළ යුතු යි. අන්න ඒ සඳහා උපකාරයක් තමයි මේ සිදු කරන්නේ.ඒ උපකාරය මඟ පෙන්වීමක් පමණ යි. විශ්වාසය ඇතිකර ගැනීම තම තමා විසින් ම කළ යතු වෙනවා.
(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම් දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)
http://www.lakehouse.lk/budusarana/2009/12/09/tmp.asp?ID=vision02
මේ දුක සත්‍යයක් ම යි.....
ඔබ අප සරණ ගිය තුන්ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලොව පහල වුනේ එකම එක කරුණක් උදෙසා. ලෝක සත්‍යය, එනම් චතුරාර්‍ය සත්‍යය ධර්මය කියා දී මේ සසර දුකට වැටුනු සත්වයා ඉන් එතෙර කරවීමට. බුදු සසුනක් තුළ ඒ වටා සිදුවන අන් සියළු කාරණා සැලකෙන්නේ දෙවනුවයි. ඒ සියල්ල සිද්ධ වන්නේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සමාජගත වීමේ දී ඒ සමාජය විසින් ධර්මය පිළිගන්නා වූ ඒ වගේම ඒ තුල හැසිරෙන්නා වූ පිළිවෙල හා සබැඳි සංකීර්ණ ක්‍රියාදාමය තුළ.
ඉතින් මොකක්ද මේ චතුරාර්‍ය සත්‍යය? දන්න නමුත් අමතක අයට ආයෙත් මතක් කරලා දෙමු සරලව. චතුරාර්‍ය සත්‍ය...... ආර්‍ය, ඒ කිව්වෙ උතුම් සත්‍ය හතරක්. මේ විශ්වයේ සිටින කිසිදු දෙවියකුට, බඹෙකුට, මාරයකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයකුට වෙනස් කළ නොහැකි අකාලික වූ සත්‍ය හතරක්….. අපි ඔයාලා ජීවත් වෙන මේ ලෝකෙ ගැන. පවත්වන මේ ශරීරෙ ගැන. ජීවිතය ගැන. ඒකෙන් පළවෙනි එක තමයි 'දුක්ඛ සත්‍යය'. ඒ කියන්නේ මේ ලෝකයේ උපන් සත්වයා හට නිතැතින්ම උරුම දුක. ඒක සදා නොවෙනස් වන සත්‍යයක්. ලෝක සත්වයා ඉමක් නිමක් නොපෙනෙන මේ සසරේ මේ තරම් දුරක් ආවෙත්, යම් තාක් දුර තව යතොත් ඒ යන්නෙත් මේ මහා දුක ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැති නිසාමයි. අප භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ධර්මය මනා කොට පිරිසිදුව වදාළා. මුළ-මැද-අග යන තුන් කොටසම. ඒකනේ මේ උතුම් ධර්මය 'ස්වාක්ඛාත' යි කියන්නෙ. ඒකනේ මේ ධර්මය අනෙක් විවිධාකාර වූ ශාස්ත්‍රූවරුන් විසින් පවසන ලද දේට වඩා ශක්තිමත් පදනම් සහිත, සත්‍යවාදී වගේම යතාර්ථවාදී දහමක් වෙන්නේ. ඉතින් උන් වහන්සේ අපට මේ දුක ගැන විතරක් කියලා අපව අතරමං කලේ නැහැ. ඒ දුක හට ගැනීමට හේතුව 'දුක්ඛ සමුදය සත්‍ය', ඒ දුකේ නැති වීම 'දුක්ඛ නිරෝධ සත්‍යය' වගේම ඒ දුක නැති කිරීමේ මාර්ගය වන 'දුක්ඛ නිරෝධගාමණී පටිපදා සත්‍යය' ත් අප කෙරෙහි උපන් මහා කරුණාවෙන් ම පෙන්වා දී වදාළා.
පළවෙනි වතාවට මුහුද දකින කෙනාව, ඒකට බහින්න හදන කෙනාව බෝට්ටුවකින් ගෙනිහිල්ලා මූද මැද අතහරින්නෙ නැහැනෙ. එයාට ඉස්සෙල්ලාම වැල්ල පාගන්න අරින්න ඕන. වැල්ලට ටිකක් හුරු වුනාම එයා යනවා රැල්ල පාගන්න. ඊට පස්සෙ ගොඩනැගෙන විශ්වාසය වගේම ඕනෑකම මත එයා ටික ටික ගැඹුරට යාවි. කාලයක් ගියාම ඕනනම් පුළුවනි බෝට්ටුවකින් ගිහින් මූද මැදට පනින්නත්. හැබැයි අපි මුල හරියට දැනගන්න ඕන. නැතිවුනොත් අමාරුවේ. ඒ නිසායි අපි 'දුක්ඛ සත්‍යය' අපේ මාත්‍රුකාව කරගත්තේ. මුල පැහැදිලි කරගන්න. අඩුගානෙ සංසාරගත සත්වයා මෙහෙම ගැටළුවක පැටලිලා තියෙන බවවත් අවබෝධ කරගන්න.
ඉතින් මේ දුක ගැන භග්‍යවතුන් වහන්සේ වදාළේ මොකක්ද....... සිහනද පතුරමින් එදා ඉසිපතන මිගදායේ ප්‍රවර්තනය කරන්නට යෙදුනු මහා ධර්ම චක්‍ර සූත්‍රයේ දී උන්වහන්සේ දුක ගැන මේ අකාරයෙන් පෙන්වලා දෙනවා. ".....ජාතිපි දුක්ඛා - ජරාපි දුක්ඛා - ව්‍යාධිපි දුක්ඛා - මරණම්පි දුක්ඛා - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො - පියේහි විප්පයෝගෝ දුක්ඛො - යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තේන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා....." කාටත් තේරෙන සිංහලෙන් කිව්වොත්..... ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩදුක් වැළඳීම දුකයි, මරණය දුකයි, අප්‍රිය පුද්ගලයන් වගේම අප්‍රිය වස්තූන් සමඟ එක්වෙන්න ලැබීම දුකයි, ප්‍රිය පුද්ගලයන් වගේම ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වෙන්න ලැබීම දුකයි, ආස කරන දේ නොලැබී යාමත් දුකයි. කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදාන්කන්ධයම දුකයි. ඉතින් ඔයාලම ටිකක් හිතලා බලන්න ඔය පිනට ලැබුනු නුවණ පොඩ්ඩක් පාවිච්චි කරලා..... මීට පරිබාහිර දෙයක් අපට උරුම වෙලා තියෙනවද? මේ කිසිම දෙයක් අපට සතුට ලබා දෙන දේවල් ද? මේ දුක් සියල්ලම නොඅඩුව අපි නිතැතින්ම අත් විඳිනවා නේද? ඒත් අපි තාමත් මේ දුකම බදාගෙන, දුකටම ඇලිලා, සැප වේෂයෙන් එන දුකටම රැවටිලා, මොහොතක ආශ්වාදය වෙනුවෙන් ඒ දුක තුරුල්ලටම නේද යන්නේ හරියට අර මහ වැස්සිගේ තනබුරුල්ලෙන් කිරිබොන්න වැස්සිගෙ තුරුල්ලටම යන වහු පැටව් වගේ. කවදාවත් අපට හිතුනද ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ කියලා. ඒ දුකින් ගැලවෙන්න විදියක් ගැන මොහොතකටවත් හිතුවද.....? ගැලවෙන්න කලින් මෙහෙව් දුකක් තියෙනවා කියලවත් අල්ප මාත්‍ර තරමක හරි වැටහීමක් ඇතිවුනා නම් ඒකත් බොහොම වටින දෙයක්.
මතු සබැඳි....

දැන්වත් බිමින් තියමුද ඔය 'හණ මිටිය'..... (ගෞතම සංදේශය 05)
'හණ මිටි කාරයො' කියන අය ඕනම සමාජයක ඕන තරම් ඉන්නවනෙ. නිතරම වගේ හමුවෙනවත් නෙ. සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වන්නෙ යල් පැනගිය, නැත්තං තේරෙන් බාසාවෙන් කිව්වොත් 'expired' අදහස් තියෙන, ඒවායෙම ඉල්ලීගෙන ඉන්න, ඉන් බැහැර කිසිම දෙයක් මොනම හේතුවක් නිසාවත් නොසලකන, පුහු මාන්නය වගේම මෝඩකම නිසා සිතීමේ ශක්තිය හීනවීමෙන් මනෝඅන්ධ භාවයට පත් වුන, අනුකම්පා ලැබිය යුතු අසරණ පිරිසක්. බටහිර අධිරාජ්‍යවාදී ගැති පසුබිමක් මත බිහිවූ ලාංකීය වලව් පැලැන්තියේ අවසාන පුරුක් මෑත ඉතිහාසයෙන් ගෙන හැර දක්වන්න පුලුවන් ප්‍රබල උදාහරණයක්. ගෞතම සංදේශයෙන් අද කතාබහට ලක්වෙන්නේ බුදු සසුනක් තුලදී අපට හමුවෙලා තියෙන මෙවැනිම පිරිසක් ගැන. අමතක කරන්න එපා...... ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඕපනයිකයි. තමා තුළට පමුණුවාගෙන දැකිය යුතු ධර්මයක්. තමුන් ඉන්න තැන තමුන්ටම බලා ගත හැකි වේවි අනිත් අයට ඇඟිලි දික් කරන්න කලින්. මොකද බුදුන් වහන්සේ වදාළේ මේ ධර්මය තමාව දකින කැඩපතක් කරගන්න කියල යි.
හුඟ දෙනෙක් මේ වහරට මුල් වුන කතාවත් නොදන්නවා වෙන්න පුළුවනි..... ඔන්න යාළුවො දෙන්නෙක් දුර ගමනක් යනවා 'හණ මිටි' දෙකක් කරේ තියාගෙන. ටික දුරක් යනකොට මේ දෙන්නට හමු වෙනවා තඹ ගොඩක්. එක්කෙනෙක් හණ මිටිය විසිකරල තඹ මිටියක් බැඳගෙන කරතියාගන්න අතරෙ අනිත් කෙනා කියනවා මම කරතියාගෙන ආපු හණ මිටිය මට හොඳයි කියලා. ඉතින් එතනින් පිටත් වෙලා ටික දුරක් යනකොට හමු වෙනවා රිදී ගොඩක්. තඹ මිටිය කර තියාගෙන ඉන්න කෙනා ඒක අතෑරල රිදී මිටියක් බැඳගෙන කරතියා ගන්නවා. අනිත් යාළුවා තාමත් හණ මිටිය කරගහගෙන යනවා. තව දුර යද්දි මෙයාලට මුණගැහෙනවා රත්තරං ගොඩක්. රිදී මිටිය කරේ තිබුනු කෙනා ඒක අතෑරලා ලොකු රත්තරං මිටියක් බැඳල කරතියා ගන්නවා. ඒ අතරෙ අනෙක් යාළුවා ගැන අනුකම්පාවෙන් කියනවා දැන්වත් ඔය හණ මිටිය විසිකරල රත්තරං මිටියක් බැඳගන්න කියලා. ඉතින් එයා කියනවා රත්තරං නම් වටිනවා තමයි. ඒත් මම මෙච්චර දුරක් කරතියාගෙන ආපු මේ හණ මිටිය අතාරින්නෙ කොහොමද කියලා ඒකම කරතියාගෙන යනවා...... ඉතින් බලන්න යාළුවනේ, දෙන්නා ලඟම මුලින් තිබුනේ හණ මිටි. නුවණ තිබුන කෙනා හරි දේ, වටිනා දේ හමුවෙනකොට නුවණ පාවිච්චි කරල ඒ දේ අල්ලගන්නවා. අනුවණ, මෝඩ, මාන්නක්කාර කෙනාගේ ඉරණම නම් ඇත්තටම සෝචනීයයි. ඔන්න ඔය විදියට තමයි 'හණ මිටි කාරයා' අපේ ජනවහරට එකතු වුනේ.
මේ පුංචි මුතු ඇටයේ සිංහ ලේ තියෙන මව් පිය දෙපලකට දාව මේ වගේ කාලෙක මිනිස් උපතක් ලබන්න අපිට තිබුනු වාසනාව, පින ප්‍රමාණ කරන්න බැහැ. ඒක මේ උතුම් ධර්ම ලාභය ලැබුනු අපට වගේම ඔයාලටත් ඒ ආකාරයෙන්ම දැනෙනවා ඇති. ඒත් අපි පහු කරල තියෙන මේ රටේ මෑත ඉතිහාසය නම් ඒ තරම් වාසනාවන්ත වුනේ නැහැ. පහුගිය අවුරුදු 500-1000 පමණ හරිම අවාසනාවන්ත, අඳුරු කාලපරිච්ඡේදයක් අපි පහු කරලයි ඉන්නේ. ඒ නිමල බුදු දහම මුළු දඹදිව් තළයෙන්ම වියැකිලා ගියා. මුළු ආසියාකරයෙන්ම ත්. ඒත් මේ පුංචි බිමේ එදා වැඩ හිටි ඒ අසිරිමත් රහත් මුනිවරු අනාගත පරපුර උදෙසා සිදු කළ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඒ මහා පුණ්‍ය කටයුත්ත නිසා අදටත් අපි ඒවායින් අමිල ප්‍රයෝජන ගන්නවා. අද ඒ දේවල් එහෙමෙ සිද්ධ වුනත් එදා ඒ රහතුන් ගේ යුගයෙන් පස්සේ ධර්මය යට ගියා. පොත් වලට පමණක්ම සීමා වුනා. අධර්මය ශීඝ්‍රයෙන් පැතිරෙන්න වුනා..... ධර්මයේ නාමයෙන්. අවාසනාවට ඒක සිද්ධ වුනේ සසුන් ගත වුන චීවරධාරීන් අතින්මයි. අදටත් අපි ඒ දේවල් අත්දකිනවනේ. ඉතින් ඒ විදියට අධර්මය සමාජගත වෙද්දි මිනිස්සු හිතුවේ ඒ තමයි ධර්මය කියලා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අධර්මයම සරණ ගියා. හණ මිටියම කරතියාගෙන ආවා. ඒත් අපි තාමත් පිංවන්තයි. අපිට රත්තරං හමුවෙලා තියෙනවා. ඒ කිව්වේ අපිට ශ්‍රී මුඛ බුද්ධ වචනය හමුවෙලා තියෙනවා. ඒ උතුම් ධර්මය අපට දැන් විවර වෙලා තියෙනවා. ඉතින් තවත් ඇයි මේ හණ මිටි කරගහගෙන....?
අපි හැමෝම 'කඩය' ක හිමිකාරයෙක්. ඒ තමා වේලපත්කඩය.... උපතින්ම බෙල්ලේ බඳින කේන්දරය. නැත්තං හඳහන. මේ තරම් පිරිසිදු ධර්මයක් ලැබිලා තියෙන වෙලාවෙ බමුණන්ගෙන් ලැබුනු මේ 'අධර්මය', මේ 'හණ මිටිය' අතහැරගන්න බැරුව කීදෙනෙක් නම් නිරයගාමී කර්ම රැස්කරනවද? නිකමට හිතලා බලන්න ඔබ සරණ ගිහිල්ලා තියෙන්නේ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයද නැතිනම් අර පෘථඃජන බමුණගෙ කේන්දරේද කියලා. මේ මිනිස්සු සරණ ගිය තවත් අධර්මයක් තමා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ඔලුගෙඩි වලට රිංගවපු 'පෘථඃජන විද්‍යාව'. බලන්න අද කී දෙනෙක් මේ අන්ධබාල විද්‍යාව සරණ ගිහිල්ලා ධර්මයට ගරහනවද කියලා. මාන්නය වගේම මෝහය නිසා හරි දේ දැක දැක වැරදි දේම එල්ලිලා ඉන්නවද කියලා. බුදු නුවණින් අවබෝධ කරල උගන්වන දේවල් මේ මොන්ටිසෝරි විද්‍යාවෙන් හොයාගන්න කල් අද කී දෙනෙක් කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවද...? ඔහොම නෙවෙයි අහසෙ සක්මන් කරන තත්වෙට ඔය කියන විද්‍යාව දියුණු වුනත් මේ උතුම් ධර්මය ඔය විද්‍යාව තුලින් දකින්න බැහැ. ඒක සිද්ධ නොවෙන දෙයක්. අපි මේ කතා කලේ අපට පැහැදිලිවම පේන, පහසුවෙන් තේරුම් ගන්න හැකි, බොහෝ අයට බලපාන උදාහරණ දෙකක්. මේ වගේ තවත් කොයිතරම් නම් අසාර දේවල් තුල මිනිස්සු හිර වෙලා ඉන්නවද....
තව දෙයක් තමයි හරි ධර්මය වුනත් හරි විදියට ඉගෙන ගත්තෙ නැති වුනාම ඇති වෙන ගැටළු. උදාහරණයක් විදියට මෛත්‍රී භාවනාව....... අපි පුංචි කාලෙ ඉඳල ඉගෙනගෙන තියෙන විදිය තමයි 'සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා......’ ආදී වශයෙන්. අපි ගිය පාසලේ වගේම දහම් පාසලෙත් ඉගැන්නුවෙ මේ විදියටනෙ (බහුතරයක්). නමුත් ඒ විදියෙ මෛත්‍රී භාවනාවක් බුද්ධ දේශනා වල සඳහන් වෙන්නෙ නැහැ. ඒක වැරදියි. ඉතින් ඒ උතුම් පිරිසිදු බුද්ධ දේශනා කියවලා ඒවායෙ තියෙන හරි දේවල් හරි විදියට අපට ඒ කළ්‍යාණමිත්‍රයන් විසින් කියලා දෙනකොට ඒ දේවල් කරුණු සහිතව විමසලා බලලා පිළිගන්න තරම් අපි නිහතමනී වෙන්න ඕන නේද...... අපි ධර්මය තුලින් බලාපොරොත්තු වෙන්නෙ අපේ ගුණධර්ම දියුණු කරගෙන නිවන් මඟ තුල හික්මෙන්න නේද.....
බොහෝ දෙනෙක් කරන්නේ තමුන් දන්න දේට, ඉගෙනගෙන තියෙන දේට වඩා වෙනස් දෙයක් කවුරුහරි කිව්වම ඒකෙ හරි වැරැද්ද නුවණින් විමසලා බලන්නෙ නැතුව පුහු තර්ක, විවාද ගොඩනගාගෙන ඒ මත්තෙ ගැටෙන එකනෙ. ඉතින් ඒ කෙනාට හරි දේ, වටිනා දේ අල්ලගන්න බැරුව යනවා. මඟ හැරෙනවා. ඉතින් මේ විදියට මුළු ජීවිත කාලයේම පුහු මත ගොඩක හිරවෙලා, හරි දේත් එක්ක ගැටෙමින් ඉඳල අන්තිමට හිස් පුරුෂයෙක් වගේ හිස් අතින්ම මැරිලා යනවා. ඉන් පස්සෙ සිද්ධ වෙන දේ ගැන ඉතින් 'බෞද්ධ' ඔයාල දන්නවනෙ.
ඉතින් තවදුරටත් හණ මිටිය කරේ තියාගෙන යනවද නැත්තං රත්තරං අරගෙන යනවද.....? තීරණය බුද්ධිමත් ඔබ අතේ....... හැබැයි පෙරහැර යන්න කලින්.
'ගෞතම සංදේශය'
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....





