ශූන්යතාවය
පින්වත් යාලුවනේ"
ශූන්යතාවය පිළිබඳ ව නොයෙකුත් අදහස් දක්වා තිබූ නිස යි මෙය ලියන්නට කල්පනා කළේ"
ශූන්යතාවය කියන මෙම වචනය පෙරදිග ආගමික දර්ශනයන් ගේ සේ ම අපරදිග දර්ශනයන් ගේ ද බොහෝ තැන් වල දක්නට ලැබෙනවා' බුදු සමිදුන් ගේ ශ්රී සද්ධර්මය තුළ හැරෙන්නට අන් සෑම තැනක දී ම ශූන්යතාවය යන්නෙන් අදහස් වී තිබෙන්නේ 'කිසිවක් නැත' යන අර්ථය යි. ‛කිසිවක් නැත’ යන අර්ථය (නාස්තිත්වය - නත්ථිතං) එක්තරා අන්තයක් බව යි බුදු රජාණන් වහන්සේ කච්චානගොත්ත සූත්රයේ දී දේශනා කොට වදාළේ. ඒ අනුව කිසිවක් නැත යන්න ලෝක සමුදය නො දැකීම නිසා ම සත්වයන් ගේ සිත් තුළ ඇතිවන මුලාවක් පමණ යි. නමුත් අප ගේ බුදු සමිදුන් වදාළ ශ්රී සද්ධර්මය තුළ අපට මුණ ගැසෙන ශූන්ය යන වචනය (පාළියෙන් සුඤ්ඤ) ඊට හාත්පසින් ම වෙනස් පරම ගම්භීර යථාර්ථයක් පෙන්වා දෙන එකක්.
එක්තරා අවස්ථාවක පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ, මෙසේ විමසා සිටියා..
ස්වාමීනී භාග්යවතුන් වහන්ස, “ලෝකය ශූන්යය යි, ලෝකය ශූන්යය යි (සුඤ්ඤතෝ ලෝකෝ, සුඤ්ඤතෝ ලෝකෝ)” කියා කියනවා. ස්වාමීනී, ලෝකය ශූන්ය යි කියල කියන්නේ කවර කරුණු මත ද?
එවිට මෙම ශූන්යතාවය යන වචනයේ සැබෑ අර්ථය විවරණය වන ආකාරයේ අසිරිමත් පිළිතුරක් අප ගේ ශාස්තෘන් වහන්සේ විසින් පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට ලබා දෙනු ලැබුවා..
“පින්වත් ආනන්ද, යම් කරුණක් නිසා ආත්මයෙනුත්, ආත්මයකට අයිති දෙයකිනුත් ශූන්ය (හිස්) වෙයි ද (සුඤ්ඤං අත්තේන වා අත්තනියේන වා), අන්න ඒ නිස යි ලොකය ශූන්ය යි කියා කියන්නේ...
පින්වත් ආනන්ද, ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයකිනුත් ශූන්ය වන්නේ කුමක් ද? පින්වත් ආනන්ද, ඇස ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. රූප ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. ඇසේ විඤ්ඤාණය ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. ඇසේ ස්පර්ශය ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, සැප දුක් රහිත වේවා යම් විඳීමක් ඇද්ද එය ත් ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි.
කණ...නාසය...දිව..කය.... මනස ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. මනසට අරමුණු වන ධර්ම ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. මනසේ විඤ්ඤාණය ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. මනසේ ස්පර්ශය ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, සැප දුක් රහිත වේවා යම් විඳීමක් ඇද්ද එය ත් ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය යි. පින්වත් ආනන්ද, යම් කරුණක් නිසා ආත්මයෙනුත්, ආත්මයකට අයිති දෙයකිනුත් ශූන්ය (හිස්) වෙයි ද, අන්න ඒ නිස යි ලොකය ශූන්ය යි කියා කියන්නේ”
ආර්ය විනයේ ‛ලෝකය - ලෝකෝ’, එහෙමත් නැත්නම් ‛සියල්ල - සබ්බං’ කියා කියන්නේ මේ ආධ්යාත්මික බාහිර ආයතනයන්ට ම යි. එම නිසා මුලු මහත් ලෝකය ම ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයිනුත් ශූන්ය වෙනවා. එම නිසා ම යි ලෝකය ශූන්ය යි කියා කියන්නේ..
බුදු රජාණන් වහන්සේ තවත් අවස්ථාවක මෝඝරාජ නම් මානවකයා අමතා මෙම අසිරිමත් ගාථාව වදාළා..
“සුඤ්ඤතෝ ලෝකය අවෙක්ඛස්සු මෝඝරාජා සදා සතෝ,
අත්තානුදිට්ඨිං ඌහච්ච ඒවං මච්චුතරෝ සියා,
ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජ න පස්සතීති
පින්වත් මෝඝරාජ හැම කල්හි ම සිහියෙන් යුතු ව, ආත්මදෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්ය වශයෙන් බලන්න. මේ අයුරින් බලන විට මාරයා ඉක්මවා යන්නෙහි ය. මේ අයුරින් ලෝකය දකින තැනැත්තා ව මාරයා නො දකින්නේ ය.”
මෙතැන දී ද ශූන්ය වශයෙන් ලොව බලනවා යනු, ලෝකය ආත්මයකට හෝ ආත්මයකට අයත් දෙයින් හිස් බව දැකීම යි.. මෙම කරුණ වරදවා වටහාගත් පිරිස් තමයි මෙම ගාථාව පදනම් කොටගෙන පසුකාලීනව මහායානික ශූන්යතාවාදය බිහි කළේ...
ලෝකය ශූන්ය වශයෙන් දැකීම පදනම් කරගෙන සමවදිනු ලබන ශූන්යතාසමාධිය නම් වූ සමාපත්ති ගැන බුදු රජාණන් වහන්සේ අපට කියා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වුණු සොඳුරු දේශනා තුනක් මජ්ඣිම නිකාය උපරිපණ්ණාසකයේ - තුන්වෙනි පොත් වහන්සේ තුළ අපට හමු වෙනවා. ඒ තමයි ආනෙඤ්ජසප්පාය සූත්රය, චූල සුඤ්ඤත සූත්රය සහ මහා සුඤ්ඤත සූත්රය.. විශේෂයෙන් චූල සුඤ්ඤත සූත්රයේ දී බුදු රජාණන් වහන්සේ පරියාය වශයෙන් විවිධ වන ශූන්යථා සමාපත්ති ගැන සේම, නිශ්පර්යායයෙන් අනුත්තර වූ ශූන්යතා සමාපත්තිය වන අරහත්ඵල සමාපත්තිය ගැනත් දේශනා කොට වදාරණවා.
එසේ ම මහා වේදල්ල සූත්රයේ දී ශූන්යතා චේතෝවිමුක්තිය ගැන අපට මෙසේ කරුණු මුණ ගැසෙනවා.
“ඇවැත්නි, ශූන්යතා චේතෝ විමුක්තිය යනු කුමක් ද?
ඇවැත්නි, මේ සසුනේ භික්ෂුවක්, ආරණ්යකට හෝ, රුක් මුලකට හෝ ශූන්යාගාරකයට හෝ ගොස් මෙසේ නුවණින් විමසනවා...‛මෙය ආත්මයෙනුත් ආත්මයකට අයත් දෙයකිනුත් ශූන්ය වෙයි' යනුවෙනි. ඇවැත්නි මෙය ශූන්යතා චේතෝවිමුක්තිය යැයි කියනු ලැබේ.”
මේ සම්බන්ධයෙන් වඩා ත් විස්තර දැන ගැනීම සඳහා, ඉහත සූත්ර දේශනා තුන සහ මහා වේදල්ල සූත්රය කියවන ලෙස පින්වත් ඔබගෙන් ඉල්ලා සිටින්නට කැමති යි... මේ කරුණු වලින් සැබැවින් ම ශූන්යතාවය පිළිබඳව බුදු සමිඳුන් වදාළ දෙය සම්බන්ධයෙන් අල්ප හෝ දැනුමක් ඔබ තුළ ඇතිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා..
පින්වත් ඔබට උතුම් චතුරාර්ය සත්ය ධර්මයන් අවබෝධ කරගෙන පරම ශූන්යතා සමාපත්තිය උපදවා වාසය කරන්නට භාග්ය උදාවේවා...
තෙරුවන් සරණ යි..
බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ශුන්‍ය ලෙසින් බලන්න කියා. ඒ කියන්නේ ක්‍රියාවක්(ක්‍රියා පදයක්). පසුකාලිනව නාගාර්ජුනයන් විසින් ශුන්‍යතාවාදය බිහි කිරිමට එය යොදා ගත්තා(වරදවා වටහාගෙන ), එහෙත් එහිදි ශුන්‍ය කියන්නේ නාම පදයක්.
නාගාර්ජුනගේ ශුන්‍යතාවාදයේ හා බුදුරජාණන් වහන්සේ දේශනා කල ශුන්‍යතාවයෙන් කියවෙන්නේ එකක නොව දෙකකි.
කෙසේ වෙතත් නාගාර්ජුනගේ ශුන්‍යතාවය නිසා ලෝකයට විශාල මෙහෙයක් සිදුවුවා.අද ලොකයේ අනෙක් තැන්වල ශුන්‍ය ලෙසින් යෙදෙන්නේ නාගාර්ජුන හදුන්වාදුන් ශුන්‍යයි.