Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

හරකා ගෙට ගැනීම සහ....

Sunday, October 11, 2009 , at 11:50 AM


හරකා ගෙට ගැනීම සහ අම්මා ගාලේ බැඳීම...!

පින්වත් යාලුවේ,

පුංචි නමුත් ගොඩක් වැදගත් කාරණා ටිකක් ලියල එවන්න ඕන කියල හිතුනා. මේ ලිපිය මුල ඉදන් අගට ම හොඳ අවදානයෙක් කියවන්න කියල මම බොහොම ගෞරවයෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

අපි කාගෙත් ආදරණීය ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, යම් කිසි කෙනෙක්, කරුණු නිවැරදිව තේරුම් ගන්නෙ නැතුව, තිබෙන සැබෑ ස්වභාවය මොකක් ද කියල දැන ගන්නෙ නැතු ව, අපැහැදිය යුතු තැනට පහදිනවා නම්, පැහැදිය යුතු තැනට අපහදිනවා නම් ඒ තැනැත්තා බොහෝ පවු රැස් කර ගන්නා බව. ඒ වගේ ම ඒ තැනැත්තා ගුණ සාරා දැමූ, ගුණ විනාශ වූ ජීවිතයක් ගත කරනවා කියල තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ වගේ ම ඒ තැනැත්තා බාලයෙක් බව ත් අසත්පුරුෂයෙක් බව ත් උන්වහන්සේ දේශනා කළා.

වර්තමාන සමාජයේ යහපත් දේවල් කරන සමහර උදවිය පවා, පැහැදිය යුතු තැන අතහැරල අපැහැදිය යුතු තැනට පැහැදිලා කටයුතු කරනවා. එහෙමත් නැත්නම් සමහර අය, පැහැදිය යුතු තැනට ත්, අපැහැදිය යුතු තැනට ත් කියන දෙකට ම පැහැදිලා කටයුතු කරනවා. එහෙම කටයුතු කිරීමෙන් තේරෙන්නේ ඒ අය පැහැදිය යුතු තැනට පැහැදිලා තිබෙන්නේ කරුණු තේරුම් අරගෙන නො වෙයි කියල යි. ඉතින් ඒ අය ගේ පැහැදීම හරි ම අස්ථීර එකක්. ඒ අය නිකරුණේ බොහෝ අකුසල් රැස් කර ගන්නවා.

අපි නො පැහැදිය යුතු පුද්ගලයින්ට සහ නො පැහැදිය යුතු තැන් වලට පැහැදිලා කටයුතු කිරීමේ ආදීනව බොහොමයක් තිබෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් යම් කිසි දේකට පැහැදුනාම එයා ගේ ස්වභාවය තමයි, ඒ ස්ථානයේ හෝ පුද්ගලයා ගේ ගුණ අන් අයට ප්‍රකාශ කිරීම. එවිට සිද්ධ වන්නේ අනිත් අය ත් ඒ වචනය විශ්වාස කරලා, ඒ අපැහැදිය යුතු තැනට පැහැදීම ඇති කරගැනීම යි. ඒක තමන්ට වගේ ම අනිත් අයට ත් බොහෝ කාලයක් දුක පිණිස හේතු වෙනවා.

සමහර වෙලාවල් වල දී මෙහෙම ත් දේවල් සිද්ධ වෙනවා. ඒ තමයි මුලින් අපිට උපකාර කළ, සමාජයට උපකාර කළ, ධර්මයේ හැසිරුණු උදවිය, පසු කාලයක දී වෙනස් වෙලා යන්න පුලුවන්, අධාර්මික වෙන්න පුලුවන්. එතකොට අපි ඒ වෙනස පැහැදිලි ව ම තේරුම් ගත යුතු යි. හදුනා ගත යුතු යි. ඒ විදියට වෙනස් වෙලා ගිය කෙනෙක් අපිට සිදු කළ උපකාරය සිහි කරලා, අපි එයා ගේ ගුණ ප්‍රචාරය කරන්නට ගියොත් සිදු වන්නේ එයා ව ඇසුරු කරන්නට යන අය විනාශ වීම යි.

උදාහරණයක් හැටියට ගත්තොත්, දේවදත්ත හාමුදුරුවෝ මුලින් බුදු රජාණන් වහන්සේට පැහැදීමෙන් කටයුතු කළා. සෘද්ධි ආදිය උපදවාගෙන කටයුතු කළා. ඒ අවස්ථාවේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේවදත්ත ගේ ගුණ ලෝකයට ප්‍රකාශ කළා. නමුත් පසු අවස්ථාවක දේවදත්ත බුදු රජාණන් වහන්සේට ත්, සම්බුද්ධ ශාසනයට ත් විරුද්ධ ව කටයුතු කරන්නට පටන් ගත් අවස්ථාවේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ ම යි දේවදත්ත ගේ අගුණ රජගහ නුවර දී මිනිසුන්ට ප්‍රකාශ කළේ. ඒ තුළින් විශාල පිරිසක් අනතුරේ වැටෙන්න තිබූ ඉඩ කඩ වළක්වා ගන්නට හැකි වුනා.

ඒ වගේ අපිට අතීතයේ උපකාර කළ අය, අතීතයේ යහපත් විදියට කටයුතු කළ අය වෙනස් වී ගිය පසු ත් ඒ අය ගේ එම අතීත ගුණ අපි සමාජයේ ප්‍රචාරය කරන්නට ගියොත්, ඒ අය ජනප්‍රිය වන විදියට කටයුතු කරන්නට ගියොත් අපි නො දැනුවත් ව ම නමුත් විශාල අයහපතක් සමාජයට සිදු වෙනවා. මොක ද අනිත් අය හිතනවා මේ පුද්ගලයා දැනුත් හොඳ කෙනෙක් කියා. එහෙම හිතලා ඇසුරු කරන්නට යනවා. මේක ඉතා ම භයානක යි. අහිංසක පිරිස් අනතුරේ වැටෙන්නට ඒක හේතු වෙනවා.

අපි ඒ තැනැත්තා කළ උපකාර සිහි කළ යුතු යි. ඒ නිසා එයාට අපහාස කරන්නට හෝ ද්වේශයක් ඇති කරගන්නට හෝ නො යා යුතු යි. නමුත් ඒ තැනැත්තා ගේ වර්තමාන ස්වභාවය තේරුම් අරගෙන එයාට වර්තමානයේ සුදුසු තැන ලබා දී කටයුතු කරන්නට අපි නුවණැති වෙන්න ඕන. ඒ වගේ ම අපිට ත් සමාජයට ත් උපකාර කළ, උපකාර කරන, එ වගේ ම වර්තමානයේ ත් ධර්මයේ හැසිරෙන අය සමග, ඒ අතීතයේ උපකාර කරල පසු ව වෙනස් වී ගිය තැනැත්තා ව සම කරන්නට නො යා යුතු යි. එසේ සමකරල කටයුතු කළො ත් ඒ තුළිනුත් අපිට විශාල ලෙස අකුසල් රැස් වෙනවා.

උපකාර කළ ත් සුදුසු කෙනාට සුදුසු තැන ලබා දී කටයුතු කළ යුතු ආකාරය ගැන හරි ලස්සන උදාහරණයක් පින්වත් අරියවංශ ස්වාමීන් වහන්සේ, පින්වත් ස්වාමීන් වහන්සේලාට කියා දී තිබුණා.

ඒ තමයි, දැන් අපිට අම්මගෙන් කිරි ලැබුණා. අම්ම අපිට කිරි පෙව්වා. ඉතින් ඒ නිසා අම්මා ගේ ඒ ගුණයට අපි කළ ගුණ සළකනවා. අම්මගෙ ගුණ කියනවා. ඒ වගේ ම එළදෙනත් අපිට කිරි ලබා දෙනවා. එතකොට යම් කිසි කෙනෙක් කල්පනා කළොත්, හා... අම්මගෙනුත් මට කිරි ලැබුණ, හරකගෙනුත් මට කිරි ලැබුණ, ඒ නිසා මම හරක ව ගෙට ගන්න ඕන කියල, එතකොට මොකක් වෙයි ද...?” එහෙම නැත්නම් එයා කල්පනා කළොත්, හා.. අම්මගෙනුත් මට කිරි ලැබුණ, හරකගෙනුත් මට කිරි ලැබුණ, ඒ නිසා මම අම්ම ව ගාලෙ බදින්න ඕන කියල, එතකොට මොකක් වෙයි ද...?”

මෙන්න මේ වගේ තමයි, අපිට උපකාර කළ ත් ගුණ දහමින් පිරිහී ගිය අය හා, අපිට උපකාර කළ, ගුණ දහමින් පිරිහී නො ගිය උදවිය සම ව සළකා කටයුතු කරන්නට යෑම.

අපි අම්මට ත් හරකට ත් නිසි තැන තේරුම් ගන්න ඕන. අම්මව ත් හරක ව ත් වෙන් කරල තේරුම් ගන්න ඕන. ඒ සඳහා දක්ෂ වෙන්න ඕන. අම්ම ව ත් හරක වත් සම කරල කටයුතු කළොත්, අපි ම යි අන්තිමේ දී හරක වෙන්නේ. හැබැයි තව දෙයක්, ඒ තමයි අපි හරක ව මස් කඩේට දක්කන්න ත් නො යා යුතු යි...

ඉතින් මේ කාරණය තේරුම් ගත්තොත්, අපිට ගොඩක් නුවණින් යුතු ව කටයුතු කරන්න පුලුවන්. අපි මේ කාරණා තේරුම් නො ගත්තොත්, පුංචි යහපතක් ඇති කරන්න ගිහින් ලොකු විනාශයක් අපි අතින් සමාජයට වෙන්නට පුලුවන්.

ඒ නිසා පින්වත් යාලුවනේ, මම මේ කාරණා කිව්වේ යම් යම් හේතු ඇතු ව යි. මේක නුවණින් කල්පනා කරල තේරුම් අරගෙන කටයුතු කරන මෙන් මම ඉල්ලා සිටිනවා. අපි දහම් ලිපියක් පළ කළ ත් ඒ ලිපියේ හිමිකරු ගේ සහ එහි අඩංගු වන චරිතයන් ගේ වර්තමාන ස්වභාවයන් මොනව ද කියල හොයල බලල පළ කරනවා නම් හොඳ යි. මොකද එහෙම නො වුනොත්, ජනප්‍රිය නො විය යුතු, අසත්පුරුෂ උදවිය ජනප්‍රිය වෙලා යනවා. ඒ ලිපි කියවලා ඒ කෙනා ව ඇසුරු කරන්න යන අය ත් විනාශ වෙනවා. අපි සත්පුරුෂ අදහසින් දහම් ලිපි දානවා වෙන්න පුලුවනි. නමුත් සුලු යහපතක් ඇති කරන්න ගිහින් ඊට වඩා ලොකු විනාශයක් අපි අතින් නො දැනුවත් ව ම සමාජයට හා අහිංසක පිරිසට සිදු වෙලා.

ඒ අයහපත, ඒ විනාශය ඔබ අතින් සමාජයට සිදු නො වේවා, කියන අදහසිනු යි මම මේ කරුණු ටික කියන්න කල්පනා කළේ.

සියලු දෙනාට ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා !

තෙරුවන් සරණ යි!

Bookmark and Share

Currently have 1 comments:

  1. Asitha says:

    බොහොම වැදගත් අදහසක් කියලා සිතෙනවා. යමෙක් යම් කෙනෙකු ගැන පැහදී අන් අයට ඔහුගේ ගුණ කීමේදී පරෙස්සම් විය යුතු බව මින‍් පෙනනවා. මක් නිසාද අප වැරදිලාවත් පැහැදිලා තියෙන්නේ වැරදියට නම්, අන් අයවත් අප එම වැරද්දටම නොදැනුවත්වම හසුකරගෙන තිබෙන නිසා.
    හැමවිටම තම තමන් ගැන තීරණ ගැනීමට එම පුද්ගලයන්ටම භාර කිරීම මගින්, එවැනි අකුසළයකට අප හවුල් නොවී සිටිය හැක.
    ‍"අත්ත දීපා - අත්ත සරණා" යනුවෙන් දේශනාකර ඇති පරිදි, තම තමන්ම තමාගේ යහපත සළසාගත යුතුය. නියම කළ්‍යාන මිතුරන් කලයුතුවන්නේ ඔවුනට ඊට අවශ්‍ය ශක්තිය සැපයීම පමණි.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails