Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සෝමාවතිය සිසාරා ගැලූ යුගයේ අසිරිමත් පුණ්‍ය ගංඟාව....

Friday, June 11, 2010 , at 1:00 AM


ගෞතම බුද්ධ රාජ්‍යයේ තවත් ආශ්චර්‍යමත් සිද්ධි දාමයක් එක්තැන් වූ අනගිභවනීය පුණ්‍ය කටයුත්තක් දෙළොස්ලක්‍ෂයක් පමණ වූ අති දැවැන්ත සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන්, සර්වඥයන් වහන්සේගේ ශ්‍රී දකුණු දළඳාවහන්සේ වැඩහිඳිනා පොළොන්නරු මහවන මැද සෝමාවතී පුදබිමේදී මින් මසකට මත්තෙන් වූ මනරම් උදෑසනක සිරි සම්බුදු අසිරි පා, සුදුමුදු බුදුරැස් විහිදුවමින් නිමාවට පත්වූයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩී ගිය රැස්ව සිටි සුවහසක් ජනකාය මවිත කරවමිනි.

30 වසරක ශාපලත් යුද්ධය නිමවී වසරක් ගත වූ මොහොතේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත්, රටටත් ජාතියටත් සෙත්පතා මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියළු රණවිරුවන් වෙනුවන් පුණ්‍යානුමෝදනා කරනු වස් පැවති මෙම අසිරිමත් මහා සෑ වන්දනාව මෙම සියවසේ සංවිධානය වූ අති දැවැන්තම පුණ්‍යමහෝත්සවයකි. යුද්ධය නිමාවීමත් සමඟ වසර ගණනාවක් පුරා මහවන මැද හුදකලාව වැඩහිඳි සෝමාවතී මහ සෑ රදුන් වන්දනාව සඳහා සැදැහැවත් බැතිමතුන් හට මඟ විවර විය. උදා වූ වසන්තය සමඟ යළි පිබිදෙන උතුරු-නැගෙනහිර බෞද්ධ පුනරාගමනය සංකේතවත් කරමින් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පයකට අනුව උන්වහන්සේගේ මෙහෙයවීමෙන් හා සෝමාවතියේ වත්මන් භාරකාරත්වය දරන පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිව්දිගින් ගැලූ ජන ගංඟා මැද සිදුකරන ලද මේ මහා පුණ්‍යෝත්සවය ලාංකීය වංශකතාවේ රන් අකුරින් ලියැවෙන
පරිච්ඡේදයක් වනු නොඅනුමානය.

මැයි 8 වන දා සෝමාවතී භූමිය අපට සිහිගැන්වූයේ යටගිය රජ දවස හෙළබොදු පරපුරේ ශ්‍රී විභූතිය විනා අනෙකක් නොවේ. දස දෙසින් ගලා ආ සැදැහැ ජන ගංඟාවන්ගෙන් සෝමාවතී භූමිය එකම හිස් ගොඩක් බවට පත් වෙද්දී දෙව් බඹ නා පිරිස් පෙළින් පෙළ සැදී සෝමාවතී නුබ ගැබ සිසාරා වැඩ හුන්හ. ඒ යුගයේ අසිරිමත් සදහම් පෙළහර හා එක්වීමේ බැතිබර සිතිවිලි පෙරටුකොටගෙන ය. සෑ රදුන් පිදූ සුවඳ මලින් මුළු සෝම නුවරම සුවඳවත් විය. මලින් පිරී ගිය සෑ මළුව පුරා අතුරක් සිදුරක් නොවී ය. බුදු පුදට වන් ඒ සොඳුරු අසිරිමත් මල්කම් දුටු නෙත් සැබැවින්ම පින්වන්ත ය. ධජ පතාක හා අනේක සැරසිල්ලෙන් ශෝභමාන වූ සෑ රදුන් තව්තිසාවේ සිළුමිණ සෑ අසිරිය ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සැදැහැබර නෙත් සිත් වෙනුවෙන් මහ වනමැද සෝමාවතියේ ජීවමාන කරලීය. අඳුරු රැය එකළු කළ බුදුපුදට වන් නේකවර්ණ ආලෝක ධාරාවෝ මහා ආලෝක පූජාවට පෙරගමන් ගියහ. උඩුවියන් බැඳි රන්වන් විදුලි ආලෝක සැරසිලි මෙන්ම සෑ රදුන් පරිවාරකොට ගත් නීල වර්ණ ආලෝක ධාරාවෝ වදනට කැටි නොවූ නොහිම් සුන්දරත්වයක් ගෙනහැර පෑහ.

සුවහසක් සාදු නාද මධ්‍යයේ පෙළින් පෙළ සැදී මළුව වෙත පිය නැඟූ සුරතේ සුවඳ මල් සුරැඳි බුදුපුත් මහසඟ රුවන නෙත් සිත් සනහන සොඳුරු දසුනක්ම විය. සුමිහිරි හඬින් රැය පහන් වනතුරු දසත නැඟුනු සෝමාවතී මහ සෑ වරුණ හා තෙරුවන් ගුණ ගායනා නොනිදි වනපෙත කුල්මත් කරවීය. ඝනඳුර මැදින් සවන්පත් සිසාරා නැඟී ගිය සුමධුර පිරිත් ස්වරය කියාපෑවේ යළි ජීවමාන වන මහතෙද බුදුගුණ මහිමයි. පසුදින හිරු නැගෙන හෝරාවේ සිරි දකුණු දළදා වහන්සේ සුරැඳි සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත සිදුකළ කිරිපිඬු පූජාව මෙම අසිරිමත් වන්දනාවේ සුවිශේෂී අංගයක් විය. එදා සුජාතා සිටුදියණිය සිදුකළ කිරිආහාර පූජාව හා සම, ජලය නොමුසු කිරෙන් පමණක් සකසා ගත් කිරිපිඬු සහිත මේ දානමය පුණ්‍යකර්මය රැයක් පුරා පැවති යුගයේ මහා අසිරිමත් පින්කමක නිමාව සනිටුහන් කළේය. මේ උතුම් මොහොතේ සෝමාවතී සෑ රදුන් වෙතින් විහිදි අසිරි සිරි සොඳුරු බුදුරැස් රැස්ව සිටි දන නෙතඟට සතුටු කඳුලක් එක් කළේමය. එම ආශ්චර්‍යවත් මොහොත රැස්ව සිටි සියළු දෙන මොහොතකට බුදුන් වැඩහිඳි දෙවුරමට රැගෙන ගියාක් වන් විය. මේ අතරතුර චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉහළින් ගුවනින් වැටුනු මල් වරුසාව සාදු නද හා එක්ව පැතිරවූ අසිරිය නිම් හිම් නොවේ. රැයක් මුළුල්ලේ බුදු සුවඳින් සුවඳවත් වූ සෝමාවතියට ගුවනින් හෙලන ලද සුවඳ මල් පුණ්‍යෝත්සවයට රැගෙන ආවේ සුවඳැති අසිරියකි.

මේ සොඳුරු ඓතිහාසික මොහොත මහ වනමැද ජීවමාන කරවීමේ පසුබිම් කතාන්දරය තරමක් ඈතට දිවෙන්නකි. 2008 වර්‍ෂයේ පෙබරවාරි මස අනුරාධපුර මහමෙව්නාවේ ස්වර්ණමාලී මහ සෑ මළුවේ පැවති අසිරිමත් සෑ වන්දනාව බොහෝ සැදැහැවතුන්ගේ සිත් සතන් තුළ සනිටුහන්ව ඇති අසිරිමත් මොහොතකි. මෙම වන්දනාවෙන් අනතුරුව අතිජූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ හට සෝමාවතී මහ සෑය වන්දනා කරගැනීමට අවස්ථාවක් උදාවිය. ඒ උතුරු-නැගෙනහිර යුද්ධය පැවති අවධියයි. එවකට සෝමාවතිය වනාහී මහ වනමැද යුධ භූමිය තුළ හුදකලා වූ පින්බිමකි. උන්වහන්සේට ඇතිවූ සංවේගය අති මහත් ය. වසරක් තුළ මෙම කුරිරු යුද්ධය නිමාවුව හොත් ස්වර්ණමාලී සෑ වන්දනාව හා සමාන දැවැන්ත වන්දනාවක් සිදුකිරීමට උන්වහන්සේ ඉටා ගත්හ. ඒ වෙනුවෙන් සෑ රදුන් වෙත භාරවිය. සියල්ල පැතූ පරිදි ඉටු වෙද්දී මහ සෑ වන්දනාව සඳහා ද කටයුතු කෙමෙන් සම්පාදනය වන්නට විය.

මෙය දිනකින් දෙකකින් සතියකින් සිදුකළ කර්තව්‍යයක් නොවේ. මාස ගණනාවක් පුරාවට දිවා රෑ නොබලා වෙහෙසී අනේක කැපකිරීම් ඔස්සේ සාර්ථකත්වයක් කරා එළඹි මහා පුණ්‍ය කටයුත්තකි. ඓතිහාසික අනුරාධපුර මහමෙව්නාවේ වැඩහිඳිනා සමාධි බුද්ධ ප්‍රතිමාව හා සම, පොළොවේ සිට අඩි 14 ½ ක් පමණ උසැති ශෛලමය අති ශෝභමාන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සොඳුරු මල් වරුසා හා අනේක පුද පූජා මැද අති දැවැන්ත රිය පෙරහැරකින් කිරිබත්ගොඩ පුරවරයේ සිට සෝමාවතී භූමිය වෙත වැඩම කරවීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මස 18දා ය. ඒ රමණීය බුද්ධ ප්‍රතිමා වහන්සේ සෝමාවතියට මිණිපහනක් වන් විය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ හුණු ආලේප කොට කොත් වහන්සේ මත රන් ආලේප කිරීමද මීට සමගාමීව සිදුවිය. වල් වැදී හුන් සෝමාවතිය අවට භූමිය එළිපෙහෙළි කොට සුදු වැලි අතුරා සොඳුරු පුදබිමක සිරිය සෝමාවතියට ද කැන්දාගෙන ඒමට කටයුතු සැලසින. බුදුරැස් විහිදෙන සෝමාවතී සෑ රදුන් නිරතුරු සුවඳවත් කරවමින් පිච්ච මල් පෝච්චි 50ක් සෑ රදුන් වටා තැන්පත් කිරීම ද සැදැහැවතුන්ගේ සැදැහැවත් ශ්‍රමයෙන් හා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මඟ පෙන්වීමෙන් සිදු කෙරිනි. අතිශය අද්භූත ලෙස පිච්ච මල් අතරින් පැන නැඟි 'දෙව් ලොවින් බට මල් මදාරා' ශාකය ද සෑ රදුන් වෙත සැදැහැ සිතින් පිදිනි.

ඓතිහාසික පොළොන්නරු නගරයේ සිට කි.මී.42 ක් පමණ මහ වනය තුළට වන්නට පිහිටි බුදුරැස් විහිදෙන අසිරිමත් පුදබිමකි සෝමාවතිය. කි.මී.30 ක් පමණ ගියතැන හමුවන 'සුංගාවිල' මෙම මාර්ගයේ හමුවන අවසාන ගම්මානය යි. ඉන් ඔබ්බට ඇත්තේ මහවනය මැදින් වැටුනු අති දුෂ්කර ගමනකි. පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මේ සියළු මාර්ග අළුත්වැඩියා කොට වාහන ගමනාගමනය සඳහා සුදුසු තත්ත්වයට වැඩිදියුණු විය. අතිශය වියළි දේශගුණයක් පවතින මෙම ප්‍රදේශයේ ඕනෑම අවස්ථාක් සඳහා ජලය තීරණාත්මක සාධකයකි. මේ වෙනුවෙන් නිරතුරුව පින්බිම වෙත ජලය ලබාගත හැකි නළ ළිං 3ක් සහිත අංගසම්පූර්ණ නවීන ජලනල පද්ධතියක් පූජා භූමියේ ස්ථාපිත විය. සෝමාවතියේ දැනට පවතින විදුලි සම්පාදක පද්ධතියට අමතරව අධි බලැති විදුලි ජනක යන්ත්‍ර කිහිපයක්ද පුදබිමේ ස්ථාවරව තැන්පත් විය. මෙම ජල හා විදුලි පද්ධති නිරතුරුව ශ්‍රී දකුණු දළදා වහන්සේට පූජා වනු ඇත. මීට අමතරව සෝමාවතී වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අංග සම්පූර්ණ ස්ථාවර වැසිකිලි පද්ධති කිහිපයක් මෙන්ම තාවකාලික වැසිකිලි අති විශාල සංඛ්‍යාවක් ද භූමිය තුළ ඉදි විය.

ප්‍රදේශයේ පවතින දුෂ්කර ස්වභාවය මෙන්ම ජලය, ආහාර හා අනෙකුත් පොදු පහසුකම් වල සීමිත භාවය පිළිබඳ සංවිධායක කමිටුව විසින් දිගින් දිගටම දැනුවත් කිරීම් මහජනතාව වෙත සිදු කරන ලද අතර පැමිණෙන සැදැහැවතුන් සඳහා පානීය ජලය, වැසිකිළි පහසුකම් හා 9 දින උදෑසන දානය පොරොන්දු වූ පරිදි නොඅඩුව සැපයීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබිනි. මේ දානමය සත්කාර්‍යය උදෙසා දන්සැල් සංවිධානයෙන් බොහෝ පිරිස් විවිධ ආහාර වර්ග සැපයීමෙන් පැමිණසිටි ජනතාවගේ උදෑසන ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා ගෙන තිබූ වෑයම ප්‍රශංසනීය බව කිය යුතුය. කඩල, කව්පි, මඤ්ඤොක්කා, කිරිබත්, බනිස්, පාන්, බිස්කට් ආදී ආහාර වර්ග මෙන්ම පානීය ජලය හැරෙන්නට, තේ, කෝපි, බෙලිමල්, ඔසුපැන්, නෙස්කැෆේ, දොඩම්, සමහන්, සිසිල් පැන් ඇතුළු දන්සැල් 25කට අධික ප්‍රමාණයක් භූමිය තුළ හා ඉන් පිටත සැදැහැවතුන්ගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරන ලදී.

මෙවන් අතිවිශාල ජනකායක් රැස්වන අවස්ථාවක ඇතිවිය හැකි හදිසි අවස්ථාවන් සඳහා දැඩි පෙර සූදානමක් භූමිය තුළ තිබූ බවට එහි පැමිණි බුද්ධිමත් සැදැහැවත් පිරිස සාක්‍ෂි දරණු ඇත. රතුකුරුස සංවිධානය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රථමාධාර කණ්ඩායම මෙන්ම පොළොන්නරුව රජයේ රෝහලේ වෛද්‍ය කණ්ඩායම මින් ප්‍රධාන විය. මීට අමතරව තවත් ස්වේච්ඡා වෛද්‍යවරුන් හා හෙදියන් විශාල ප්‍රමාණයක් භුමිය පුරා ඇතිවිය හැකි සියළු හදිසි අවස්ථාවන් සඳහා සීරුවෙන් සිටියහ. තවද අසලින් ගලා බස්නා මහවැලි ගඟ ආශිතව මෙන්ම පිරිස එක්‍ රැස් විය හැකි සියළු ජලය රැඳි ස්ථාන අසල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යොදවා තිබෙනු දක්නට ලැබින. හදිසි අවස්ථාවන් සඳහා ගිලන් රථ, ආපදා රථ මෙන්ම අනෙකුත් අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය වී තිබූ ආකාරයන් එම භූමියේ තිබූ මනා සංවිධානත්මක ව්‍යුහය මැනවින් කියාපාන්නට විය. මේ සියළු දෑ වන්දනාවට පෙර දින සිටම භුමියේ ක්‍රියාත්මක විය.

මෙලොව අධිපති භාවයෙන් අග්‍ර අයකු වෙත් ද ඒ වසවත් මරු මය. එදා බුදුන් වැඩි මඟටත් පවිටු මරු මහවැසි ඇද හෙලීය. නමුත් බුද්ධ බලයෙන් එය මැඩලන ලදී. අප සිටින්නේ ඉන් වසර 2553ක් මෙපිටය. අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ප්‍රමුඛ බුද්ධපුත්‍රයන් වහන්සේලා වට සීත වැසි මැද නොසැලී හිඳිමින් සිදුකළ අති උත්තම බුද්ධ වන්දනාව ජීවිතයට එක්වරක් පමණක්ම දක්නට ලැබෙන අති දුලභ දසුනකි. අවසානයේ වැස්ස පැරදී යන්නට ගියේ ය. වන්දනාව පැය 14ක් පුරා අඛණ්ඩව පැවැත්විනි. ශාස්තෘන් වහන්සේ සිය ශ්‍රාවක දරුවනට හුරුකළ තාදී ගුණය මෙයයි. දහම තුළ හික්මුනු අකම්පිත හද මඬලයන්හි සුන්දරත්වය මෙයයි. බුදුසසුනේ අසිරිය මෙයයි. පිනැත්තෝ අනුමෝදන් වෙත්වා...!

මහවැසි මැද වුවද පැමිණි ජන ගංඟාවේ අඩුවක් දක්නට නොවීය. වන්දනාව ඇරඹියේ 8දා සවස ය. 7දා උදෑසන සිට 9දා හිමිදිරි 4ටත් වැලනොකැඩී සැදැහැවතුන් පැමිණෙමින් සිටියහ. "මහත්තයො, මම මේ රස්සාවට ඇවිල්ල දැන් අවුරුදු 35ක් විතර වෙනව. මං මුළු ලංකාව පුරාම ගිහින් තියෙනව. සේවය කරල තියෙනවා. ඒත් මේ වගේ සෙනඟක් දැක්ක පළවෙනි වතාව. මේ වගේ උතුම් අවස්ථාවකට රාජකාරි මට්ටමෙන් හරි සහභාගි වෙන්න තරම් අපිටත් පින් තිබුන"..... ඒ පූජා භූමියට පිවිසෙන මාර්ගයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියකු අප හා දොඩමළු වූ මොහොතකි.

9දා උදෑසන 8 පමණ වනවිට වන්දනාවේ සියළු කටයුතු අහවර වී පැමිණි පිරිස ගම්බිම් බලා යාමට සූදානම් විය. දොළොස්ලක්‍ෂයක් පමණ සැදැහැවතුන් රැගෙන පෙරදින පැමිණි 35000කට අධික වාහන ප්‍රමාණය එක්වරම ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී යම් තදබදයක් ඇතිවූ අතර එය තනිවම හැසිරවීම පොලීසියට තරමක් අසීරු කටයුත්තක් විය. සෝමාවතී පිවිසුම් මාර්ගයේ සියළු ස්ථාන වල ඇති පාලම් හරහා ගමන් කළ හැක්කේ වරකට එක් වාහනයක් පමණි. මාර්ගය කෙතරම් පුළුල් වුවද මෙම පාලම් හරහා ගමන් කිරීමේ දී සිදුවන ප්‍රමාදය හා තදබදය වැලැක්වීමට විකල්ප නොවීය. වන්දනාව අතරතුර ඇදහැළුනු දෙපැයක පමණ වර්‍ෂාව නිසා භුමියේ ස්ථාන කිහිපයක් මඩ වූවා හැරෙන්නට සෝමාවතී භූමිය තුළ කිසිදු ආකාරයක ගංවතුර තර්ජනයක් නොවීය. එය බඩගෝස්තරවාදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද අමුම අමු බොරුවකි. සෝමාවතියට පිවිසෙන මාර්ගය වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ මාර්ගය ඔස්සේය. වර්තමානයේ එය විල්ලු වලින් ගහන පෙදෙසකි. පෙරදා රාත්‍රියේ වට වර්‍ෂාවෙන් මෙම මාර්ගයේ දෙතැනක් අඟල් 7-8ක් පමණ (මීටර් 10ක් පමණ දුරක්) ජලයෙන් වැසී තිබිනි. එය සෝමාවතියට සාමාන්‍ය දෙයකි. නමුදු ඉතා කුඩා ප්‍රමාණයේ (මරුටි වර්ගයේ) කාර් රථ පවා කිසිදු අවහිරයකින් තොරව ඒ හරහා ගමන් කළ හැකිවිය. ඇතැම් මාධ්‍ය හරහා මහ ඉහලින් කථාකළ ගංවතුර මෙයයි. කොළඹ ඒසී කාමර වල හිඳ සෝමාවතියේ බොරු ගංවතුරක් මවාපාමින් සිය නිව්ස් මාකට් කළ මාධ්‍යකරුවන්ට මෙන්ම ඒ සියළු බේගල් නොසොයා නොබලා අනුමෝදන් වී පින්කමට දොස් දෙවොල් තැබූ අන්ධ බාලයින්ට ද ගංවතුර යනු කුමක්ද යන්න ඊට පසු සතියේ සිටම අත්විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් නොවිය නොහැකිය.

මහමෙව්නාවේ සඟපිරිස කෙතරම් මානව හිතවාදී, සංවේදි, ප්‍රායෝගිකත්වය පෙරටුකොටගත් පිරිසක් ද යන වග මුළු වැඩසටහන පුරාවටත්, ඉන් අනතුරුවත් එහි සිටි සියළු දෙනා හට ප්‍රත්‍යක්‍ෂ වූ කරුණක් විය. 9දා උදෑසන වන්දනාවෙන් අනතුරුව වාහන අංගන වලින් ප්‍රධාන මාර්ගයට පිවිසිමේදී ඇතිවූ වාහන තදබදය සමථයකට පත්කරනු වස් මහමඟට බට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ පෙරටුකොටගත් මහ සඟරුවන වාහන හැසිරවීමේ කාර්‍යයටද අත ගැසූහ. එතෙකින්ම තදබදය නිමා විය. පොලීසියේ පළපුරුද්ද හා එක්වූ මහ සඟරුවනේ ස්ථානෝචිත ක්‍රියාකලාපය මෙහිදී කාගේත් කහාබහට මෙන්ම පැසසුමට ලක්වන්නට විය. අංගනයන්ගෙන් මිදී ප්‍රධාන මාර්ගයට වන් වාහන කෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූයේ මහ සඟරුවනට අනේක වර පින් දෙමිනි. එවන් මොහොතක් මින්පෙර කිසිවකු දැක නොමැති බවනම් සහතිකය.

මහාමාර්ගයේ ඇතිවූ ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ දෙනා දහවල් 1-2 පමණ වන විටත් මහවන මැද වාහන තුළම රැඳී සිටි හෙයින් ඔවුනට ජලය හෝ දිවා ආහාර ලබාගත හැකි ක්‍රමයක් නොවීය. මේ අවස්ථාවේදී සැනෙකින් ක්‍රියාත්මක වූ මහ සඟරුවන ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය වාහනයෙන් වානහයට ගොස් බිස්කට්, බනිස් වැනි වියළි ආහාර මෙන්ම අවශ්‍ය පානීය ජලය ප්‍රමාණාවත් පරිදි බෙදා දීමට කටයුතු කළහ. 9දා සවස 5-6 පමණ වනවිට සියළු වාහන භූමියෙන් පිටව ගොස් තිබිනි.

ගිහි අපට මෙන් නොව පින්වත් ස්වමින් වහන්සේලාට ආහාර ගැනීමට පවා වෙලාවක් ඇත. පූජා භූමියෙන් පිටත ස්ථානයක උන්වහන්සේලා හට සැකසුනු දානය උදෑසන කාලයේ මාර්ගයේ පැවති තදබදය හේතුවෙන් ගුවන් මගින් ගෙන ඒමට කටයුතු සම්පාදනය විය. එම කටයුතු ඉතා සාමකාමීව සිදුවූ අතර ගුවනින් ආහාර හෙලීමක් කිසිසේත් සිද්ධ නොවුනි. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් එහි තත්ත්වය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශ හා සබැඳිව මාධ්‍යයන් විසින් සිදුකරන ලද බොරු මවාපෑම ලැජ්ජා සහගත බව බව නොකියාම බැරිය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කිසිදු ආකාරයකින් මෙම වැඩසටහන හා සම්බන්ධ නොවීය. අඩුම තරමේ ඔවුන්ගේ නියෝජියතයකු හෝ එහි නොපැමිණි බව අප වගකීමෙන් යුතුව කියා සිටිමු. මේ අතර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු තවත් වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනකු විසින් සාවද්‍ය ලෙස වගකීම් විරහිතව සිදුකොට තිබූ ප්‍රකාශ අපි දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමු. ඔවුන් සිදුකළේ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රචාර සිදුකොට ලකුණු දාගැනීමට උත්සහකිරීමක් පමණි. ගංවතුර හේතුවෙන් ලක්‍ෂ 4ක පමණ සෙනඟක් පූජාභූමිය තුළ සිරවී සිටින බවටත් ඔවුනට ගුවනින් ආහාර හෙලන බවටත් පළවූ සාවද්‍ය වාර්තා අපට මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ලැබිනි. සෝමාවතියට හා එහි රැස්ව සිටි කිසිවකු හට කිසිදු ආකාරයක ගංවතුර තර්ජනයක් නොවූ බව අප කලින් ද සඳහන් කළෙමු. එය අප වගකීමෙන් යුතුව පවසන්නෙමු. කොළඹට වී ඒසී කාමර තුළට වැද ප්‍රකාශ නිකුත් කරන්නට හෝ වාර්තා ලියන්නට ඕනෑම කෙනෙකුට පුළුවන. ඒ සඳහා මාධ්‍ය වෘත්තිකයන් අවැසි නොවේ. අඩුම තරමේ භූමියේ සිටින පුද්ගලයකු හා සම්බන්ධ වී නිවැරදි තොරතුරු ලබාගෙන සමාජයට ඉදිරිපත් කිරීමට තරම්වත් මේ කුසීත මාධ්‍යකරුවෝ උත්සුක වූයේ නැත. තම වෘත්තියේ ගරුත්වය හා වගකීම අමතක කොට හුදු මාධ්‍ය නිදහසක් ගැන පමණක් කෑ මොර දෙන මාධ්‍යකරුවන් සුනාමි අවස්ථාව හා සමාන තත්ත්වයක් සුන්දර සෝමාවතිය තුළ මවාපෑමට උත්සහ කළහ. ඒ පිරිහෙමින් පවතින නිර්ලජ්ජිත මාධ්‍ය සංස්කෘතිය තුළ හඬාවැලපෙන සදාචාරයේ එක් පැතිකඩකි.

'බුදුරැස් විහිදෙන සෝමාවතිය' යනු එදා සිටම සෝමාවතිය හැඳින්වීමට යෙදූ විශේෂණ පදයක් විනා මෙම වන්දනාව වෙනුවෙන් නිර්මාණ වූවක් නොවේ. ඒ පිළිබඳ දැක්වෙන ඕනෑම අතීත ලියවිල්ලක මෙන්ම මඟ දෙපස ඇති නාම පුවරු වල පවා දැක්වෙන්නේ ඒ අයුරිනි. එසේම බුදුරැස් විහිදීම අපට ඕනෑ අයුරින්, ඕනෑ වෙලාවට, අපගේ විධානයට අනුව සිදුකළ හැකි දෙයක් නොවන බව මොළය කළඳක් හෝ ඇත්තකු හට තේරුම් යා යුතුය. එහෙයින් මෙම වදන් පෙළ අල්ලාගෙන කෑ මොර දෙන, උඩ පනින පිරිස ඔවුන්ගේ බුද්ධි මට්ටම ගැන මීට වඩා අවධානය යොමුකළ හොත් එය ඔවුනට මෙන්ම බොහෝ අයට ද හිතසුව පිණිස පවතිනු ඇත.

හදිසි අවස්ථාවක් ඇති නොවූයේ නම් ගුවන් හමුදා හෙලිකොප්ටරය කිහිප විටක් පැමිණියේ මන්ද යන්න පිළිබඳවත් සටහනක් තැබිය යුතු වේ. එය මුළින්ම පැමිණියේ සෑ රදුන් වෙත මල් ඉසීමටය. ඉන් අනතුරුව මාර්ගයේ පැවති තදබදය නිසා ස්වාමින් වහන්සේලාගේ දානය රැගෙන දෙවතාවක් පැමිණියේ ය. නැවත සවස් වරුවේ ඉතිරිව සිටි රෝගීන් කිහිප දෙනෙකු රැගෙන යාමට පැමිණියා විනා ආහාර හෙලීමක් හෝ කිසිදු හදිසි අවස්ථාවක් සඳහා එය ක්‍රියාත්මක වූයේ නැත. එවැනි කිසිදු අවශ්‍යතාවයක් 7, 8 හා 9 යන දින තුන පුරාවටම පැවතියේ නැත.

මෙම උතුම් වන්දනාවට සහභාගි වූ බැතිමතුන් සිව්දෙනකුගේ මරණ පිළිබඳව ද අපට අසන්නට ලැබුණි. මෙම සියළු මරණ පූජා භූමියෙන් පිටත සිදුවූ මරණ මෙන්ම පෑගීමෙන් හෝ තැලී, පොඩිවී යාමෙන් සිදුවූ මරණ නොවන බව වෛද්‍ය වාර්තා සහතික කොට ඇත. මින් තිදෙනකු වයස අවුරුදු 55 ඉක්මවූවන් වන අතර දෙදෙනකු මියගොස් ඇත්තේ වන්දනාව නිම වී ආපසු නිවෙස් බලා පැමිණෙමින් සිටින අතරතුර හෘදයාබාද වැළඳීමෙනි. අනෙක් පුද්ගලයා රිය අනතුරකට ලක්ව මියගොස් ඇත. සිව්වන පුද්ගලයා 9වන දින සෝමාවතිය වැඳීමට පැමිණෙමින් සිටි බැතිමතකු විනා ඔහු 8දා වන්දනාවට සහභාගි වූවකු නොවේ. ඔහුද මියගියේ මහ මඟ බස්‍ රථය තුළ ගමන් කරමින් සිටියදී අධික රුධිර පීඩනය හේතුවෙනි. මේ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරන දේවදත්ත පරපුරෙන් පැවත එන ඇතැම් චීවරධාරීන් මෙන්ම ජනමාධ්‍යයන් ද සත්‍යය වසන් කොට හෝ එය නොදැන සිදුකරන ප්‍රචාර අතිශයින්ම සමාජයට හානිදායකය. අහඹු ලෙස ගත් දොළොස්ලක්‍ෂයක් වූ මිනිස් නියැදියකින් වුවද පැය 48ක් ඇතුළත 10-15 දෙනකු මියයාම සාමාන්‍ය තත්ත්වයකි. මේ සුළු කරුණ තේරුම් ගැනීමට නොහැකිව කෙන්ද කන්ද කරමින් සතර අත ගිනි තියනා හනුමාන් පරපුරේ මේ 'බක පණ්ඩිත මොට්ටපාලලා' ගැන අප සැබැවින්ම කණගාටු වන්නෙමු. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පින් සිතිවිලි පෙරදැරිව සෝමාවතිය කරා ඇදී එද්දී ඊට හරස් වූ සුළුතරයක් පිළිබඳව ද අපට අසන්නට දකින්නට ලැබිනි. එය ස්වභාවිකය. එදා, අද මෙන්ම හෙටටත් එය එසේමය. මෙම සුළුතර පිරිස හා සමාජය පුරා අසත්‍ය පුවත් පැතිරවූ මාධ්‍යයන් විසින් වළකාලන ලද්දේ, අහිමි කරන ලද්දේ මෙම අසිරිමත් පුණ්‍ය කටයුත්ත සැදැහැ සිතින් අනුමෝදන් වී පින් රැස් කරගැනීමට සුවහසක් ජනතාව වෙත තිබූ අවස්ථාවයි. ඒ වෙනුවට ඔවුන් කළේ ද්වේශය සහ බොරුව සමාජය තුළ ව්‍යාප්ත කිරීමයි.

මෙවන් අසිරිමත් පුණ්‍යකටයුතු ලොව සැබැවින්ම දුර්ලභය. ජීවියතයට වරක් පමණක්ම දකින්නට ලැබෙන සොඳුරු අවස්ථාවන්‍ ය. වසරේ දින 365න් 364ක්ම සැප විඳිමින් කල්මරණ අපි පිනක් දහමක් වෙනුවෙන් එක් දිනකට සැප අමතක කොට පිනට සිත් යෙදවීම තමුන්ටත්, අනුන්ටත්, සකළ ලෝකවාසී සත්ත්වයින්ටත් සදා හිත සුව පිණිස වනු ඇත. එහි පැමිණි, දුටු, අනුමෝදන් වූවෝ එය හොඳින්ම දනිති. රැස් කරගන්නට යෙදුනු පුණ්‍යස්කන්ධය අප්‍රමාණය. සර්වඥ ධාතුන් පිදීම ජීවමාන බුදුන් පිදීම හා සම වේ. එපින් නොහිම් වේ. මේ අති උතුම් සත් කාර්‍යය අති සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය වූවෝ රැස් කරගත් පින අති මහත් ය. එසේම මහ වනමැදට තනිවම පිය නැඟි අපට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය යෝධ ශක්තියක් විය. මසක් පමණ පුරාවට අප හා එක්ව උරෙනුර ගැටෙමින් ඔවුන් ලබා දුන් සහයෝගය පින් සිතින් සිහිපත් කරමින් රැස් කළ සියළු පින් ඒ සියළු දෙනා හට අනුමෝදන් කරන්නෙමු. එසේම යුගයේ මේ මහා අසිරිමත් සෝමාවතී මහා සෑ වන්දනාව සියළු පිනැත්තෝ සතුටු සිතින්, සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා. මේ රැස්කර ගත්තා වූ සියළු පින් ගෞතම බුදු සසුන තුළදීම චතුරාර්‍යසත්‍යාවබෝධය පිණිසම හේතු වාසනා වේවා...!!!

නොපමාව යාත්‍රා කරන්නට කාලයයි
උඩු gum බලා.....

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails