ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු.
Sunday, June 20, 2010
, at 7:34 PM
අද අපි කල්පනා කළා ආහාරයේ පිළිකුල් සංඥාව පිළිබඳ කෙටියෙන් කාරණා කියලා දෙන්න.
මම හිතන්නේ අපි කවුරුත් මේක දන්න දෙයක්. පුරුදු නොකරනවා නම් පුරුදු කළ යුතු දෙයක්. සමහර අය අපෙන් අහනවා ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්නේ කොහොම ද? කියලා. ආහාරයේ පිළිකුල් සංඥාව අපි බහුලව පුරුදු කළ යුතු එකක්. බහුලව වැඩිය යුතු භාවනාවක්. දිනපතා වැඩිය යුතු භාවනාවක්.
එතකොට ඒක අද පොඩ්ඩක් කරලා, ආයේ සතියකින් තව ටිකක් කරනවා. එහෙම නෙමෙයි. මේ භාවනාව දිනපතා කළ යුතු යි. බහුලව පුරුදු කළ යුතුයි. එතකොට යි ඒකෙන් අපට ඒ අදාළ ප්‍රතිලාභය අත්වන්නේ. එහෙම නැත්නම් අපි ඒක අතහැරලා දානවා. මේකෙන් මොකුත් ප්‍රතිඵල නෑනේ කියලා හිතලා. අන්තිමට අපි භාවනාවට තමයි ගරහන්නේ. සුදුසු විදියට කරන්නේ නැති වුණහම අදාළ ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.
එතකොට අපි දොස් කියන්නේ භාවනාවට. වරද කාගේද? තමන්ගේ. තමන් සුදුසු විදිියට ඒක කරලා නෑ. පුරුදු කරලා නෑ. ඉතින් සුදුසු විදියට ඒත නොකරපු නිසාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ. ඉතින් අපි කියනවා මේක හරියන්නේ නෑ. අද කාලේ මේක කරන්න බෑ. ඔය වගේ නොයෙකුත් කතා කියනවා. ඇයි සුදුසු විදිහට කරලා නෑ. ඒකයි හේතුව. ඒ නිසා මේ භාවනාව දිනපතා උත්සාහ කරන්න.
එතකොට බලන්න දිනපතා අපි මේවා කරන්න පටන් ගත්තොත්, අපිට කරන්න වැඩ තියෙනවා නේද? අපිට කරන්න වැඩ තියෙනවා. එතකොට අපිට කම්මැලිකම, එහෙම නැත්නම් නිකම් කතා කර කර ඉන්න එක, අර්ථ රහිත ගමන් ආදිය නැතිව යනවා. ඒවා එන්නේ නෑ. ඇයි? ඒ අපිට කරන්න වැඩ තියෙන නිසා.
ඒ විදියට අපි යම් කටයුත්තක් කරන්න පටන් ගත්තොත් අපි ක්‍රමානුකූ®ලව යම් දෙයක් පුරුදු කරන්න ගත්තොත් ඔබට දවසේ පැය විසි හතර මදියි කියලා හිතෙයි. එතරම් ම දේවල් අපිට කරන්න යනවා. ඒ නිසා කාලය අපතේ දාගන්න එපා. වැඩ කරන්න. තමන්ගේ ජීවිතයට වටිනා දේ එකතු කර ගන්න. එතකොට කාලය අපතේ දාන කෙනකු බවට පත්වන්නේ නෑ.
‘ආහාරයේ පිළිකුල් සංඥාව‘ ත් ටික ටික තමයි පුරුදු කරන්නේ. එතකොට ඒ භාවනාව කරන්නේ කොයි වෙලාවට ද? ආහාර ගන්න පෙර ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනෑ. අපි සාමාන්‍යයෙන් කරනවා නේද? ඒක හොඳ සිහියෙන් කරන්න.
එතකොට, මම මේ යෝජනාවක් කරන්නේ, කරන්න කියලා බල කිරීමක් නෙමෙයි. ආහාර ගන්න කලින් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ආහාර ගන්න කොට, එතකොට කොහොමද කරන්නේ? සිහියෙන් ඒ කටයුත්ත කරන්න. මුලින් ම සම්පජඤ්ඤය (සිහිනුවණ) දියුණු කර ගන්න. කලබල කර ගන්න එපා. සිහියෙන් පුරුදු කරන්න. ටික ටික හුරු වේවි කලක් යනකොට. අපට තවදුරටත් සිහිය පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙයි. ‘රස’ දැනෙන කොට අපිට පුළුවන් සිහිය පිහිටුවා ගන්න. ඒ වගේම කලබල නොවී මුලින් ම සිහියෙන් ආහාර ගන්න පුරුදු වෙන්න. කලක් යනකොට අපට ඒ රස හැම එකක් ම තේරුම් ගනිමින්ම ආහාර වළඳන්නට පුළුවන් වනවා. ඉතින් ඒක එක පාරට බෑ නේද? ඒ නිසා මුලින් පුරුදු කරන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) පුරුදු කරමින් ආහාර ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් සතිපට්ඨාන දේශනාව බලන්න. ඒකෙ තියෙනවා.
ඊට පස්සේ ආහාර අරගෙන ඉවර වෙලා. සාමාන්‍ය භාවනාවක් කරන පිළිවෙළට ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන්න. දානේ වළඳන කොට නෙමෙයි කරන්නේ. දාන වළඳනකොට සිහියෙන් කරන්න. එතන සම්පජඤ්ඤය (සිහි නුවණ) හුරු වෙන්නේ. පස්සේ වේදනානුපස්සනාව දක්වා අපට දියුණු කර ගන්න පුළුවන්කම තියෙයි. එතකොට සමහර අය දානේ වළඳමින් ඉන්න අතරේ, පිළිකුළයි කියලා කල්පනා කරනවා. ඒ ගැන මොකද හිතන්නේ, එහෙම කරනවා ද?. ඔයගොල්ලන් ආහාර ගනිද්දී පිළිකුලයි කියලා හිතනවා ද? එහෙම මට සමහර අය කියලා තියෙනවා. ඉතින් මම අහනවා ඒ ගොල්ලන්ගෙන් දැන් අපි රස මිහිරි කෑමක් ගන්නවා. ඒ රස මිහිරි කෑම ගන්නකොට ඒක පිළිකුල යි කිය කියා හිතන්නේ ඇයි? එතකොට ඒක හරි දෙයක් නෙමෙයිනේ කරන්නේ. පඩිපෙළේ පිටිපස්සට බහිනවා වගේ. පඩිපෙළක බහින කෙනා පිටිපස්සෙන් පිටිපස්සට පඩිපෙළේ බහිනවා. එයාට ප්‍රනීත භාවයක් ඇතිවෙයි ද? සුව පහසුවක් ඇති වෙයිද? අනතුරක් නේ ද තියන්නේ. ඒ වගේ රස මිහිරි කෑමක් අපි අනුභව කරන ගමන් එයා හිතනවා පිළිකුලයි මේක පිළිකුලයි කියලා හරිද? එතකොට අපිට මොකක්ද කරන්න තියෙන්නේ, රසයි නම් රසයි කියලා චනගෙන වළඳන එකයි. තිත්තයි නම් ‘තිත්තයි’ කියලා දැනගෙන වළඳන එක. ඒ නිසා වළඳනකොට පිළිකුලයි කියලා ගන්න එපා. ඒක අර්ථයක් නෑ. වළඳනකොට මුලින් හුරුකර ගන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) සිහියෙන් ආහාර ගන්න. කලක් සිහිය පුරුදු කරනකොට ‘ආශාව තේරෙයි රස තේරෙයි’ එතකොට ඒ අනුව විඳීම හඳුනගන්න පුළුවන්කම තියෙයි. කලබලයට කරන්න එපා.
මේ භවනාව මේ විදියට පුරුදුවන්න. සාමාන්‍යයෙන් භාවනා කරන පිළිවෙළට වාඩිවෙලා, අපි කලින් කියලා තියෙන විදියට ම හොඳට කය සෘජු කරගෙන, සිහිය පිහිටුවාගෙන හිතට ගන්න ‘මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ’ කියලා. සිහිය පිහිටුවා ගන්න. ඒක වෙනම සංඥාවක්. දැන් අසුභය කියන්නේ වෙනම සංඥාවක්. ආහාරයේ පිළිකුළ කියන්නේ වෙනම සංඥාවක්. භාවනා කරනකොට ඒ ඒ සංඥාවේ හිත පිහිටුවන්න. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව වඩනවා නම්, මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ’ කියලා හිතන්න.
ඊට පස්සේ අදාළ භාවනා මනසිකාරය ටික ටික පුරුදු කරගන්න. භාවනා මනසිකාරය මෙහෙම කරන්න. හිතන්න මේ ආහාර කොච්චර සුවඳට රසට ලස්සනට පිළියෙල කරලා තිබුණත් ආහාර අතින් අල්ලපු ගමන් ඒක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුලයි පිළිකුල යි. මේ ආහාර කටට ගත්තහම කටේ තියෙන කෙළ සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුල යි. පිළිකුල යි. උගුරෙන් පහලට යනකොට සෙම සොටු සමඟ මේ ආහාර කලවම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුල යි. පිළිකුල යි. ආහාර බඩට ගියාම ඒ බඩේ තියෙන නොයෙකුත් දේ සමග එකතු වෙනවා. වමනය බවට පත්වෙනවා. මේ ආහාරය ඉතාම පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුල යි, පිළිකුලයි. බඩවැල් වලට ගියහ ම මේ ආහාරය අසුචි බවට පත්වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත්වෙනවා. මේ ආහාර පිළිකුල යි පිළිකුලයි, පිළිකුල යි. මේ ආහාරය අනුභව නොකර තිබ්බොත්, පිළුණු වෙලා දුර්ගන්ධ ය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාරය පිළිකුල යි, පිළිකුල යි, පිළිකුල යි. මේ ආහාර උයන්නේ නැතිව තිබ්බත් ඒත් කුණු වෙලා පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි පිළිකුලයි පිළිකුළයි’.
මෙන්න මේ විදියට ඒ භාවනා මනසිකාරය පුරුදු කර ගන්න. ;කටියි. ගොඩක්. නෑ. ඉතින් ආපහු මුල ඉදන් මෙනෙහි කරන්න. විශේෂයෙන් මතක තියා ගන්න, දැන් අසුභ සංඥාව ආහාරයේ පිළිකුල් සංඥාව, මේ වගේ භාවනා කරන කොට මතක තබාගත යුතු කාරණයක් තියෙනවා. අසුභ භාවනා හෝ ආහාරයේ පිළිකුල් සංඥාව හෝ වේවා වඩන කෙනෙකුට අප්පිරියාවක් එනවා නම්, ඒක වැරදි යි. අප්පිරියාවක් එන්න බෑ’ මොකද භාවනාවක් කිරීමෙන් අපිට උපදින්න ඕනෑ ප්‍රනීත බවක්, සුව පහසුවක්. ඒ භාවනා කිරීම නිසා අපට පීඩාවක් එනවා නම් අපි කරපු විදිහ වැරැදි යි.
ඒ නිසා විශේෂයෙන් අසුභ භාවනවා, ආහාරයේ පිළිකුල වගේ භාවනා කරනකොට ඉහතින් පෙන්වා දී තිබෙන වචන ටික ප්‍රමාණවත් කියලා අපි හිතනවා. නොයෙකුත් වචන දදා පිළිකුල් හැඟීම් උපදවා ගන්න එපා. දැන් මේ භාවනාවේ පිළිකුල් ස්වභාවයක් ගැන කල්පනා කළාට, අපිට පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි. ඒ නිසා සමහර අය නොයෙකුත් වචන දදා පිළිකුල් ස්වභාව උපදවා ගන්න කල්පනා කරනවා. එහෙම කරන්න එපා.
දැන් සමහර කට්ටිය කියනවා අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා. භාවනාවෙ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සාහ කරනවා. ඒක වැරැදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේ නේ? මහ දුකක් නේ. කැමැතියි ද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕන නම්, අසුභය වඩන්න ඕනෑ ද? වැසිකිලි වළ දිහා බලපුවහ ම ඉවරයි නේ? ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනේ, භාවනා කරන්න ඕන නෑනේ? නරක් වෙච්ච ආහාර දිහා බලපුවහ ම ඉවරයිනේ. පිළිකුල උපදි යි. නමුත් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි, මේ භාවනා කිරීමේ අර්ථය. ඒ නිසා පිළිකුල ඇති වනවා නම් අප්පිරියාවක් නම් ඇති වෙන්නේ ඒක වැරදි යි මතක තියාගන්න. දැන් අපිට ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න ගිහිල්ලා ආහාර ගන්න බැරි නම් අර්ථයක් නෑ නේ ද? ආහාර ගන්න බැරිවීමක් වෙනව නම් ඒ භාවනාව කරපු විදිහ වැරදි යි.
ආහාරයේ පිළිකුල් සංඥාව වඩන කෙනාට ‘රස තෘෂ්ණාව‘ ක්‍ෂය වෙන එක තමා වෙන්නේ. රස කෙරෙහි තියෙන ඇල්ම අඩුවෙලා යනවා. එතකොට ආහාර රුචිය අඩුවෙලා යනව ද? නෑ. ආහාර රුචිය අඩුවෙන්න නෑ. ආහාර රුචිය තියෙනවා. රස තෘෂ්ණාව තමා අඩුවෙන්නේ. දැන් පිළිකුලක් දැනුනොත් කෙනෙකුට මොකක් ද වෙන්නේ. රස තෘෂ්ණාව තියෙනවා. ආහාරය රුචිය අඩුවෙනවා. එතකොට ඒ ආහාරයේ පිළිකුල වැඩීම තුලින් ආහාර රුචිය අඩුවෙනවා නම් ඒ කරපු විදිහ වැරදියි. අඩුවිය යුත්තේ මොකක් ද? රස තෘෂ්ණාව, රුචිය අඩුවෙන්න බෑ මතක තියා ගන්න.
:::::මතු සම්බන්ධයි......
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්.
http://www.lakehouse.lk/budusarana/2010/06/19/tmp.asp?ID=vision03
Currently have 0 comments: