Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මහ සෑ පුදනට - මැයි 8 වෙනිදට - සෝමාවතියට......

Tuesday, May 4, 2010 , at 2:00 PM


මැයි 08 වෙනිදා පැවැත්වෙන සෝමාවතී මහ සෑ වන්දනාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ උතුම්, අති දුර්ලභ පුණ්‍ය කටයුත්ත හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන කරුණු කිහිපයක් සියළු දෙනාගේ හිතසුව පිණිස ගෙනහැර දක්වන්න අපි කල්පනා කළා.
 
ඒ වගේම මේ උතුම් අවස්ථාවට සහභාගි වෙන්න ඔයාල හිතල නැතිනම් ඒ ගැන නැවත වරක් හිතා බලල තීරණයක් ගන්න තවමත් ප්‍රමාද නැහැ.

~ සෝමාවතී වන්දනා වැඩසටහනේ කාලසටහන දළ වශයෙන් සඳහන් කළොත්? 
වැඩසටහන පටන් ගන්නේ මැයි 8 වෙනිදා සවස 7ට. එතන ඉඳලා රෑ 12.30 වෙනකල් වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙනවා. එතැන් සිට හිමිදිරි 6 වෙනකල් පිරිත් සජ්ජායනාව. ඊට පස්සේ පැවැත්වෙන කිරිපිඬු පූජාවෙන් වැඩසටහන අවසන් වෙනවා. උදේ 8 වෙනකොට සියළු වැඩකටයුතු අවසන් කරන්නයි බලාපොරොත්තුව.

~ සෝමාවතිය කියන්නේ දශක ගණනාවක් පුරාවටම මිනිස්සුන්ගෙන් ඈත්වෙලා තිබුනු පුදබිමක්. බොහෝ දෙනා මෙවර සෝමාවතියට යන්නේ පළමු වතාවට වෙන්න පුළුවන්. මෙහි පැමිණෙන මාර්ග ගැන විස්තරයක් කළොත්...? 
සෝමාවතියට ළඟාවෙන්න පුළුවන් ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා.
1. පොළොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන් සෝමාවතිය දක්වා වැටී ඇති මාර්ගය
2. පොළොන්නරුවෙන් සෝමාවතිය එකේ ඇළ (උතුරු ඇළ) පාර
3. හිඟුරක්ගොඩ හරහා සෝමාවතිය පාර
මේ සියළුම මාර්ග පුලතිසිගම ආසන්නයේ දී එක්වෙලා අවසානයේ සියළුම වාහන එකම මාර්ගයක් ඔස්සේ තමයි සෝමාවතිය බලා යන්නේ. මේ සියළුම මාර්ග වලින් ආසන්න වශයෙන් දුර කි.මී. 38 - 43 අතර ප්‍රමාණයක්. මේ මාර්ග වාහනයක් ගමන් කළහැකි තත්ත්වයට පත්කිරීමට අපි අදාළ පාර්‍ෂවයන් හා එක්වෙලා ලොකු උත්සහයක් ගත්තා.
ඇතිවිය වාහන තදබදයන් පාලනය කිරීමට වගේම වාහන නවතා තැබීමේ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පොලීසියේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

~ මෙදිනට සලසා ඇති ප්‍රවාහන පහසුකම් මොන ආකාරද? 
මෙදිනට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ ආකාරයේ ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කොළඹ කොටුව/ පානදුර/ ගාල්ල/ මාතර/ අකුරැස්ස/ තංගල්ල/ කෑගල්ල/ මහනුවර/ බදුල්ල/ ගම්පහ/ ඇඹිලිපිටිය යන නගර වලින් 8 වෙනිදා උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස්‍ රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදලා තියෙනවා. පිටත්වන වේලාවන් දැනගැනීම සහ ආසන වෙන්කිරීම් අදාළ ඩිපෝව අමතා සිදු කළ හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්‍යාලයෙන් ලබාගන්න පුළුවන්. Tel: 0112581120-9 / 0117706000
ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන විදියට බස් රථ වෙන්කරවා ගන්න පුළුවන්. මේ සඳහාත් ආසන්නම ඩිපෝව හා සම්බන්ධ විය යුතුයි.
පෞද්ගලික වාහන වලින් පොළොන්නරුව පමණක් දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සේවාව 8-9 දෙදින පුර ක්‍රියාත්මක වෙනවා.
මීට අමතරව ළඟම තියෙන මහමෙව්නා අසපුව හා සම්බන්ධ වීමෙනුත් විකල්ප ප්‍රවාහන ක්‍රම පිළිබඳ දැනගන්න හැකි වේවි.

~ සෝමාවතිය පූජා භූමියක් මෙන්ම වන සතුන් අධිකව ගැවසෙන වන භූමියක්. මෙදිනට පැමිණෙන සැදැහැවතුන් හට සැලසෙන ආරක්‍ෂාව මොන ආකාරද? 
සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමක්. ඒ වෙත යන මාර්ගය ද වැටී තියෙන්නේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන්. වල් අලි සහ වල් ඌරන් ගහණයි. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න කියලා අපි වන්දනාවේ එන සැදැහැවතුන් ගෙන් ඉල්ලනවා. අපි ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණයි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.
තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්‍ෂාව ගැන ද නිතර සිතන්න ඕනි. භූමියේ මෙන්න මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට බුද්ධිමත් ඔබ වගබලා ගනියි කියල අපි අපේක්‍ෂා කරනවා. පොලීසියේ, හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ අති විශාල නිලධාරීන් පිරිසක් භූමිය තුළ, අවට මෙන්ම මඟ දෙපස ආරක්‍ෂාව සඳහා යොදවා තිබෙනවා.
වල් අලින්ගේ පැමිණීම වැළැක්වීමට භූමිය වටා විදුලි වැටක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනත් සැළකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා. මුළු භූමියම ෆ්ලෑෂ් ලයිට් වලින් ආලෝකමත් කර තියෙනවා වන සතුන්ගේ පැමිණීම හැකිතාක් අවම කිරීමට ආරක්‍ෂක විදුලි වැටට අමතරව.

~ මෙවන් අති විශාල ජනකායක් රැස්වන ස්ථානයක කැළි කසළ ප්‍රශ්නය තදින්ම බලපාන ගැටළුවක්. මේ පිළිබඳ මොනවගේ වැඩපිළිවෙලක් ද යොදලා තියෙන්නේ?  
සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙන්න ඕන. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරන්න කියලා අපි වන්දනාවේ එන පරිසර හිතකාමී සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. සියළු අපද්‍රව්‍ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්නත්, වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන ලෙසත් අපි මතක් කරනවා.
වැඩසටහන අතරතුර හා ඊට පසු දින භූමිය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි සූදානම් කරල තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහය ඇතිව. ස්වේච්ඡා සංවිධාන වලට මෙන්ම වන්දනාවේ පැමිණෙන පින් කැමති සැදැහැවතුන්ටත් වැඩසටහනට පසු දින (9) සංවිධායක කමිටුව හා සම්බන්ධ වෙලා භූමිය පිරිසිදු කිරීමේ කටයුතු වලට දායක වෙන්න පුළුවන්.

~ සැදැහැවතුන් මුළු රාත්‍රියම ගත කරන්නේ පූජා භූමිය තුළ. මේ පරිසරය, භූමිය, පහසුකම් ආදිය ගැන සඳහක් කළොත්? 
භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතයි. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩාත් යෝග්‍යයි කියලා අපි හිතනවා. ඉටිරෙදි ප්‍රමාණවත් වෙන එකක් නැහැ. මේක කිසිදු ආවරණයක් රහිත භූමියක්. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවුනා වගේ. හෙවනකට කියල ගහල් කොළක්වත් නැහැ. දවල් ඉඳලා පහුවදා එළිවෙනකල් ඉන්න තියෙන නිසා කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේවි.
8 වෙනිදට කලින් සෝමාවතියට පැමිණෙන සැදැහැවතුන්ට තම ආහාරපාන සහ නවාතැන් තමන් විසින්ම සපයා ගැනීමට සිද්ධ වෙනවා. පුජාභූමිය තුළ මෙම කිසිදු පහසුකමක් සැපයෙන්නේ නැහැ. පහසුකම් අවමයි. නමුත් අවශ්‍ය තරම් ජලය සැපයීමට අපි කටයුතු සම්පාදනය කරල තියෙනවා. 9 දින පමණක් උදෑසන ආහාර සියළු දෙනාට ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා. වතුර හා තේ පැන් දන්සැල් 8 වෙනිදා සවස ඉඳල ක්‍රියාත්මක වෙනවා පහුවෙනිදා උදෑසන දක්වා.
වැඩසටහන පැවැත්වෙන කාලසටහන අනුව සෝමාවතී භූමිය තුළ නවාතැන් පහසුකම් අවශ්‍ය වන්නේ නැහැ. රෑ එළිවෙනකල් වැඩසටහන පැවැත්වෙන නිසා. කිසිම කෙනෙකුට නැවැතැන් පහසුකම් ලබාදීමට භූමිය තුළ ප්‍රමාණවත් පහසුකම් නැහැ. විශ්‍රාම ශාලා වැනි නවාතැන් පහසුකම් කොහෙත්ම අපේක්‍ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
ස්ත්‍රී-පුරුෂ දෙපක්‍ෂය සඳහාම වැසිකිළි/කැසිකිළි පහසුකම් භූමිය පුරා පනවලා තියෙනවා.

~ මේ උතුම් වන්දනා ගමනට සූදානම් වන සැදැහැවතුන්ට අවසාන වශයෙන් පොදුවේ කිවයුතු කාරණා තියෙනව ද? 
ඔව්. හැම කෙනාම පිඟානක්, කෝප්පයක්, පැදුරක්, ටෝච් එකක් වගේ දේවල් සූදානම් කරගන්න කියලා අපි මතක් කරනවා. සෝමාවතියේ තියෙන්නේ අවම පහසුකම් බව අපි යළි යළිත් සිහිපත් කරනවා.
ඒ නිසා වැඩි සැප පහසුව අපේක්‍ෂා නොකරන තරමටම ඔබට පහසුවෙන් මේ අසිරිමත් පුණ්‍ය කටයුත්ත හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැති වුනොත් ආපු වෙලාවෙ ඉඳලා නොලැබුනු පහසුකම් ගැන තැවි තැවී ඉඳලා මේ දුර්ලභව ලැබුනු අවස්ථාවෙන් උපරිම පින් රැස්කර නොගෙන හිස් අතින්ම ගෙදර යාවි. සතුරෙකුටවත් එහෙම වෙන්න දෙන්න එපා. මෙවන් අවස්ථා අතිශයින්ම දුර්ලභයි. ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අවුරුද්දේ දවස් 365න් 364ක්ම ලැබෙන පහසුකම් එක දවසකට අමතක කරල මේ උතුම් පුණ්‍ය කටයුත්ත හා සතුටු සිතින්, සැදැහැ සිතින් එක්වෙලා ධාතු වන්දනාවේ මහත් වූ ආනිසංස සිහි කරමින් උතුම් බුද්ධ පූජාව හා සම්බන්ධ වෙලා සියළු පුණ්‍යකර්මයන් සතුටු සිතින් අනුමෝදන් වෙලා අමාමහ නිවන පිණිසම වූ අප්‍රමාණ කුසල් රැස්කර ගැනීමට 8 වෙනිදට සෝමාවතියට එන්න කියල අපි සියළු දෙනාටම පුණ්‍යාරාධනාවක් කරනවා.

වැඩි විස්තර සඳහා විමසන්න -
0112413025 / 0113140777 / 0714335859
asapuwa@mahamevna.org / amawatura@gmail.com 
 


පින්වත් මිතුරනි,

සෝමාවතී මහ සෑ පින්කම ගැන අපේ හිතේ පැන නැගුන අදහස් කීපයක් ඔබ සැම සමග බෙදා හදා ගන්න සුදුසු යැයි හැගුනා. ඉතාමත් කලාතුරකින් අප ලද මේ මහැගි අවස්ථාවෙන් උපරිම පල නෙලා ගැනීම අප සතු වගකීමයි.

ඉතින් අපි පහසුවෙන් සපයා ගත හැකි තෙල් මල් පහන් ආදී ආමිෂ පූජා වලින් පමණක් මහ සෑය පිදීම ප්‍රමාණවත් නොවේ. ඒ නිසා පින් කැමති සියල්ලෝ එදින උදෑසන 6ට පමණ අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන්ව පැමිණ පසුදා පහන් වන තුරු විකාල භෝජනයෙන් වැළකී උතුම් වූ ප්‍රතිපත්ති පුජවක්ද කරන්නේ නම් කෙතරම් අගනේද​? එමෙන්ම එය අපට එදින පහසු විහරණය පිණිසද ඒකාන්තයෙන්ම උපකාර වනු ඇත​.

තවද බොහෝ දුර කතර ගෙවා, පිරිසක්ද සමග පුද බිමට පැමිණිය යුතු බැවින් ගමන් මග පුරාවට අපේ ඇස​, කණ ආදී ඉන්ද්‍රිය ඔස්සේ බොහෝ අකුසල් වැඩීමට අවස්ථා බහුලය​. එබැවින් ඔබ එන කුමන හෝ වාහනයක​, ගමන් මග පුරාවට පිරිත් හෝ වන්දනා ගාථා ස්ජ්ජායනා කරමින්, බුදු ගුණ ගයමින් බොහෝ කුසල් රැස් කර ගැනීමට කටයුතු සම්පාදනය කරගන්නේ නම් මැනැවි.

නැතහොත් ඔබට සිදුවන්නේ අසල්වැසි අසුන් වල සිටින උදවිය හා ඕප දූප කතා කරමින්, මග දෙපස විසිතුරු නරඹමින් ඉන්ද්‍රිය අසංවරයෙන් යුතුව උතුම් වූ අවස්ථාවක් මග හැරී යාමයි. මේ සදහා මහමෙව්නා ප්‍රකාශන වන​, පිරිත් පොත් වහන්සේ, සැදැහැවතුන්ගේ වන්දනා පොත​, දඹදිව වන්දනාව ආදී පොත් සහ පැමිණෙන වාහනයේ පහසුකම් ඇතොත් සීඩී හෝ කැසට් පට ගැන ඒම උපකාරී වනු ඇත​. එමෙන්ම ඔබ බස් රථයක හෝ වෙනත් පෞද්ගලික නොවන රථයක් පැමිණෙනවා නම් එදිනට ගීත කැසට් හෝ ගුවන් විදුලි නාලිකා වාදනයෙන් වළකින ලෙස රියදුරු මහතාගෙන් කාරුනිකව ඉල්ලා සිටින්න (කෙලෙස් ඇවිස්සෙන නිසා)

මේ දෙදින තුල පුද බිම තුල අති විශාල ජන ගඟක් ගැවසීම බලාපොරොත්තු වන බැවින් ඔබේ ඉඳුරන් කැමති දේ කෙරේ ඇදී යාමත් අකැමති දේ කෙරේ ගැටී යාමත් පහසුවෙන් සිදු විය හැක​. මේ නිසා ඔබේ සිත ගැන මනා අවධානයෙන් යුතුව සිටීමෙන් ඔබේ ප්‍රතිපත්ති පූජාව වඩා ප්‍රබල ලෙස කර ගත හැක​. සිත ඇලීම් ගැටීම් ඔස්සේ විසිරෙන සෑම විටම උතුම් බුදු ගුණ සිහි කොට​, පහන් කර ගන්න​.

ජල පහසුකම්, වැසිකිළි පොදුවේ පාවිච්චි කිරීමට ඇති නිසා ඉතාමත් ඉවසීමෙන් යුතුව​, අන් අයට කාරුණිකව හා විනය ගරුකව හැසිරීම අප සියලු දෙනාටම යහපත පිණිසම පවතිනු ඇත​.

එමෙන්ම පුද බිම අවට මල් ආදී පුජා ද්‍රව්‍ය විකිණීමක් දක් නට නොමැති බැවින් ඔබ ඒවා නිවසේ සිටම රැගෙන ඒමෙන් බලාපොරොත්තු කඩ වීමෙන් වැළකිය හැක​.

ජංගම දුරකථන රැගෙන එන අය ඒවා නිසි පරිදි පෙර දින චාර්ජ් කරගෙන පැමිණීමෙන් අන් අයට කරදර නොකොට තමාගේ ඇමතුම් තමා විසින්ම ලබා ගත හැකි වනු ඇත​. එමෙන්ම පිංකම ආරම්භ කළ පසු ජංගම් දුරකථන ක්‍රියා විරහිත කිරීම හෝ  ශබ්ද නොනැගෙන පරිදි සකසා ගැනීම අතිශයින්ම වැදගත්‍ ය​.

සිල් සමාදන් නොවන උදවිය තමාට අවශ්‍ය ආහාර මෙන්ම පාන වර්ගද අවශ්‍ය පමණ ගෙන ඒම ඒවා තමාටම සපයා ගත නොහැකි උදවියට අඩු පාඩු නොමැතිව සංවිධායක කමිටුව මගින් සපයන ආහාර ලබා ගැනීමට උපකාරයක් වනු ඇත​.

මේ දහම් පණිවිඩ අන්තර්ජාල පහසුකම් නැති පින්වතුන්ටත් දැන ගැනීමට සලස්වන්නේ නම් එය ඔබේත් ඔවුන් ගේත් යහපත පිණිස​, හිත සුව පිණිසම පවතිනු ඇත​. 


තෙරුවන් සරණයි!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails