‘නිවන් මඟට පිවිසුණොත් නිවන් සැපත ස්ථිර යි’
Thursday, May 13, 2010
, at 1:23 AM
අපි පසුගිය කාලෙ කතා කරමින් සිටියේ, භාවනා කරන කෙනෙක් තමන්ගේ බණ භාවනා කටයුතු සාර්ථකව සිදු කර ගන්නේ කොහොම ද? කියන කාරණාව. අපි ප්‍රකාශ කළා, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට, භාවනා පහක් වත් කළොත්, අපේ සිතේ තියෙන රාග, ද්වේශ, මෝහ දුරු කර ගැනීමේ ඉඩකඩක් හදා ගන්න අවස්ථාවක් තිබෙන බව. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව, අපිට විශාල විශ්වාසයක් තියා ගන්න පුළුවන්කම තියෙනවා. අවම වශයෙන් ඒ භාවනා කීපය කිරීමෙන්, අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාවක් තියෙන බව.
ඒ භාවනා තමයි අසුභ භාවනාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව , සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව, මරණ සතිය.
එතකොට මේ භාවනා පහ අපි පුරුදු කර ගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට, අපිට ඒ නිවන් මඟ හදා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපිට එක පාරටම ඒ භාවනා ඔක්කොම එක වර කරන්න බැරි වෙයි. නමුත් අපි ටික ටික පුරුදු කර ගත්තොත්, අපිට අවස්ථාවක් උදා වෙන්න ඉඩ තියෙනවා නේ ද? අපිට නිවන් මඟ පරිපූර්ණ කර ගන්න බැරි වුණත් අඩු ගණනේ නිවන් මඟට පිවිසෙන්න හරි අවස්ථාවක් තියෙයි.
අපි මුලින්ම කල්පනා කළ යුතු වන්නේ නිවන් මඟට පිවිසෙන්නවත් අපි වෑයම් කළ යුතු යි, කියන කාරණාව. යම් කෙනෙක් නිවන් මඟට පිවිසුණොත්, යම් දවසක නිවන් මඟ අවසන් කරනවා. ඒ නිසා අපි නිවන් මඟ පරිපූර්ණ කර ගන්න නොවෙයි, මුලින් වෑයම් කළ යුත්තේ, නිවන් මඟට පිවිසෙන්න. නිවන් මඟට පිවිසෙන්න යම් කෙනෙකුට පුළුවන් වුණොත්, එයා නිවන් මඟ පරිපුර්ණ කරනවා කියන කාරණාව සිද්ධ වෙනවා ම යි. ඒ නිසා නිවන් මඟට පිවිසෙන්නේ කොහොම ද? කියන දේ තමයි අපි තෝරා බේරා ගත යුතු . ඒකයි අපි ඒ වගේ දේශනා අරගෙන විස්තර කරන්න කල්පනා කළේ. ඒ දේශනා වල තියෙන ආකාරයෙන්, අපි ඒ දේශනා කෙරෙහි විශ්වාසය තියලා කටයුතු කළොත්, නිවන් මඟට පිවිසීමේ ඉඩ කඩ වැඩි යි. ඒක පැහැදිලියි නේ ද? අද ඒ භාවනා පහෙන් එක භාවනාවක් කියලා දෙන්න මම අදහස් කළා.
අපි කවුරුත් කැමැති භාවනාවක් තමයි, “අසුභ භාවනාව“අසුභ භාවනාව කරන පිළිවෙළ කෙටියෙන් කියා දෙන්න මම කල්පනා කළා. විශේෂයෙන් මතක තියා ගන්න. අසුභ භාවනාව ගැන භාග්‍යවතුන් වහන්සේ විවිධ විදිහට දේශනා කරලා තියෙනවා. අසුභය වඩන විවිධ ක්‍රම භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දීලා තිබෙනවා. ඒ අතරින් පහසුවෙන් පුරුදු කර ගන්න පුළුවන් භාවනාවක්, අපි අද පෙන්වා දෙන්න කල්පනා කළා. පහසුයි කිව්ව පමණින් ම එය පහසු වන්නේ නෑ. නමුත් අපි ටික ටික පුරුදු කළොත් එය එතරම් අපහසු නෑ.
බැලූ බැල්මට ම සරල යි වගේ පෙනෙයි. “මේ ඇද්ද “ කියලා හිතෙයි. ඉතින් ආන්න ඒ වගේ සිතිවිලි වලට ඉඩ දෙන්න එපා. අපි විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ යමක් වදාළා නම්, ඒක ඒ ආකාරයෙන් වෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනෑ.
ආන්න ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිබඳ විශ්වාසයක් තිබුණොත් , අපිට “මේක ඇද්ද” කියන කාරණාව මතුවෙන්නේ නෑ.. ඇයි? මේ භාවනාව ප්‍රමාණවත් කියල විශ්වාසය අපට තියෙනවා. ඒ විශ්වාසය තියෙන කෙනා ඒක පුරුදු කරනවා. ඒ නිසා සතිපට්ඨාන දේශනාවේ තියෙන විදිහට අසුභ භාවනාව පුරුදු කරන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් විස්තර කරන්නම්. එතකොට මේ විදිහට බලාගෙන පුරුදු කර ගන්න.
අපි කවුරුත් කියවලා තියෙනවානේද මහා සතිපට්ඨාන සූත්‍රදේශනාව. භාවනාව වඩන විධි විවිධ විදිහට විස්තර කරලා තියෙනවා. ඒ සතිපට්ඨාන දේශනාවේ තියෙන විදිහට කොහොමද කරන්නේ කියලා මම කෙටියෙන් කියන්නම්. භාවනාවකට වාඩි වෙනකොට ඒ කරන පිළිවෙළ අපි මුලින් විස්තර කළා නේද? . සාමාන්‍යයෙන් ගොඩාක් අය කලබලයෙන් තමා පටන් ගන්නේ. ඇවිදින් වාඩි වනවා. වාඩි වුණ ගමන් තමන් කරන්න යන භාවනාව මෙනෙහි කරගෙන කරගෙන යනවා. ඒ විදිහට කළාම පිළිවෙළකට භාවනාවක් කර ගන්න බෑ.
ඒ නිසා අපි කොයි භාවනාව කළත්, ආරම්භයේ දීම හොඳට සන්සුන්කම ඇති කරගන්න ඕනෑ. කයත් නිශ්චලව තියාගෙන, හිතත් නිශ්චලව තියා ගන්න අපි උත්සාහ කරන්න ඕනෑ. කලබල නොවී සිහි උපදවාගෙන භාවනාව පටන් ගන්න ඕනෑ. එතකොට අපිට භාවනාව හුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. කොයි භාවනාව කළත් ඒ භාවනාව අපි හුරු කර ගත්තේ නැත්නම්, භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිව යනවා. ගොඩාක් අය ටික දවසකින් ඒ භාවනා අත ඇරලා දාන්නේ, ඒක හුරු කර ගන්නේ නැති නිසා. හුරු කර ගන්නේ නැතුව භාවනා කරන්න යනවා. ඒ නිසා එයාට කර ගන්න බෑ. ඔයගොල්ලන්ට වැටහුණා ද කියන කාරණාව.
වාහනයක් පදවන්න ඕනෑ කෙනෙක් මොකක්ද කළ යුත්තේ. ඒ වාහනය පදවන විදිහ පුරුදු වෙන්න ඕනෑ. වාහනය පදවන්න පුරුදු වෙනවා කියලා මොකක්ද කරන්නේ, රියදුරා කරන වැඩේ ම තමා කරන්න තියෙන්නේ, හැබැයි එයාට කළබලයට කරන්න පුලුවන් ද? බෑ. වාහනය පුරුදු වෙන කෙනා, ඒ වාහනයේ රියදුරු කෙනෙක් කරන දේම කරන්නට ඕනෑ. හැබැයි ඒ දෙන්නගේ වෙනසක් තියෙනවා නේද. පුරුදු වෙන කෙනා “පුරුදු වෙනවා” කියලා තමන් දැන ගන්න ඕනෑ. එහෙම නැත්නම් මොකද වෙන්නේ, එයා අනතුරු කර ගන්නවා. එයා දන්නව නම් පුරුදු වෙනවා කියලා, එයා අනතුරු කර ගන්නේ නෑ..එයා හොඳට පුරුදු වෙනවා කළබල නොවී.
ආන්න ඒ වගේ තමයි, අපි භාවනාවත් පුරුදු වෙන්න ඕනෑ. පුරුදු වුනායින් පස්සේ අපිට හොඳින් කරන්න පුළුවන්. ඒ නිසා අර මුලින් කියලා තියෙන විදිහට, අපි කළබල නොවී තමන් සුදුසු විදිහට සුදුසු ඉරියව්වෙන් වාඩි වෙලා, හොඳ ට කය ඍජුව තියා ගන්න ඕනෑ. ඊට පස්සේ තමන් ඉන්නේ කොතනද කියලා හොඳට සිහියෙන් තේරුම් ගන්න.
ඉන්න තැන තේරුම් ගන්න. ඊට පස්සේ ඇස් වහගෙන කළබල නොවී හොඳට තේරුම් ගන්න. “ මම මේ භාවනාව පුරුදු වෙන්න ඕනෑ’ “” කියන අදහස ඇති කරගෙන හොඳට කයට සිහිය පිහිටුවා ගන්න. ඊට පස්සේ මේ විදිහට හිතන්න භාවනා මනසිකාරය මේ විදිහට කරන්න පටන් ගන්න.
හිතන්න, “ යටි පතුලෙන් ඉහළටත් කෙස් වලින් පහළටත් සමකින් සීමා වෙලා තියෙන මේ කයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ මේ කයේ තියෙනවා කෙස්,ලොම්, නිය, දත්, සම්, මස්, නහරවැල්, ඇට, ඇටමිදුලු, වකුගඩු හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහාබඩවැල්, ආමාශය, අසූචි, හිස් මොළ, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය ,තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍ර” මේ විදිහට තමන්ගේ ශරීරයේ තියෙන කොටස් තිස්දෙක මෙනෙහි කරන්න එතකොට ඒ විදිහට එක එක කොටස් මෙනෙහි කරනකොට,ඒ මෙනෙහි කිරීම වේගයෙන් කරගෙන කරගෙන යන්න එපා.
ඒ වගේ ම ගොඩාක් හිමිට මෙනෙහි කරන්නත් එපා. “මද වේගයකින් මෙනෙහි කරන්න” ශරීරයට ම සිහිය පිහිටුවා ගන්න.
අපේ ශරීරයේ සමහර කොටස් අපට ප්‍රකටයි. “කෙස් “ කිව්වහ ම ප්‍රකටයි. එතකොට ප්‍රකට වෙන තැනට හිත පිහිටුවා ගන්න. “ලොම්” කිව්වහ ම ශරීරය පුරාම තියෙනව. අපිට එක තැනක පිහිටුවා ගන්න බෑ. එතකොට ශරීරයට හිත පිහිටුවා ගන්න. බඩවැල් කියලා කිව්වහ ම අපිට බඩට හිත පිහිටුවා ගත්තහ ම හරි. ලේ කිව්වහ ම ශරීරය පුරාම තියෙනවා. එතකොට එක තැනකට නෙමේ ශරීරයට හිත පිහිටුවා ගත්තහ ම හරි. ඒක පැහැදිලි යි නේ ද?
අපිට ප්‍රකට කොටස් තියෙනව නම්, ඒ ප්‍රකට කොටස් වලට හිත පිහිටුවා ගන්නවා කෙස් ආදි දේට . දැන් කෙස් කියලා කිව්වොත් හිසට හිත පිහිටුවා ගන්න පුළුවන්. පැහැදිලි යි නේ ද? එතකොට නියපොතු කිව්වහම නියපොතු වලට හිත පිහිටුවා ගන්නවා. දත් කිව්වහ ම දත් තියෙන ප්‍රදේශයට හිත පිහිටුවා ගන්නවා. ඒ විදිහට ප්‍රකට කොටස් වලට, ඒ ඒ තැන් වලට හිත පිහිටුවා ගන්න. අප්‍රකටයි නම් මුළු ශරීරයට ම හිත පිහිටුවා ගන්න.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියකි
http://www.lakehouse.lk/budusarana/2010/05/13/tmp.asp?ID=vision03
Currently have 0 comments: