Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මෙන්න ලෝකෙ පෙරලෙනවෝ....!

Friday, April 16, 2010 , at 10:50 PM


(ගෞතම සංදේශය 16)

එහෙම කිව්වේ මෝඩ හාවා. කණින් කණ, කටින් කට ලැව් ගින්නක් වගේ පැතිර ගිය පුවත මුළු වනයම දෙවනත් කළා. ගෞතම සංදේශය තුළින් අද දිගහැරෙන කතිකාවතත් පෙරලෙන ලෝකය ගැන. හැබැයි ඒක හීනෙන් බයවෙච්ච හාවගෙ කතාව වගේ එකක් නම් නෙවෙයි. අපේ ඇස් පනාපිට සිද්ධවෙන මහා ව්‍යවසනය ගැන. අපිම කපා ගත්ත අපේම වල ගැන. අපේම අවිනිශ්චිත හෙට දවස ගැන.

මුළු මිහිතළයම කම්පා වෙන්න පටන් අරන්. ඉතිහාසෙ කවරදාකවත් නොවූ විරූ විදියට. මේ තරම් ස්වාභාවික විපත් ගැන අපි කවදාවත් අහල තියෙ ද? ලක්‍ෂ දෙකකට අධික මිනිස් ජීවිත පණ පිටින් වැළලී ගිය හයිටි ඛේදවාචකය සිද්ධ වෙලා තවමත් දින 100ක් ගතවෙලා නෑ. මේ සටහන තැබෙන මොහොතේත් ලංකාවට මඳක් නැගෙනහිරින් වන්නට ඇති නිකොබාර් දූපත් අසල ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 5.5ක භූ කම්පනයකුත්, බටහිර චීනයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයකුත් සිද්ධ වෙලා. 2010 ජනවාරි 12 හයිටියේ පටන් 2010 අප්‍රේල් 14 චීනය හා නිකොබාර් දූපත් දක්වා සිදුවූ ඛේදවාචකයන් දාමය දෙස අපි යළි යළිත් හැරී බැලිය යුතු වෙනවා.

හයිටි භූමිකම්පාවෙන් පස්සේ මදීරා දිවයින මුළුමනින්ම ජලයෙන් යටවෙනවා. නාය යනවා. ඊළඟට නිව්‍ යෝර්ක් නුවර හිම කුණාටු. චිලී රටේ තවත් අති දරුණු භූමිකම්පාවක් හා සුනාමියක්. බටහිර යුරෝපයේ සුළි සුළං හා කුණාටු. උගන්ඩාව නාය ගිහිල්ලා. තුර්කියේත් භූමිකම්පාවක්. ගහෙන් වැටුනු චිලියට ගොනෙකුත් අනියි...! දහස් ගණනක් බිලිගත් චිලී හි දින 12කින් තවත් දරුණු භූ චලනයක්. මොංගෝලියාවේ හා ස්පාඤ්ඤයේ වාර්ථාගත අතිප්‍රබල හිම පතනයන්. අලි මදිවට කොටි..... ස්පාඤ්ඤයට භූමිකම්පාවකුත්. බීජිං නුවර වැලි කුණාටු. සීතල අයිස්ලන්තයේත් ගිනි කන්දක් පුපුරලා. පාකිස්තානයටත් දැඩි සුනාමි තර්ජන. දකුණු කැලිෆෝනියාවේ හා මෙක්සිකෝවේ ප්‍රබල භූ චලන. ගංවතුරින් හා නායයාම් වලින් බ්‍රසීලයේ රියෝ නුවර විනාසයි. භූමිකම්පාවකින් බටහිර චීනයත් සමතලා වෙලා. ඊසානදිග ඉන්දියාවේ අති දරුණු සුළි සුළඟක්. මේ සටහන් කළේ පසුගිය දින 100 ඇතුළත සිද්ධ වුන දරුණුතම විපත් වලින් කිහිපයක් විතරයි.
http://www.guardian.co.uk/world/natural-disasters
කල්පනාවෙන් බැලුවොත් ඔයාලට පෙනෙයි මේ අතරින් ලෝකෙට දරුණු ලෙසම බලපාල තියෙන්නේ භූමිකම්පා හා සුනාමි. අපි මීට 6 අවුරුද්දකට මත්තෙන් ලබපු අත්දැකීම් අපට අමතක නැහැනෙ. ගින්නෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයිලු නෙ. මේ භූමිකම්පා අනතුර අද මුළු ලෝකයටම එක සේ බලපාන භයානක තත්ත්වයක්. ලංකාවෙ අපේ තත්ත්වය බොහොමත්ම දරුණුයි. අපි ඉන්නේ අධි අවදානම් කලාපයක් තුළ.
- ශ්‍රී ලංකාවට එල්ල වී ඇති භූමිකම්පා අවදානම 
- හයිටියටත් වඩා විනාශකාරී භූමිකම්පාවක් අසල්වැසි නේපාලයට
මොකක්ද භූමිකම්පාවක් කියන්නේ.... මොකක්ද සුනාමියක් කියන්නේ..... මේවා සිද්ධ වෙන්නේ කොහොමද.....?
Earthquake

Tsunami

ඔයාල අපි ජීවත්වෙන මේ මිහිතලයේ භූමිකම්පා අවදානම කොයිතරම් ද, කොයිතරම් භූමිකම්පා සිද්ධවෙනව ද කියල දැනගන්න මේ ලින්ක් වල තියෙන දත්ත ප්‍රයෝජනවත් වේවි.
Earthquake Hazards Program
Earthquakes In The Last Week

මේ පෘථිවිය බිහිවුනේ යම් දවසක ද, භූමිකම්පා කියන ඒවායේ හටගැනීමත් එදාම තමයි. හේතුවක් නිසා හටගත්ත තවත් ඵලයක්. විටින් විට අඩු වැඩි වශයෙන් එදා සිටම මේ පෘථිවිතලය කම්පා වුනා. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන මේ අධි අවදානම් තත්ත්වය මිනිසාගේ සිත-කය-වචනය පිරිහීම නිසාම සිදුවූවක් බවනම් පැහැදිලියි. කව් සිතිවිලි අතර පමණක්ම සිරවූ ආදරය, දයාව, කරුණාව වෙර දරන්නේ ඉන් ඔබ්බට ඇවිත් සමාජගත වෙන්නයි. නමුත් ක්‍රෝධය, වෛරය, ඉරිසියාව පෙරටුකොට ගත් අධර්මවාදය කරපින්නාගත් පාපතර සමාජයෙන් ඊට ඉඩක් නැහැ. සමාජය ඉල්ලා සිටින්නේ දයාබරිත වූ සංවේදී මනුෂ්‍ය සන්තානයන්. නමුත් සමාජයේ නැත්තේමත් එවැනි අයනෙ. වචනයක් වැරදුනත් ආයුධ රැගෙන ගහ මරා ගන්නට තරම් 'මන උස්' යැයි තමාව හඳුන්වාගන්නා මේ සත්වයා පිරිහිලා. ඉවසීම් මාත්‍රයක්වත් නැති තරම්. ලෝකෙ කුඩාම සමාජ ඒකකය තමයි 'පවුල'. ටිකක් හිතල බලන්න මේ පවුල කියන සමාජ ඒකකය ඇතුළේ මේ ආදරය, දයාව, කරුණාව වගේ මනුෂ්‍ය ගුණයන් කොයිතරම් සෝදාපාළුවට ලක්වෙලාද කියලා. ගෝලීයකරණය වූ ජනසමාජය තුළට අපි පියමං කරන්නේ අපේ පවුලේ පසුබිමත් එක්ක. පවුලෙන් අපට ලැබෙන දේ තමයි අපි සමාජය තුළ පතුරුවන්නේ. ආදරය, දයාව, කරුණාව ගිලිහුනු පවුල තුළ නිතැතින්ම රජයන්නේ ක්‍රෝධය, වෛරය, ඉරිසියාව, සැකය වගේ පාපිෂ්ඨ ධර්මයන්. ඊළඟට සමාජයට ගෙනියන්නෙත් ඒවම තමයි. එකම ගෙදර, එකම පංතියේ, එකම පාසලේ, එකම ගමේ, එකම රටේ එකම මිනිස්සු හේතු හදාගෙන ඇනකොටා ගන්නවා. රට රටවල්, විවිධ කණ්ඩායම් විවිධ කරුණු කාරණා ඔස්සේ එකිනෙකා පාගාගෙන මරාගෙන ආයුධ සන්නද්ධ අරගල වලට එළඹිලා. අවි ගත් ඔවුන් අවියෙන්ම නැසෙන බව ඒ අයට අමතක වෙලා. තවකෙකු පරයා නැගීසිටීමටයි හැමෝම වෙර දරන්නේ. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න තෙතමනයක් නැති ඒ හදවත් සූදානම්. මිනිසාගෙන් ගිලිහුනේ උතුම් මනුෂ්‍යත්වය යි.....
මිනිසාගේ පිරිහීම හා ලෝකයේ කඩාවැටීම - Video

දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි මුලින් කතාකළ භූමිකම්පාවයි දැන් කතාකරන මනුෂ්‍යත්වයයි අතර තියෙන සබැඳියාව මොකක්ද කියලා. මේ මහපොළොව, ගස්වැල්, ගංගා, සාගර, හිරු, සඳු ප්‍රමුඛ විශ්වයේ ගැබ්වී පවතින ශක්තීන් ලාමක වූ ප්‍රඥාවන්ට ගෝචර වන යතාර්ථයක් නෙවෙයි. මිහිමත සියළු සත්වයින්ගේ සියළු ක්‍රියාකාරකම් වෙනුවෙන් මේ විශ්වය සාක්‍ෂි දරනවා. යහපත රජයන කළ විශ්වයත් හිනැහෙනවා. අයහපත රජයන කළ මුළු විශ්වයම වැලපෙනවා. මේ මහ පොළොවත් දුකේදි හඬනවා. දරාගත නොහැකි කළ වැලපෙනවා. කම්පා වෙනවා. අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර භවයේ පාරමීදම් පුරන අවධියේ ගතකළ වෙස්සන්තර රාජභවය ගැන බොහෝ දෙනා අසා ඇති. වෙස්සන්තර රජු ලෙසින් උන්වහන්සේ තුළ ඇතිවූ දානමය කුසල චිත්තයන් හේතුවෙන් මේ මහපොළොව අනේක වර සතුටු වුනා. ප්‍රීතියෙන් සළිත වුනා 7 වතාවක්ම. උන්වහන්සේ සිය අවසාන භවයේ සිද්ධාර්ථ නමින් ගයාවේ වජිරාසනයේ හිඳ බුද්ධත්වය අධිෂ්ඨාන කොට දැහැන්ගත වන මොහොතේ පවිටු මාරයා එතැනට පැමිණිලා වජිරාසනයටත් අයිතිවාසිකම් කියන්න වුනා. අපරිමිත පාරමී බලයන්ගෙන් පරිපූර්ණ වූ භාග්‍යවතුන් වහන්සේගේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වුනේ මේ හිත් පිත් නැතැයි කියන මහ පොළොව. ඇතු පිට සිටි වසවත් මරු බිම පෙරළා දමමින් මේ මහපොළොව හෙණ හඬින් ගිගුම් දෙමින් කම්පා වුනා. මාර සෙනඟ පළවා හැරියා. සම්බුද්ධත්වයේ පටන් සම්බුද්ධ පරිනිර්වාණය දක්වාම විවිධ අවස්ථාවන් වලදී මේ මහපොළොව ඇතුළු සියළු ලෝක ධාතුන් කම්පා වුනා. සතුටේදී වගේම දුකේදීත්.

අපි හිතන සිතිවිලි, කියන වචන, කරන ක්‍රියා සියල්ල මේ මහපොළොවට හොඳින්ම දැනෙනවා. යහපතට සුවඳ දෙමින් මල් ඉසින්නත්, අයහපතට රිදෙන්නට ගල් ගසන්නත් මේ මහපොළොවට පුළුවනි. සද්ධර්මය, සුචරිතය, මනුෂ්‍යත්වය ගිලිහී අසද්ධර්මය, දුෂ්චරිතය, අමනුෂ්‍යත්වය රජයන සමාජයට තමයි මහපොළොව මේ ආකාරයෙන් සළකන්නේ. මේ පාපතර සත්වයින් මහපොළොවට බරක්. දසත භූමිය කම්පා කරවමින් මේ මිහිමව වැළපෙන්නේ තිත්ත වුනත් ඇත්ත වන ඒ ලෝ දහමේ යතාර්ථය මනාව පසක් කරමිනුයි.

ලොව සියළු දෙනාම පාපතරයන් නෙවෙයි නෙ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක සොබාදහමේ අසාධාරණ න්‍යායක් විදියට. නැහැ...... සැබෑ සිල්වතුන් ගුණවතුන් ආරක්‍ෂිතයි. හැබයි නිකං නෙවෙයි. ඒකට යතාර්ථවාදී, ධනාත්මක, ක්‍රමවත් වැඩ පිළිවෙලක් තියෙනවා. හිතන්න එපා සුදු ඇන්ද පළියට, නිර්මාංශ වූ පළියට, පන්සල් ගිය පළියට, දාන දුන්න පළියට තමුන් සිල්වන්තයි, ගුණවන්තයි කියලා. ඒක මුලාව. මේ පෙරළීගෙන එන ලෝකය තුළ ඔබේ මගේ එකම ආරක්‍ෂාව, එකම රැකවරණය මෛත්‍රිය - කරුණාව - මුදිතාව - උපේක්‍ෂාව..... සිව් බඹ විහරණ. අහසේ, පොළොවේ, සාගරයේ කොහේ හිටියත් අපට පිහිටට, සරණට, ආරක්‍ෂාවට තියෙන්නේ අපේම සිත් තුළ ඇතිකරගත යුතු මේ සතර බ්‍රහ්ම විහාරයන්. විශ්වයට අවැසි වන්නේ මෙත්තාව - කරුණාව - මුදිතාව - උපේක්‍ෂාව පෙරදැරි කරගත් හදවත් සහිත සංවේදී මිනිසුන්. විශ්වය තුටු වන්නේ ඒ සුන්දර චිත්ත සන්තානයන්ගෙන් මුදාහැරෙන ආදරයේ, දයාවේ, කරුණාවේ ඉමිහිරි සුවඳින්.

අපමණ මෙත් සිතින් බ්‍රහ්ම විහාරයන් තුළ වාසය කරන්නන් ලොව දුලභයි. එවන් සොඳුරු හද මඬලක් දරා සිටින්නවුන් අතිශයින්ම වාසනාවන්තයි. මොකද ඒ අය නිතැතින්ම සුරක්‍ෂිතයි. මෙලොව පරලොව දෙකේදීම. බඹ විහරණ තුළ වාසය කරමින් මහා විපත් වලදී පවා සුරක්‍ෂිත වූ පිරිස් ගැන අපි අහල තියෙනවනෙ. සුනාමි අවස්ථාවෙ වගේම ඊට පෙර හා පසු අවස්ථාවලත් මෙත්තාව-කරුණාව-මුදිතාව-උපේක්‍ෂාව වඩමින් සියළු සතට මෙත් සිත පතුරුවමින් වාසය කළ බොහොමයක් සිල්වතුන්, ගුණවතුන් මෙලොව මෙන්ම පරලොවද උපරිම ආරක්‍ෂාව සලසා ගත්තා. ඒ සඳහා වූ එකම වැඩපිළිවෙල තමයි බ්‍රහ්ම විහාර භාවනාව. මේ සඳහා අපිට අමුතුවෙන් කාලයක් ඕන වෙන්නේ නෑ. අපි ඇවිදිනකොට, කන බොන වෙලාවට, වාහනයක යනවිට, වැඩ පල කරන විට පවා අපිට පුළුවනි තවකෙකුට යහපතක්ම වේවා කියල හිතන්න..... සියළු දෙනා වෛර, ක්‍රෝධ, ඉරිසියා නැත්තෝ වෙත්වා කියල හිතන්න..... සියළු දෙනා නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා කියල හිතන්න..... සියළු දෙනා යසසින්, බලයෙන්, කීර්තියෙන් නොපිරිහේවා කියල හිතන්න..... ඉපදුන සියළු සත්වයන් කර්මය දායාද කොටගෙන, කර්මය ඥාතියා කොටගෙන වාසය කරන බව සිතමින් උපේක්‍ෂාව වඩන්න..... මේ වෙනුවෙන් අපිට වෙනම කාලයක් තැනක් ඕන වෙන්නෙ නැහැනෙ.
අපි භාවනා කරමු - Audio

අපි මාරයත් එක්ක ගිවිසුම් ගහල නෑනෙ. ඒ නිසා මරණය කියන දේ ඕන තැනක ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවනි. ඉපදුන සියළු සත්වයන්ට පොදු වූවක්නෙ ජාති-ජරා-මරණ. බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙනුත් අපට දේශනාකොට වදාළේ අප්‍රමාදයේ ගුණමයි. භූමිකම්පා, සුනාමි, ගංවතුර, නායයාම්, කුණාටු අපිට නවත්වන්න බැහැනෙ. අධර්මවාදී දුසිරිතටවන් සමාජය සුමගට ගැනීමත් පවතින තත්ත්වයන් යටතේ සිදු කළ නොහැක්කක්. සිදුකළ හැක්කේ එකම දෙයයි. ඒ තමුන් හැදීමයි. ධර්මය තුළ ආරක්‍ෂාව සලසා ගැනීමයි. ඒක පෘථඃජනයාගේ ආත්මාර්ථකාමිත්වයේ නිර්වචනයා හා ගැලපී යන එකක් නෙවෙයි.

ලොවට නොමැති, නමුත් අවැසි කරුණාව, දයාව, සෙනෙහස, අනුකම්පාව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අපිට නොමඳව සමාජයට දායාද කරන්න පුළුවන්නෙ. බඹ විහරණ තුළ වාසය කිරීම තමයි මේ සඳහා වඩාත්ම ප්‍රායෝගික පිළිවෙත. එළඹෙන 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මෙපුරන සියළු පිළිවෙත් තුළින් ගෞතම බුදුරජුන්ගේ උත්තම සාම සංදේශය ලොවපුරා සිව්දිග දනන් වෙත රැගෙන යාමයි සාමය ගිලිහුනු ලොවක අද යුගයේ අපේ යුතුකම මෙන්ම වගකීමත්. ලෝ සත වෙත කරුණාවෙන්, මෛත්‍රියෙන්, මුදිතාවෙන්, උපේක්‍ෂාවෙන් එඩි සිත් ඇත්තෝ මනු ගුණදම් පෙරදැරිව මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙරට එත්වා.... අත්වැල් බැඳගනිත්වා....!!!

'ගෞතම සංදේශය' -
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​ ......


Bookmark and Share

Currently have 4 comments:

  1. සාදු.! සාදු..! සාදු...!
    වටිනා දහම් කරුණු රැසක් කැටි කොට ලියැවුනු සුන්දර ලිපියක් කියවන්ට ලැබීම ලාභයක් මයි...
    "වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර"
    තෙරුවන් සරණයි...!

  1. nuwansltnet says:

    නුවන් තෙන්නකෝන්

    මුලාවෙහි නොවැටි උතුම් ඒ ධර්ම කරුනු කැටිකර දැනුවත් කරන කළණ මිතුරන් සදා වාසනාවන් මා හට.
    තෙරුවන් සරණයි!

  1. Nuwan Thennakoon says:

    සාදු! සාදූ!! සාදූ!!!

    මුලාවෙහි නොවැටි ඒ උතුම් ධර්මය කැටිකර අප දැනුවත් කරනා කළණ මිතු දම් වැට සදා වාසනාවන් මට
    මේ කළණ මිතුදම බොහෝ කල් සුරකේවා!
    තෙරුවන් සරණයි!

  1. ජයතිලක says:

    සැදැහැවත් සියළු දෙනා හට මෙලොව පරලොව ආරක්ෂාව සලසා ගැනීම ට සහ නිවන අවබෝධ කර ගැනීම ට ඒ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය උපකාරී වන බව සත්‍යයක් ම යි.

    තුන් ලෝකයේ ම යහපත පිණිස උතුම් වූ බුදු දහම බැබළවීම ට කටයුතු කරන ඔබ සැම දෙනා ම නිදුක් වෙත් වා... නිරෝගී වෙත් වා... සුවපත් වෙත් වා...

    තෙරුවන් සරණ යි!!!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails