Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

2012 - ගැටෙමින් වැනසෙමු ද? නුවණින් ජයගමු ද?

Saturday, March 6, 2010 , at 11:39 AM



පාරමී දම් පුරන අවධියේ අප මහා බෝසතාණන්වහන්සේ 'අරක​' නම් ශාස්තෘන්වහන්සේ කෙනෙකු වී බුදුවරුන්ගේ දේශයේ පහළ වුනා. එදා උන්වහන්සේ මනු ලොවට ආවේ බඹ ලොව ඉඳලා. චතුරාර්‍ය සත්‍යයක්, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයක්, නිවනක් ගැන එදා ඒ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඒක බුද්ධශූන්‍ය වකවානුවක්. ඉතින් මේ ශාස්තෘන්වහන්සේ දේශනා කළේ බඹ ලොව යන හැටි. ගුණ දම් දියුණු කරගෙන​, භාවනා පුරුදු කරල​, ධ්‍යාන සමාධි උපදවාගෙන බඹ ලොව යන ආකාරයයි මේ ශාස්තෘන්වහන්සේ තම ශිෂ්‍යයන්ට කියලා දුන්නේ. ඒ කාලෙ මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 60,000 (අපිට බිංදු ගාන වැරදුනේ නැහැ. අවුරුදු හැටදාහක්!). ඉතින් මේ අරක ශාස්තෘන්වහන්සේ තම ශිෂ්‍යයන්ට නිතර කීව දෙයක් තිබුනා. "දරුවනේ, මේ ගත කරන ජීවිතය තන අග පිනි බිංදුවක් වගේ. බොහොම ඉක්මනට වියලිලා, වියකිලා යනවා. අපි ජීවත් වෙන කාලය බොහොම කෙටියි. හිරු සඳු වේගයෙන් කැරකෙනව​. බොහොම ඉක්මනින් රෑ දවල් ගෙවිල යනවා. මේ කෙටි කාලයකට ලැබුන මනුෂ්‍ය ජීවිතය ගිලිහිලා යන්න කලින් නොපමාව මේ මාර්ගය ප්‍රගුණ කරල බඹ ලොව යන්න​". උන්වහන්සේ ඒ ප්‍රකාශය කළේ මිනිස් ආයුෂ අවුරුදු 60,000ක් වුන කාලෙ. ඒ තරම් දීර්ඝ ආයුෂ තියෙන කාලෙත් නුවණැති ශාස්තෘවරු අගය කළේ, තම අනුගාමිකයන් උනන්දු කළේ ධර්මය තුළ අප්‍රමාදී වීමටම යි. එතකොට පරම ආයුෂ අවුරුදු 70-80ක් වෙච්ච අද​?

බලන්න මේ මෝඩකමයි, මාන්නයයි මිනිස්සුන්ව කොයි තරම් අවාසනාවන්ත තත්ත්වයකට ඇදල දානවද කියල​. සාධාරණව හිතලා ඇත්ත නැත්ත තේරුම් නොගෙන පුහු දෘෂ්ඨි වලට අහුවෙලා තමුන් විසින්ම තමුන්ගේ වල කපාගන්න අය කොයිතරම් නම් ඉන්නවද​.... අපි 2012 ගැන කතා කරන්න හිතුවේ බය වෙලා ඉන්න අය තවත් බය කරන්නවත්, නැති ප්‍රශ්න ඇති කරන්නවත් හිතාගෙන නෙවේ. මේ ලිපිය කියවලා අවසන් වෙන්න කලින් වුනත් වියැකිලා යන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතය තුළ අප්‍රමාදී වීමේ වටිනාකම ගැන ඔයාලට සිහිකර දෙන්නයි. බොහොමයක් දෙනා ජීවත් වෙන්නේ 'නොමැරෙණ මිනිස්සු' විදියටනෙ. මරණය ගැන කතා කරන්නත් බයයි. මූසල කතා කියන්න එපා කියනව​. මේ ඔක්කොම හේතු නිසා හටගත්ත දේවල්බව අපට අමතක වුනා. මරණය අපිට උරුම වුනේ ඉපදීම නිසා. එහෙනම් ඉපදීමත් මූසල වෙන්න එපායැ. කසාද බඳින එකත් සුභයි. හනිමූන් යන එකත් සුභයි. කාන්තාවක් ගැබ් ගන්න එකත් සුභයි. ළමයෙක් හම්බවෙන එකත් සුභයි. ඊට පස්සෙ වෙන හැම දේමත් සුභයි. මරණය තමයි අසුභ​. ඔය විදියට මිත්‍යාදෘෂ්ඨි ජාලාවක පැටලිලා ඉන්න 'මන උස්' යැයි කියාගන්නා සත්ව කොට්ඨාශයක් එක්කයි අපි මේ හැම දෙයක්ම කතාකරන්නේ. සිදුවෙමින් පවතින්නේ මොකක්ද​, කළ යුත්තේ මොකක්ද​, කරන්නේ මොකක්ද කියලා බොහොමයක් අය තුළ පැහැදිලි අදහසක්, ස්ථාවරයක් නැහැ.

අපි ඈත ඉසව්වක පෙනෙන නොපෙනෙන මානයේ තියෙන 2012ක් ගැන කතාකරන්න ගත්තේ අපි හැමෝම දරන උත්සහය පීඩනයකින් තොරව යතාර්ථයක් කරා රැගෙන යාමට රුකුළක් වශයෙන් මිසක ඊට කලින් අප කිසිවෙක් නොමැරෙන නිසා නෙවේ. පෘථිවිය හා මනුෂ්‍යයා විනාශය කරා යන ගමන සීඝ්‍රගාමී වෙලා. වැඩිදුර සාක්‍ෂි අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක අපේ ඇස් පනාපිට සිද්ධ වෙනවා. 20 වන සතවර්‍ෂය ඉවර කරල අපි 21වෙනි සතවර්‍ෂයට ඇවිල්ල ඉන්නව​. තවම අවුරුදු 10ක් වත් ගෙවිලා ඉවර නෑ. ඔයාල ඉවසීමෙන් දත්ත සන්සන්දනය කරල බැලුවොත් කලින් අවුරුදු 100 තුළ සිද්ධ වුනු අනතුරු, විනාශ​, මිනිස් සංහාර වගේම ඒවා සිද්ධ වුනු ආකාරයත්, 21 වන සියවස තුළ ගෙවීගිය අවුරුදු 10 දි ඒ දේවල් සිද්ධ වෙලා තියෙන ආකාරයත්, ඔයාලට අපි මේ කියන්න උත්සහ කරන දේ ගැන තහවුරු වූ අවබෝධයක් ලැබේවි. තවදුරටත් මේ 2012ම එල්ලීගෙන තර්ක ඉදිරිපත් කරමින් ඒක සිද්ධ වන දෙයක් හෝ නොවන දෙයක් යැයි පවසා තම මතය දිනවන්න දරන පරාජිත, ලාමක උත්සහය ඔයාලවම ලැජ්ජාවට පත්කරාවි.

සුළි සුළං, කුණාටු, ගංවතුර​, භූමිකම්පා, නාය යාම්, සුනාමි, ගිනි කඳු, ලැව් ගිනි, යුද්ධ කෝලාහාල ආදී මෙකී නොකී සියළු දේ සියළු කල ලබා දෙන්නේ විපත්, විනාශයන් මයි​. විසූවියස් ගිනි කන්ද පුපුරා නිදාහුන් පොම්පේ නගරයම මරුතුරුළට ගෙනගියේ ඒ නින්දෙන් යළි අවධි නොවන ලෙසටයි​. මහ සමුදුරු ගොඩ ගලා අග්නි දිග හා දකුණු ආසියාවම එකම සොහොන් බිමක් බවට පත්කොට අප මාපිය නෑ හිතමිතුරන් ජලරකුසා රළපහර හා රැගෙන ගියේ හැඳිවත පමණක් අපහට ඉතිරි කරමින්. හයිටි දේශයේ දෙලක්‍ෂයක් පමණ ජනයා පණපිටින් ගොඩනැගිලි සුන්බුන් අතර වැලලී යද්දී තවත් හුස්මක් ගැනීමට ඉඩක් නොතබාම චිලී හි වැසියෝ ද දහස් ගනණින් ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුනා. මීට අමතරව යුධ කෝලහාල​, ආහාර නොමැති කම​, වසංගත රෝග වලිනුත් දහස් ගණන් මිනිස්සු දිනපතා මැරෙණවා. අපේ බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නෙ අපි හරි වාසනාවන්තයි අපිට මේ දේවල් සිද්ධ වෙන්නෙ නෑ කියල​. ඊට වඩා මුලාවක් තවත් කොහෙද​?

මේ අනතුරු බහුල වටාපිටාවත් එක්ක ජීවත්වෙන අපිට මොකක්ද තියෙන රැකවරණය? මොකක්ද තියෙන සහතිකය අපි මේ සියල්ලන්ගෙන්ම සුරක්‍ෂිතයි කියලා. ඔය දියුණුයි කියන මොන විද්‍යාවටද පුළුවන් වුනේ මේ සිද්ධ වෙන විනාශයන්ගෙන් 100න් එකක් හරි වළක්වාගන්න​.... ඒත් මේ 'නවීන විද්‍යාව' කියන දෘෂ්ඨියේ හිරවෙලා ඉන්න කොයි කෙනාද ඒ රාමුවෙන් පරිබාහිර යමක් ගැන හිතන්නවත් පෙළඹෙන්නේ..... ලොකුම අනතුර ඒක නෙවෙයි. වර්තමානයේ මේ සිද්ධවෙමින් පවතින මිනිස් සංහාරයේ ප්‍රධානම කොටස්කරුවෙක් විදියට 'නවීන විද්‍යාව​' හැඳින්වුවොත් ඒකට එරෙහිව කෑ මොර දෙන්නෙත් ඒක නිසාම වලපල්ලට යන අන්ත අසරණ නමුත් ඒ බවවත් නොදන්නා 'මන උස්' පිරිස්ම තමා.

අපිට ලෝකය බේරන්න බැහැ. නමුත් නිසැකවම එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි තමන්ව බේර ගන්න එක​. තමුන්, තමුන්ට ආදරය කරන්න ඕන​. මේ සසර ගමනේ බිය දකින්න ඕන​. ඒක දැක්ක කෙනා, නුවණින් විමසන කෙනා කවදාවත්ම ප්‍රමාද වෙන්නෙ නෑ. මේ සසර ගමනේ භයංකාර ස්වභාවය දැනගන්න ඛුද්දක නිකායේ පේත වත්ථු කොටස කියවන්න​. ඒ වගේම මේ සංසාරය, ඒකෙ දිග​, පළල​, උස​, පාට මොනවගේද කියලා දැනගන්න සංයුත්ත නිකාය දෙවන පොත්වහන්සේගේ නිදාන වර්ගයේ අනමතග්ග සංයුත්තය බලන්න​. අපගේ ශාස්තෘන්වහන්සේ ලෝකවිදූ නුවණින් දුටු මේ සසර ගැන සඳහන් පිරිසිදු බුද්ධ වචනය කියවා දැනගන්න​. ඒ තථාගත බුදු නුවණ ගැන හිත පහදවා ගන්න​. එයම බොහෝ කල් අපගේ හිත සුව පිණිසම පවතීවි.

මතකයිනේ 'අරක​' ශාස්තෘන්වහන්සේගේ උපදේශය​. ඉතින් අප්‍රමාදී වෙමු. බඹ ලොවින් නවතින්න නෙවේ. මොකද අපිට ඊට වඩා උසස් නිර්මල දහමක් ලැබිලා තියෙනවා. සියළු සසර දුක් කෙළවර කරන මාර්ගය අපිට හමුවෙලා තියෙනවා. ඒ මාර්ගයේ හික්මෙන වැඩපිළිවෙළ අපිට හමුවෙලා තියෙනවා. අප ගැන අනුකම්පාවෙන් අපට උපදෙස් දෙන උතුම් සබ්‍රහ්මචාරී කළ්‍යාණමිත්‍රයන් අපට මුණගැසිලා තියෙනවා. ඉතින් මොනවායින් අඩුවක් ද​....? බාහිරින් ලැබිය යුතු හැමදේම ලැබිලා තියෙන්නේ. අඩුව තියෙන්නෙ අපේ පැත්තේ. අපි වීරියෙන්, නුවණින් යුතුව ඒ උතුම් දහමේ හැසිරිය යුතුයි. ඒ උතුම් මාර්ගයේ අවසන් ඉලක්කය සිත් හි දරාගෙන සැම විටම එය ඉලක්ක කොටගෙන සිත​-කය​-වචනය සංවර කරගත යුතුයි. අකුසල් වලින් වෙන් විය යුතුයි. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම තුළ කුසල් දහම් වල නිරත විය යුතුයි. දහ අතේ දුවන මේ හිත ආර්‍ය මාර්ගය තුළ හික්මවිය යුතුයි. ඒ තමයි සියළුම බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව​. එතකොට අපි සැබැවින්ම සුරක්‍ෂිතයි.... පිය උරුමය තුළ​.

දහම තුළ ඒ විදියට හික්මුණු කෙනා 2012 දි නෙවෙයි ලබන සතියෙ මළ​ත් බය වෙන්න දෙයක් නැහැ. මොකද එයා රැකවරණයක් ඇතුවයි හැම දේටම මුහුණ දෙන්නේ. දහම තුළින් ලබන රැකවරණය මෙලොවත් පරලොවත් දෙකේදිම අපට ආරක්‍ෂාව සපයනවා. 2012 දි ඔය කියන විනාසෙ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි ඒකට මූණ දෙන්නේ ඒ වෙනකල් ජීවත් වෙන්න ලැබුනොත්නෙ. ඉතින් ඊට කලින් අපි මැරුනොත්......?

-අප්පමාදේන සම්පාදේථ​-

:::::::::::
අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්තී - යේ පමත්තා යථා මතා

බාහිර වැඩවල නොයෙදී - නිවන් මඟට කැපවේ නම්
නොපමාවෙන් වසන කෙනා - ලබයි නිවන සැප සදනා
බාහිර වැඩ වල යෙදෙමින් - දහමින් බැහැරට යයි නම්
පමාවෙන්ම වසන කෙනා - මැරී මැරී යයි සසරෙම​
නිවන් මඟට කැපවෙන අය - ලබයි අමරණීය නිවන​
කෙලෙස් ගොඩේ සිටිනා අය - සිටියත් මළ කඳන් වැනිය​…..
෴අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 02 - අප්පමාද වර්ගය
පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි



Bookmark and Share

Currently have 2 comments:

  1. Anonymous says:

    කාලීන පොස්ට් එකක්! ස්තුතියි!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails