මේ දුකින් අත් මිදෙමු….
Sunday, February 21, 2010
, at 4:31 AM
*නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස*
මේ දුකින් අත් මිදෙමු….
පින්වත් මිතුරනේ, අපට නිතර දෙවේලේම හොඳ පුෂ්ඨිමත්ව සුරතලයට හැදිච්ච සුනඛයන්ගෙ හා බළලුන්ගේ ඡායාරූප ඇතුලත් ඊමේල් ඕනෑ තරම් ලැබෙනවා නේද? ඉතින් අපි ඒවා දිහා බලලා සිත පිනවාගෙන, ඒ කිව්වේ අල්ප වූත්, තුච්ඡ වූත්, ළාමක ආස්වාදයක් ලබා අන් අයවත් ඒ සත හැත්තෑපහේ ආස්වාදයේ අනුමෝදන් කරවීම පිණිස එම ඊමේල් ඒ අයටත් ලැබීමට සලස්වනවා නේද? ඉතින් බලන්න දියුණු කළ හැකි මනසක් සහිතව උපන් මනු සතුන් වෙච්ච අපි මේ වගේ ළාමක ආශ්වාදයක් ලබන්න මොනතරම් මනසින් බෙලහීන වෙලාද කියලා.
නමුත් අපි නිකමට හරි අපිට නිතර දෙවේලෙ මහ පාරවල් අයින් වල අතරමන් වෙලා ඉන්න ඇඟ පුරා හොරි හැදිච්ච , ආහාර නොමැති කමින්ම කෘෂ බවට පත්වූ ඒ අසරණ සතුන් දිහා බලන්න හිතුනද? අපි ඒ අයව දැක්ක විට, අපට අතර මගදී මුනගැසුනු විටදී සමහර විටක "අනේ පවු " යැයි පවසමින් අනුකම්පා සිතක් ද, සමහර විටක "චිකේයියා" කියමින් පිළිකුල් සිතක් ද පහල කරගන්නට ඇති. සමහර විටක ඒ ගැන කිසිත් නොසිතාම යන්නටත් ඇති. නමුත් මොහොතකට සිතා බලන්න මේ ලෙසටත්.
ඒ උතුම් ‘ශ්‍රි සද්ධර්මය’ අවබෝධ නොකරන තාක් කල් ඒ සත්වයන් හට අද උරුමව ඇති ඒ තිරිසන් අපාය, පෙර පිනකට මිනිසත් බව ලබා සිටින අපටත් නිතැතින්ම උරුමයි කියන වග 99.99% කට ම නිතැතින්ම අමතක වූ කරුණක්. බැරි වෙලාවත් මතකයට ආවත් සිහිකරන්න අකමැතිම කරුණක්. ඒ තමයි මේ ළාමක හිතේ ස්වභාවය. ලෝකවිදූ වූ අපගේ ඒ භාග්‍යවතුන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ධර්මය අවබෝධ නොකල තැනැත්තා හට මේ සතර අපාය (අසුර ලෝකය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, නිරය) ඔහුගේ හෝ ඇයගේ මහගෙදර හා සම වගම යි.
ඉතින් අපේ ඇස්වලට දකින්නට ලැබෙනවා නේද පාරවල්වල අසරණ වෙච්ච සතුන්.... බල්ලන් හා පූසන් නොයෙකුත් ලෙඩ රෝගයන්ට ගොදුරුව කුෂ්ට රෝගයන්ට ගොදුරුව, ඒත් එක්කම තමාගේ ශරීරයේ අවයව නොයෙකුත් අනතුරුවලට භාජනය වීමෙන් ආබාධිත තත්වයට පත්වූ, ඇස් අන්ධ, කකුල් නැති, සැරව හොරි මුලු ඇගපුරාම පැතිරී ගොස් ඇති, කුසට අහරක් නොමැති, වැස්සට නොතෙමී සිටින්නට වහලක් නොමැතිව සීතලෙන් වෙව්ල වෙව්ලා ඉන්න, හිරු රැස් තදින් පායන විට පානයට දිය පොදක් වත් නොමැතිව ඉතා කර්කෂ ලෙස අව්වට වේලි වේලි මහ පොළව පමණක් තම එකම පිහිට පිලිසරණ කරගෙන සිටින සත්වයන්ව. මේ අය ආරම්භයක් දැකිය නොහැකි මේ අනවරාඝත සංසාර ගමනේ දී අපේම ඥාතීන්, අපේම මව්පියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන් වී අනන්තවත් ඉන්න ඇති. මතකනේ අර මූලසිරි සිටුතුමාගෙ කතාව. එදා බුදුරජාණන් වහන්සේ වැඩසිටිය නිසා ඒ අය ඒවා දැන ගත්තා. නමුත් අද? අපට ඒ තරම්ම වාසනාවන්ත වෙන්න බැරි වුනා. නමුත් අපි කොහෙත්ම අවාසනාවන්ත නම් නැහැ. අපි නිරන්තරයෙන් මතක තබා ගන්න ඕනි අප මේ ලෝකයේ දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත්, මිනිසුන්ටත් ලබා ගත හැකිවූ ඉහළම උත්තරීතරම සරණ, තෙරුවන් සරණ ලබා ගන්නට පින් තිබූ අය. විශ්වයේ උතුම්ම ධනය, ශ්‍රී සද්ධර්මය ට උරුම කම් කියන අය. ඒවායේ පිහිට, පිළිසරණ තිබෙන අය. හැබැයි ඒ හැමදේම ලබන්න එකම එක දෙයක් තිබිය යුතුයි.... ඒ තමයි ශ්‍රද්ධාව.
අද මේ තිරිසන් සතුන් ලෙස ඉපද අසරණවී සිටියත් එම සත්වයන් අපි වගේම සමහර විට අපිටත් වඩා ඉහළ සුගති ලෝකවල ඉපදී කාම සැප විඳින්නැති. සක් දෙව් පදවි දරන්නැති. සක්විති රජ වී සිටින්නැති. ඒත් අද.....? අපිට ලෙඩක් දුකක් අසනීපයක් හැදුනොත් කියන්න කෙනෙක් හරි ඉන්නව. කියන්න විදියක් තියෙනව. උපකාරයක් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. බැරිවෙලාවත් අපි මේ පින්තූරෙක ඉන්න බල්ලෙක් වුනා නම්..... හිතෙනකොටත් බයයි වගේ නේද. ඒක තමයි මිතුරනේ අපි තේරුම් ගත යුත්තේ මේ මනුෂ්‍ය ජීවිතේ වටිනා කම. අපිට ලැබුන මේ උතුම් ධර්මයේ වටිනා කම. මනුෂ්‍ය ජීවිතය හා ධර්මය එකට ලැබුනු අවස්ථාවේ තියෙන දුර්ලභ කම. මේ දේ තේරුම් අරගෙන නුවණින් ක්‍රියා කළේ නැති වුනොත් කිසිම කෙනෙකුට බැහැ අපව සතර අපායෙන් නම් බේරගන්න.
අපි දැන් මිනිසුන් වී ඉපදිලා ඉන්නවා. කොච්චර පිරිසිදු කරන්න උත්සාහ කරත් පිරිසිදුකම නොපවතින අනාත්ම වූ අසුචි පිරිච්ච මේ කුණු ශරීරය නිරන්තරයෙන්ම සරසවාගන්නා අපි හිතාගෙන ඉන්නේ අපේ ශරීර වල පස්, මඩ තැවරිලැ නෑ කියලා. නමුත් මේ ශරිරයේ අභ්‍යන්තරයත් බාහිරත් යන දෙකම පිරී ඇත්තේ පස්, මඩ වලටත් වඩා පිළිකුල් වූ සෙම, සොටු, සැරව, ලේ, දහඩිය, කෙල වැනි කුණුප කොටස් 32 කින් නේද? ඉතින් අපේ මේ පිරිසිදු යැයි සලකාගෙන සිටින ඉතා පිළිකුල් වූ ශරීරය ගැන මහ ඉහලින් හිතාගෙන තමා, අර අසරණ වෙච්ච සත්වයන් දැක්කහම ඒ සත්වයන් දිහා අනුකම්පා තොර සිතින් බලන්නේත්, තමාත් මේ ඉරණමට ගොදුරු වියහැකි අයකු බව සිහි නොකරන්නේත්, මේ අය තමාගේ ඥාතීන් වී සිටින්නට ඇති බව සිහියට නොඑන්නේත්. ඉතින් ඒ වාගේ සිහි කිරීම් අපේ සිතට නොනැගෙන්නේ අපි ඉතා බරපතළ ලෙස මුළාවූ සත්වයන් වීමමයි.
සෝතාපන්න නොවිච්ච ආර්‍ය්‍ය ශ්‍රාවකයා ගේ සසර ගමනේ ස්වභාවය ගැන අපේ බුදුරජාණන්වහන්සේ දවසක් මෙසේ දේශනා කොට වදාළා.
දිනක් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ රජගහ නුවර මාර්ගයේ පිඬු පිණිස වැඩම කරද්දී මාර්ගය හරහා දිව ගිය ඊරි පැටියෙකු දැක සිනහ පහළ කොට වදාළ. බුදුරජාණන්වහන්සේ සිනහ පහළ කිරීම යනු සුදු ඝන බුදු රැස් උන්වහන්සේ ගේ දත් අතරින් නික්මී උන්වහන්සේගේ ශීර්‍ෂය වටා පැදකුණු කොට අතුරුදහන් වී යාමයි. ඉතින් මෙලෙස උන්වහන්සේ සිනහ පහළ කළ කල්හි, පසෙකින් වැඩහුන් ආනන්ද ස්වාමීන්වහන්සේ බුදු රජාණන්වහන්සේ සිනහ පහල කිරීමට හේතුව විමසා සිටි කල්හි, බුදුරජණන්වහන්සේ විසින් ඒ ඊරි පැටික්කියගේ අතීත ජීවිත කථා පුවත මෙසේ වදාළා. මේ කල්පයේම සම්මා සම්බුද්ධත්වයට පත් කකුසඳ බුදුරජාණන්වහන්සේ ගේ කාලයේදී මෙම ඊරි පැටික්කිය කිකිළියක වී උපත ලබා භික්‍ෂු සංඝයා වැඩ වාසය කරන විහාරස්ථානයක නිතර දෙවේලේ සංඝයා වහන්සේළා විසින් සජ්ජායනා කරනු ලබන දහම් පද අසා සිත පහදවා ගෙන මරණින් මතු ඒ පිනෙන් උබ්බරී කියන නම ඇතිව ඒ ගමේම රාජ කුමාරිකාවක් වී උපත ලබා බොහෝ පින් රැස් කර ගත්තාය. ඇය දිනක් වැසිකිළි වළක සිටි පණුවන් සමූහයක් දැක පිළිකුල් භාවනාව වඩා ඒ කුසලය හේතු කොට ගෙන මරණින් මතු බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්මයෙකු ලෙස උපත ලැබුවේ ය. බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ගෙවා අවසන් කල උපත සැකසී තිබුනේ ඌරු යෝනියක ය. බලන්න මේ අනියත, දුක්ඛිත සසර ගමන දිහා මඳක් විමසිල්ලෙන්...... කුසල් සිත් පහළ කරගෙන බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීමට වාසනවන්ත වූ එම සත්වයා අප ගෞතම බුදුරජාණන්වහන්සෙගේ කාලයේ ඊරි පැටියකවී උපත ලද අයුරු.
තව දිනකදී භාග්‍යවතුන් වහන්සේ අග්‍ර උපස්ථායක තනතුර දැරූ ආනන්ද ස්වාමීන්වහන්සේ සමග මහමග වැඩම කොට වදාරන කල්හි මාර්ගය අසළ ඇති කඩි ගුලක සිටි කඩි රැලක් දැක ආනන්ද ස්වාමීන්වහන්සේට මෙසේ දේශනා කොට වදාළා. "ආනන්ද, මේ කඩි රැලේ කඩින් අතරින් අතීතයේදී සක්විති රජ බවට පත් නොවුනු එකම කඩියෙකුවත් නෑ " ඉතින් බලන්න අතීතයේදී සක්විති රජවරු වී ඉපද සිටි අයත් පසුව කඩින් වී උපත ලබා ඇති ආකාරය. ඉතිං ඔය ලෙසම අපිත් අපේ පින විපාක දෙන තුරාවට සුගතියේ උපත ලබාවි නමුත් සෝතාපන්න නොවී වත් මිය ගියහොත් නැවත කවදා හරි දුගතියේ උපත ලබාවි. මොකද මේ සංසාර ගමන ඒ වගේ එකක්.
මේ මිථ්‍යා දෘෂ්ඨික සමාජයේ මතයක් තියෙනවා අසරණ සතෙකුට කෑම ටිකක් දුන්නම අමනුෂ්‍ය කරදර ඇතිවෙනව කියල. අමුම අමු, හිරිකිත (කියන්න වචනත් නැති) මිථ්‍යා දෘෂ්ඨියක්. සතෙකුට ආහාරවේලක් දන් දුන්නොත් ඒ පින ඵල දෙන්නේ 500 ගුණයකින්. මේ මිථ්‍යා දෘෂ්ඨියෙන් වලක්වන්නේ ඒ පින රැස්කරගන්න තියෙන අවස්ථාව. ඉඳුල් භාජනයක් හෝදලා විසිකරන ඉඳුල් වතුර ටික වුනත් "සතකුට ආහාරයක් වේවා" කියල හිතාගෙන විසිකරන්න කියලා අපේ ශාස්තෘන් වහන්සේ අපට දේශනා කළේ. මේ විශ්වයේ 'පින' ට දිය හැකි උපරිම වටිනාකම කියා දුන්, ඒ පින් කුසල් රැස්කරන හැටි කියා දුන්, ඒවා ඵල දෙන ආකාරය පෙන්වා දුන් අද්විතීය, ආශ්චර්‍යමත් ශාස්තෘන් වහන්සේ නමකුයි අප සරණ ගියේ.
ඒ භාග්‍යවතුන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ සියළුම සත්වයන් හට අප්‍රමාණ දයාව , අනුකම්පාව, මෛත්‍රිය දැක්විය යුතු බව නෙවේ ද? එකම දරුවෙකු ඇති මවක් තම දරුවාට දක්වන සෙනෙහස යම් සේ ද, ඒ හා සමාන ලෙස මේ මුළු මහත් සත්වයන් හට සෙනෙහස දැක්විය යුතු බවයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව වුනේ. උන්වහන්සේ දේශනා කළේ 'වැදි බණ' නෙවෙයි. උන්වහන්සේ එය ක්‍රියාවෙනුත් ඔප්පු කරල පෙන්නුවා. ශ්‍රාවකයන් ඒ ධර්මයේ සමාදන් කෙරෙව්වා. ඒ ධර්මය ස්වාක්ඛාතයි; සන්දිඨිකයි; අකාලිකයි; ඒහි පස්සිකයි; ඕපනයිකයි; බුද්ධිමත් අය තම නැණ පමණින් අවබෝධ කරනවා.
ඉතින් ඒ අසරණ වූ සතුන් අපගේ දයාව, කරුණාව, අනුකම්පාව ලැබීමට සුදුසුයි නේද? උතුම් වූ මනුෂ්‍ය ගුණ ධර්මයන් දියුණු කර ගන්නට අපට හැකි වුනොත් ඒක මේ අනවරාඝත සසර ගමන කෙටි කර ගැනීමට නිතැතින්ම රුකුලක්, මහා පිහිටක් වේවි.
මෙවැනි අනන්ත දුක් විඳින සතුන් ගැන මොහොතක් හිතන්න. ඔබට දැන් පෙනෙන්නේ මේ පින්තූර 4 විතරයි. නමුත් මෙවන් දුක්ඛිත ජීවිත ගතකරන සතුන් ඉන්න ලෝකම 4 ක් තියෙනවා. ඒවායේ දුක් විඳින සත්වයින් ගණනින් කියන්න තරම් මේ ලෝකෙ අංක විද්‍යාව දියුණු නෑ. ගණනින් කියන්න බෑ. ඒ වගේම මේ ධර්මය අවබෝධ නොකර, අවබෝධ කරන මාර්ගයටවත් එන්නේ නැතුව අපි හෙට මළොත්...... ඒ ගණින්න බැරි සංඛ්‍යාවට තවත් එක අංකයක් එකතු වෙන එක වළක්වන්නත් බෑ. එහෙම වුනොත් විඳින්න වෙන දුක් කන්දරාව ඔබට හිතල, අපට ලියල ඉවරකරන්නත් බෑ.
-අප්පමාදේන සම්පාදේථ-
ඔබ සැමට තෙරුවන් සරණ වේවා…. උතුම් වූ ඒ අමා නිවන් සුවම ලබත්වා!!!
-සැදැහැතියකුගේ සිතිවිල්ලක්෴
සිත් පහදවන මෙව්න් සටහනක් ලියා තැබූ ඔබට ගෞතම බුදු සසුන තුලදීම දහම් ඇස පහල වී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
aththatama meka nam dayadayak mai kalana mithurakugen labuna sadu sadu sadu!!!
uthum dharmaya apa samata sameeepa karawana samata waha wahaa uthum chathrarya sathya avaboda wewa!
Dhamma is the panacea for all mental sufferings.