Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Let's Meditate ( part -12)

Tuesday, February 23, 2010 , at 2:57 PM

‘පූර්ව කුසලයට රුකුල් දෙන උත්සාහයක් කරමු’
නාවලපිටියේ අරියවංශ හිමි

අපි කථා කරමින් සිටියේ කිලෙස පරිනිබ්බාන සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් පුද්ගලයන් පිළිබඳ යි. අපි පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳ විස්තර වශයෙන් සාකච්ඡා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, මේ ජීවිතයේ දී සුව පහසුවෙන් බණ භාවනා කරලා පිරිනිවන් පාන කෙනකු අර මුල් පුද්ගලයන් දෙදෙනා තරම් ගොඩාක් මහන්සි වන අය නෙමේ. ඒ කියන්නේ මුල් දෙදෙනා ගැන . කලින් අයට වඩා සුව පහසුව අඩු යි කියන එකයි. ලොකු වීරියක්, මහන්සියක්, කැප කිරීමක් කරන්න වෙනවා.

නමුත් ඒ අයට මේ තුන් වෙනියට කියන කෙනාට සුව පහසුවක් තියෙනවා. ඉතා පහසුවෙන් එයා බණ භාවනා කරනවා. එයා කොයි වගේ ද කියලා භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. එයා පළමුවන දෙවන තුන් වන , හතරවන ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. එක්කෝ පළමුවන ධ්‍යානය හෝ දෙවන ධ්‍යානය, එහෙම නැත්නම් තුන් වන ධ්‍යානය, නැත්නම හතරවන ධ්‍යානය, මේ ධ්‍යාන එකක් හෝ හතර ම හෝ උපදවාගෙන වාසය කරනවා.

එතකොට එයා ඒ ධ්‍යාන සමාධි උපදවාගෙන වාසය කරන්නේ කලින් අය වගේ ම පංච සේඛ බල අසුරු කර ගනිමින් ම යි. ඒ විදිහට පුරුදු වෙන කොට, එයාට පංච ඉන්ද්‍රිය ධර්ම අධිමාත්‍ර ව පහළ වෙනවා. අධිමාත්‍ර ව පහළ වෙනවා කියලා කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම බලවත් ව පහළ වනවා, උපදිනවා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, අන්න එයා සුව පහසුවෙන් බණ භාවනා කරමින් වාසය කරලා,මේ ජීවිතයේ දී ම පිරිනිවන් පානවා කියලා.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ඊළඟ කෙනත් ධ්‍යාන සමාධි උපදවාගෙන වාසය කරන බව . ධ්‍යාන සමාධි උපදවාගෙන ඒවා පුරුදු කරනවා. පංච සේඛ ධර්ම අසුරු කරමින් ම තමයි ඒ සමාධි උපදවාගෙන වාසය කරන්නේ. හැබැයි එයාට ඉන්ද්‍රිය ධර්ම පහළ වන්නේ, උපදින්නේ අර කලින් කෙනාට වගේ අධිමාත්‍ර ව නෙමේ. බලවත් ව නෙමේ. දුබල වයි, මෘදු ව යි. ඒ නිසා එයාට මේ ජීවිතයේ දී පිරිනිවන් පාන්න අවස්ථාව උදා වන්නේ නෑ. මිය පරලොව ගියාට පස්සේ ඊළඟ ජීවිතයක දී තමයි එයා පිරිනිවන් පාන්නේ.

අන්න ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, පිරිනිවන් පාන ස්වභාවයට අනුව පුද්ගලයෝ හතර කොට්ඨාශයක් ඉන්න බව. එතකොට අපිට තේරුම් ගන්ට පුළුවන් කාරණා කීපයක් තිබෙනවා. ඒ කරුණු අපි තේරුම් ගත යුතුයි. පළමුවැනි එක තමයි, බලන්න අපි කළින් කියා දුන්නා භාවනා පහක් ගැන. එතකොට ඒ භාවනා පහ පුරුදු කිරීමෙන් අපිට, නිවන් මඟ පිරිසුදු කරගන්න අවස්ථාව තියෙනවා කියන එක තවදුරටත් පැහැදිළි වෙනව නේ ද? පැහැදිලි ව ම නිවන් මඟ දියුණු කර ගන්නා අවස්ථාවක් තියෙනවා කියන එක පැහැදිලියි නේ ද? පැහැදිලියි. එතකොට ඒ නිවන් මඟ පිරිසුදු කර ගත්තත් හැමෝටම එක වගේ සසර ගමන් අවසන් කරන්න පුළුවන් ද බෑ.

සමහර කෙනෙක් මේ ජීවිතයේ දී සසර ගමන අවසන් කරනවා. සමහර කෙනෙක් ඊළඟ ජීවිතයේ දී. ඉතින් අපි මේක තේරුම් ගත යුතු යි. තේරුම් අරගෙන අප විසින් කළ යුතු මොකක්ද? ශ්‍රද්ධාවෙන් යුක්ත ව මේ භාවනා පුරුදු කරගෙන යෑමයි. එතකොට අපේ ස්වභාවයට අනුව, ඒ කියන්නේ අපිට ඉන්ද්‍රිය ධර්ම පහළ වන්නේ යම් විදියකින් ද, ඊට අනුව අපේ සසර ගමන් අවසන් වේවි.

ඉතින් අපිට බලවත් ව ඉන්ද්‍රිය ධර්ම පහළ වුණොත්, අපි මේ ජීවිතයේ දි පිරිනිවන් පායි. ඉන්ද්‍රිය ධර්ම බලවත් නැත්නම් අපි ඊළඟ ජීවිතයකදී පිරිනිවන් පායි. ඒ ගැන දැන් ඔබලාට විශ්වාසයක් තියෙනවා ද?. ඒක පිළිගන්න කැමැතිද? ඒක පිළිගන්න කැමැති වන්න. අකැමැති වෙලා කරන්න දෙයක් නෑ. ඒක පිළිගත් පමණින් ම ප්‍රමාණවත් වන්නේ නෑ. ඒක පිළිඅරගෙන ධර්මයේ තියෙන ආකාරයෙන් පුරුදු කරන්නටත් ඕන.

දැන් බලන්න අසුභ භාවනාව. ආහාරයේ පිළිකුල් සංඥාව, මරණ සතිය, මේ වගේ භාවනා සමහර අය සරල දේවල් විදියට නේ ද සලකන්නේ ? හරි සරල යි කියල නේ ද සලකන්නේ ? දැන් බලන්න ඒ භාවනා පිරිනිවන් පෑම දක්වා අපිට ජීවිතය දියුණු කර ගන්න උපකාර වනවා. ඒක යි අපි මේ පෙන්වා දෙන්නේ, බොහෝ දෙනෙක් මේක ලේසි යි, සරල යි, පුංචියි, කියල කල්පනා කරනවා. කල්පනා කරලා ඊට වඩා ලොකු ඒවා හොයනවා. දැන් බැලුවහම මේවා සරල දේවල් නෙමේ කියලා තෙරෙනව නේද? සරල දේවල් නෙමේ. මේක පිරිනිවන් පෑම පිණිස උපකාර වන ධර්මයක්.

ඉතින් අපිට තියෙන්නේ මේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගෙන, කලබල නොවී කරගෙන යන්න යි. ඊළඟ කාරණාව තමයි, අර පළමුවන පුද්ගලයෝ දෙන්නා, මහත් වෙහෙසක් අරගෙන අපහසුවෙන් ඉතාම දුෂ්කර ව මේ ධර්මය පුරුදු කර ගෙන යන බව සැප පහසුව අඩුයි එයාලට. නමුත් ඊළඟ පුද්ගලයන්ට සැප පහසුව තියෙනවා. ඇයි ඒ ? එයාල ධ්‍යාන සමාධිය උපදවගෙන, ඒවා පුරුදු කරමින්, ඒ සැප පහසුව විඳිමින් තමා ධර්මය පුරුදු කරන්නේ.

එතකොට බලන්න මේ ගොඩක් දෙනෙකුගේ අදහසක් තියෙනවා, ‘මට බලවත් සමාධි නෑ’ කියලා. බොහෝ පිරිසක් භාවනාවට ඉඳගන්නෙ, ‘මම දැන් ධ්‍යානයක් උපදවා ගන්න ඕනෑ’, මෙහෙම හිතාගෙන නේ ද?. ඉතින් ඒ වගේ බලාපොරොත්තු සහිත ව තමා ඉන්නේ . දැන් මේ දේශනා තුළ එහෙම අනවශ්‍ය බලාපොරොත්තු තියාගෙන ඉඳීමක් ගැන කියල තියෙනව ද? නෑ නේ ද? අපිට තියෙන්නේ මේ භාවනා කරගෙන යැම යි. එතකොට භාග්‍යය තියෙනවා නම්, එයාට ධ්‍යාන සමාධියක් උපදවා ගන්න පුළුවන් වෙයි. එයාට සැප පහසුවෙන් ඒ සමාධි වඩමින් ඉන්න අවස්ථාවක් තියෙයි.

නමුත් අපිට භාග්‍යය නැත්නම්, අපිට භාවනාව කරන්න බැරි ද? නෑ. ඒත් පුළුවන්. ඒකෙන් අදහස් වෙනවද, මේ සමාධිය නැතිව පිරිනිවන් පානවා කියල නෑ. එහෙම භාවනා කරන අයට යම් මට්ටමකින් සමාධිය වැඩෙනවා. ඒ අයට අන්තිම මොහොතේ සුදුසු විදියට ඒ තිබෙන සමාධිය දියුණු වෙලා යනවා. ඊට පෙර සාමාන්‍ය සමාධි මට්ටමක් තියෙනවා. නමුත් ඒ සමාධි මට්ටම බලවත් කර ගන්න එයාලට භාග්‍යය අඩුයි. ඒ නිසා සැප පහසුව අඩුයි. ඒ අය ධර්ම මාර්ගය පුරුදු වීමේ දි සැප පහසුව නෑ. නමුත් පිරිනිවන් පාන්නට පෙර ඒ අයට බලවත් සමාධි උපදිනවා. මහන්සි වෙලා වෙලා අන්තිම මොහොතේ ඒවා උපදිනවා.

ඒ නිසා අපි සමාධිය පුංචි වුණත්, පොඩි සමාධියත් තිබ්බත්, ගෞරවයෙන් ඒ සමාධිය අසුරු කර ගෙන, ඒ භාවනාව කරගෙන යන්න කල්පනා කළ යුතුයි. ‘අනේ මට ලොකු සමාධියක් නෑ.’මට සමාධි නෑ කියල කලබල වන්න, කම්පා වන්න එපා! කෙනෙකුට යම් සමාධි මට්ටමක් තියෙන්න පුළුවන්. අපට තියෙන්නේ ඒ සමාධි මට්ටම අතිශය ගෞරවයෙන් යුක්ත ව ඉතාම පැහැදීමෙන්, ගෞරවයෙන් පුරුදු කරගෙන යෑමයි.

එතකොට අදාල භාවනා අඛණ්ඩව කරගෙන යන්න ඕන. එහෙම නැත්නම් ගොඩක් අය, ‘ මට මේ භාවනා වැඩෙන්නේ නෑ’ කියලා අතහැරලා දානවා. ඒ අතහැරලා දාන්නෙ ඇයි? එයා හොයන්නේ බලවත් සමාධි. භාවනාව මගින් සිදුවන ප්‍රතිඵලය නෙමෙයි කල්පනා කරන්නේ.
දැන් සමහර අය කියනවා. “ මම අසුභය වඩනවා, මට වැඩෙන්නේ නෑ ඒ නිසා මම අතහරිනවා “ කියල. ඒ මොකද ඒ ? අසුභය වැඩෙන්නේ නැති එක නෙමේ ගැටලුව. එයාට ලොකු සමාධියක් නෑ. ඒක යි එයා අසුභය අතහරින්නේ. හොඳට බලන්න කල්පනා කරලා, ඇයි අපි අසුභය වඩලා ටික කලක් ගිහිල්ලා අතහරින්නෙ කියලා. එයා හිතන විදියෙ සමාධියක් එයාට ලැබෙන්නෙ නෑ. එහෙනම් එයා අසුභය වඩන්නේ ඒ අසුභය වැඩීමෙන් ඇති වන ප්‍රතිඵලය ලබා ගන්න නෙමේ. ලොකු සමාධියක් හොයන්න යි. ඉතින් සමාධිය ලැබෙන්නෙ නැති වෙන කොට අතහරිනවා. අතහැරල වෙන එකක් කරනවා.

ඒ නිසා අපි සමාධිය හොයාගෙන, සමාධිය මුල් කරගෙන, නෙමෙයි භාවනා කළ යුත්තේ, ඒ භාවනාවෙන් යම් ප්‍රතිඵලයක් ද ලැබෙන්නේ, අන්න ඒ ප්‍රතිඵලය උදෙසා භාවනාව කරගෙන යා යුතුයි. එතකොට ඒ භාවනා කිරීමෙන් අපිට යම් කලක සමාධියක් ඇති වෙයි. නමුත් සමාධිය හොය හොයා නෙමෙයි භාවනා කරන්නේ. සමාධිය හොය හොයා භාවනා කරන කෙනා ටික කලකින් ඒ භාවනාව අතහරිනවා. ඇයි, එයා ගේ ඉලක්කය වෙන කොහෙවත් තියෙන්නේ. භාවනාව පුරුදු කිරීම නෙමෙයි, එයා කරන්නේ. එයා සමාධිය හොයනවා.

ඒ නිසා සමාධිය බලවත් ද දුබල ද කියන එක නෙමෙයි අපට වැදගත් වන්නේ . පුංචි සමාධියක් ඇති වුණත් කමක් නෑ. ඒ සමාධිය ට ගෞරවයෙන් සලකමින් ඒ අදාළ භාවනාව පුරුදු කරගෙන යන්න ඕන. එතකොට අපිට ඒ භාවනාව මගින් අපේ ජීවිතේට යම් ප්‍රතිලාභයක් අත්වෙනවා නම්, ඒක අත්වෙයි.

දැන් ඔබට තේරෙන්න ඇති බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න කාරණය මුල් කරගෙන, ඒ භාවනා පහ පුරුදු කරන කෙනාට ඉන්ද්‍රිය ධර්ම බලවත් ව පහළ වුණොත් මේ ජීවිතයේ දී පිරිනිවන් පාන්න පුළුවන් බව. හැබැයි එයා ඉතා ම දුක් සේ තමා ඒක කරන්නේ. ඇයි බලවත් සමාධි නෑ. එයාට සුව පහසුව නෑ. ඉතින් අපි මොකද කරන්නේ, ඒක එයාගේ සිතේ ස්වභාවය නෙ නේ ද?

පට කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහුණා. ධර්මය මුණ ගැහුණා. අපිට මේ බඹසර ජීවිතයට එන්න පුළුවන් වුණා. මෙන්න මේ සාධක මුල්කරගෙන අපට පිනක් තියෙනවා කියන නිගමනයට එන්න, ඕන. එහෙම නිගමනය කරලා, තමන්ගෙ පූර්ව කුසල් මට්ටම ගැන දැඩිව නොසිතා , භාවනාව කරගෙන යන්න ඕන.

ඒ නිගමනය මත පිහිටලා මේ ධර්ම පුරුදු කරගෙන යන්න. ඒ විදියට පුරුදු කරන කොට විශ්වාසය ඇති කර ගන්න. භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ ද භාග්‍යවතුන් වහන්සේ යමක් ද දේශනා කළේ ද දැන් අපට ඒ දේ මුණ ගැහුණා.

එහෙනම් එතන පිනක් තියෙනබවටද. කල්‍යාණ මිත්‍රයන් අපට මුණ ගැහුණා. එහෙනම් අපට පිනක් තියෙනවා යැයි කියාද. බඹසර ජීවිතයට එන්න පුළුවන් වුණා. එහෙනම් පිනක් තියෙනවා කියාද. විශ්වාසය ඇති කර ගන්න.

එහෙනම් ‘ඒ තියෙන පින මම වහගන්න හොඳ නෑ. මම කැප කිරීමෙන් මේක පුරුදු කරගෙන යන්න ඕන’ කියලා පුරුදු කරගෙන යන්න. එතකොට අපිට ඒකෙන් අදාළ ප්‍රතිඵල, ප්‍රතිලාභ ලැබෙයි. ඒක ඉතින් දවසකින් දෙකකින් මාසෙන් හමාරෙන් නෙමෙයි. මුළු ජීවිතය ම කැප කරල මේ දේ පුරුදු කරන්න.

එතකොට එයාට ඒ ප්‍රතිලාභ අත්වෙයි. ඉතින් භාවනාවකින් සාර්ථක ප්‍රතිඵල අපේක්‍ෂා කරන අය විසින් මේ කරුණු දැන ගත යුතු යි. දන්නේ නැත්නම් එහෙම ම අය භාවනාව අතහරිනවා. ඇයි ප්‍රතිඵල ගැන එයාට තේරුමක් නෑ. මොකක්ද වන්නේ කියලා තේරුමක් නෑ. එහෙම කෙනා ටිකක් කරලා අතහරිනවා.

දැන් ඔබ අසුභ භාවනාව කී සැරයක් අත හරින්න ඇත් ද? ‘මේක මට හරියන්නෙ නෑ ‘ කියලා. භාවනා එකින් එකට කී සැරයක් මාරු කරන්න ඇති ද? ‘ මේක අඛණ්ඩව කරගෙන යන්න ඕන ‘ කියලා කරනවා අඩුයි නේ ද? මේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගත්තොත්, අපි මේක කරගෙන යනවා, අතහරින්නේ නෑ. ටික ටික පුරුදු කරනවා.

ඒ නිසා මේ ධර්මය කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන, අඩුම ගණනේ මේ භාවනා පහවත් පුරුදු කරන්න පටන් ගන්න. ඒ සඳහා වු අතිශයින්ම දුර්ලභ වූ භාග්‍යය ඔබට උදාවේවා!

(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම්දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)
http://www.lakehouse.lk/budusarana/2010/02/22/tmp.asp?ID=vision04

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails