Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Let's Meditate ( part -09)

Thursday, December 17, 2009 , at 10:00 AM

‘බුදු වදන පිළිගත් අය තුළ දුබල සිතුම් - පැතුම් නෑ’

ධර්මය කෙරෙහි විශ්වාසයට එන්න බැරි ඇතැම් අය දේශනා කියවනවා. අන් අයට කියලත් දෙනවා. නමුත් ඒ අය කල්පනා කරනවා ‘ කොහොම ද සමාධිය ඇති කර ගන්නේ ‘කියලා . එයා කල්පනා කරනවා ‘කොහොම ද සම්මා දිට්ඨිය ඇති කර ගන්නේ ‘ කියලා. ඊළඟට යථාභූත ඤාණය ඇති කරගන්නෙ කොහොමද කියලා. මේ පංචඋපාදානස්කන්ධය අවබෝධ කරන්නේ කොහොම ද කියලා මොකක් ද මේ පංච උපාදානස්කන්ධය ? මේ රූපය මොකක් ද? කිය කියා ඉතින් හොයනවා. “ මොකක් ද කළ යුත්තේ “ කියන කරුණාව ගැන බොහෝ දෙනකුට තේරුමක් නැහැ. අඳුරේ අත පත ගානවා.


දැන් බලන්න අපට අවබෝධය ඇති වන්නේ කොහොම ද කියලා? ඒකයි මම නිතර කියන්නේ මේ ධර්මය කියන්නේ ප්‍රායෝගික දෙයක්. ගුප්ත දෙයක් නොවෙයි කියලා. ප්‍රායෝගිකයි කියලා කියන්නේ ඒක අපි කරන දෙයක්. යමක් කරන්න නම් ඒ කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන නේ ද? දැන් සිරිපාදෙට මිනිස්සු නගින්නේ ඇයි? දුර ඉඳන් බලනකොට සිරිපාදෙ පද්මෙ පේනව ද කොහෙවත් ? නෑ. අහවල් තැන තියනවා කියලා දන්නවා. මේක මඟ කියලා දන්නවා. ඒ නිසා වෙහෙස මහන්සි වෙලා පාරේ නැගගෙන යනවා. බොහෝ දුර ගියා ම යි පෙන්නේ සිරිපාදෙ පද්මේ.ටිකක් දුරට යන කොට පේනවා , අන්න මලුව කියලා.


වගේ එහෙනම් අපි මුලින් ම කළ යුත්තේ මොකක්ද? මේ ධර්මය අදහා ගැනීම. මේ ධර්මය අදහා ගත්ත කෙනා ගේ ස්වභාවය තමයි ධර්මය පුරුදු කිරීම .පුරුදු කරන කෙනාට ටික කලක් පුරුදු කරනකොට තේරෙනවා. මේ අදහා ගත්ත දේ සැබෑ බව එතකොට එයා තුළ ආයේ කාටවත් වෙනස් කරන්න බැරි නිසැක බවක් ඇති වනවා. ඊට පස්සේ එයා ඒ ධර්මය අතහරිනවාද?.ඊට පස්සේ කොහොමත් අතහරින්නෙ නෑ. ඊට පස්සේ තව දුරටත් මොකක්ද කරන්නේ?.ඒ ධර්මය ම යි පුරුදු කරන්නේ.


ඒ ධර්ම පුරුදු කරගෙන යනකොට එයාට සමාධිය ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. පංච උපාදානස්කන්ධ කෙරෙහි අවබෝධය ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ එයාට අවබෝධයෙන් කළකිරීම කියන කාරණාව සිද්ධ වනවා. අන්න එයා තුළ ඇල්ම දුරු වනවා. ඇල්ම නිරුද්ධ වෙලා යනවා. සිතේ පරිපූර්ණ සංසිඳීම ඇති වනවා. අන්න එයාට විශේෂ ඤාණය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එයා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පරිපූර්ණ වශයෙන් ඇති කර ගන්නවා. අන්න එයා නිවන අවබෝධ කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් එක එල්ලේ ම අපට කියා දෙන මෙබඳු ධර්ම කෙරෙහි විශ්වාසය ඇති කර ගත්තොත්, අපට ඒක සුළුපටු ලාභයක් නොවෙයි.

දැන් මේ දේශනාවේ දී අපට භාවනා පහක් කියලා දෙනවා. මොනවද ඒ භාවනා පහ? අසුභ සඤ්ඤාව , ආහාරයේ පිළිකුල් සඤ්ඤාව, සියලු ලෝකය කෙරෙහි නො ඇල්ම පිළිබඳ සංඥාව ඊළඟට සියලු සංස්කාර කෙරෙහි අනිත්‍ය වශයෙන් බලන ආකාරය සහ මරණ සතිය. යම් කෙනෙක් මෙන්න මේ ධර්ම පහ පුරුදු කළොත්, එයාට නිවන් අවබෝධ කරගැනීමට අවස්ථාවක් තියෙනවා.


ඉතින් මේ ධර්ම පුරුදු කළොත් පුරුදු කරන්නේ කොහොම කෙනෙක්ද?....මේ දේශනාව පිළිගන්න කෙනා තමයි පුරුදු කරන්නේ. පිළිගන්නේ නැති කෙනා පොඩ්ඩක් කරලා, ‘මොකුත් නෑනේ ..’කියයි. එහෙම නැත්නම් ‘මේක ඇද්ද ‘ කියලත් ඇතැම් අය අහනවා. ඒ පිළිගන්න අමාරු කෙනා ගේ ලක්ෂණය. ඒ නිසා අපි මුළින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන කාරණාව අදහා ගන්න දක්‍ෂ වන්න ඕන. ඒකාන්ත වශයෙන් ම මේ ධර්මය පුරුදු කළොත් නිවන අවබෝධ කරගන්න පුළුවන් කියන විශ්වාසය අප තුළ ඇති වන්න ඕන. එයා කලබල වන්නේ නෑ. දිගට ම කරගෙන යනවා,සකසලා කරනවා, පිළිවෙලකට කරනවා.


ඉතින් එහි ප්‍රතිඵල ලබා ගන්න දවසින් දෙකෙන් බෑ. අපි දන්නෙ නෑ ඒ සඳහා කොච්චර කාලයක් අපට ගත කරන්න වෙයි ද කියලා. මාසයක් ද දෙකක් ද අවුරුද්දක් ද අවුරුදු පහක් ද , එහෙම නැත්නම් අවුරුදු දහයක් ද ,මුළු ජීවිත කාලය ම ද දන්නෙත් නෑ. ඉතින් අපිට කාලය නො වෙයි වැදගත් වන්නේ, නිවන් මඟට පැමිණීම තමයි වැදගත් වන්නේ, නිවන් මඟට පැමිණෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන්.


එසේ අදහාගන්න කෙනා මේ ජීවිතයේ දී බැරි වුණොත් ඊළඟ ජීවිතයේ දී හරි පිරිනිවන් පාන ඒක සිද්ධ වනවා. ඒක වළකින්නෙ නෑ. ඒ නිසා අපි ආරම්භයේ දී කළ යුතු මොකක්ද? භාවනාව ආරම්භ කරන්න කැමැති කෙනා මොකක්ද කළ යුතු ? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම යි. ඇයි ඒ.....අපි භාවනා කරන්නේ කුමක් සඳහා ද?.භාවනා කරන්නේ සංසාරෙන් නිදහස් වීම පිණිස යි.වෙන මොකට ද?..අහසින් යන්න ද? නෑ. පොළොව කිමිදෙන්න ද? නෑ. සංසාරෙන් නිදහස් වීම පිණිස තමයි භාවනා කළ යුතු.


එම නිසා භාවනා කරන්න කැමැති කෙනා භාවනාව කැමැත්තෙන් කරන්න නම්, එයා තුළ තිබිය යුතු මොකක්ද?..භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය. භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය තියෙන කෙනා භාවනා නො කර ඉඳියි ද?.එයා භාවනා කරනවා. කලබලයටද කරන්නේ? නෑ.එයා සකසලා කරනවා.පිළිවෙළකට කරනවා. ඒ නිසා අපි මුළින් ම කර ගත යුතු මොකක්ද?...ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම යි.


ඒ අදහා ගැනීම පිණිස අපට කරන්න තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය කියවලා. ඒ ධර්මය පිළිගැනීම යි. අන්න එසේ අදහා ගත්ත කෙනා ඒ ධර්මයේ කියා දී තිබෙන ඒ භාවනා , ක්‍රම ක්‍රමයෙන් ටික ටික පුරුදු කරනවා. එයා පිළිවෙළකට කරන්න පටන් ගන්නවා. ඒ අය කලබල නෑ, සන්සුන්. ඒ අය තුළ ටික ටික ශාන්ත ඉඳුරන් ඇති වනවා. ඇයි ඒ...? එයා තුළ පිහිටි සන්සුන් බවක් තියෙනවා. ඒක බලහත්කාරයෙන් ඇති කර ගත්ත සන්සුන් කමක් නොවෙයි.


ගොඩක් අයට තිබෙන්නේ බලහත්කාරයෙන් ඇති කර ගත්ත සන්සුන් කමක් නේ. ඒ බලහත්කාරයෙන් උපදවා ගත්ත එක වැඩක් නැති එකක්. ඒක වදයක්. හිර ගෙයක් අස්සේ ඉන්නවා වගේ. ඒ බලහත්කාරයෙන් ඇති කරගත්තා වූ සන්සුන්කම උපදින්නේ මේ ධර්මය කෙරෙහි විශ්වාසයක් නැති තැන යි. ධර්මය කෙරෙහි විශ්වාසය තිබෙන කෙනාට සන්සුන්කම උපදිනවා. ඇයි? එයා සංසිඳෙන්න පටන් ගන්න නිසා. එයා තුළින් කළබලය අයින් වෙලා යනවා.


එයාට කරන්න නිශ්චිත දෙයක් තියෙනවා. කරන්න නිශ්චිත දෙයක් තියෙන කෙනා කලබල නොවී තමයි ඒක කරන්නේ. ඒ නිසා එයා සංසිඳෙන්න පටන් ගන්නවා. කරන්න නිශ්චිත දෙයක් නැති කෙනා, ‘එකක් කරනවා. ඒක අතහරිනවා, තව එකක් කරනවා, ඒක ත් අතහරිනවා. ‘මේක හරි යන්නේ නෑනේ මට .’ කියලා හිතනවා. එක භාවනාවක් ටික කලක් කරගෙන යනවා. ‘මේක මට පිහිටන්නෙ නෑ’.කියලා අතහරිනවා. ඊට පස්සේ තව එකක් කරනවා. ඒකත් අතහරිනවා. ඉතින් කියනවා,’අනේ ස්වාමින් වහන්ස, මට අසුභය නම් අල්ලන්නේ නෑ...මෛත්‍රිය නම් පිහිටනවා වගේ ‘ කියලා. මේ විදියට, විවිධ දේ කියනවා. එහෙම වනවා නේ ද? එයා හිතන්නේ, ‘මට අසුභය හරියන්නේ නෑ, මෛත්‍රිය හරියනවා .’ කියලා. අපි තමන් ගැන විශ්වාසය නොවෙයි ඇති කර ගත යුතු භාග්‍යවතුන් වහන්සේ ගැන විශ්වාසය යි ඇති කරගත යුතු. අපට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා නම්, ‘ මෙන්න මේ කාරණා පහ පුරුදු කළොත්, මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනවා’ කියලා,අන්න ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගත්තොත් අපි දුර්වල විදියට කල්පනා කරන්නෙ නෑ.

(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම් දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)

http://www.lakehouse.lk/budusarana/2009/12/15/

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails