Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'කැඩපත' - (ගෞතම සංදේශය 06)

Wednesday, December 16, 2009 , at 4:48 PM

'කැඩපත'.... එහෙම නැත්තං 'කණ්නාඩිය' අපි හැමෝටම බොහොම සමීප දෙයක්නෙ. හැබැයි මේ කතා කරන්නේ අර කාච හයිකරපු කණ්නාඩි එහෙමත් නැත්තං තේරෙන බාසාවෙන් කිව්වොත් spectacles ගැන නම් නෙවේ. අර හැඩ​-වැඩ බලන කණ්නාඩිය​, දර්පනය එහෙම නැත්තං mirror කියල කියන්නේ….. ආං ඒක ගැන​. දැන් කෙනෙක් හිතනවා ඇති අද මොකද මේ ගෞතම සංදේශයෙන් හැඩ බලන කණ්නාඩියක් ගැන කතාකරන්නෙ කියලා......


පිය උරුමයෙන් සදහම් පහස ලබන සුපින්වත් මිතුරනේ,


අපි හැමෝම බුදුබණ අහපු අයනෙ​. බුදුබණ අහන අයනෙ​. අහම්බෙන් හෝ එක බණ පදයක් හෝ. අපි අහල තියෙනවා ඉපදීම දුකයි, ලෙඩ වීම දුකයි, ජරාවට පත්වීම දුකයි, මරණය දුකයි ආදී වශයෙන්. බණ අහවර වෙලා සාදුකාර දීලා ගෙදර යද්දි බස් හෝල්ට් එකේ ඉන්නවා කුෂ්ඨ හැදිලා වන වෙලා ගඳ ගහන හිඟන මනුස්සයෙක්. "ඕං බලන්න ඕක තමයි ජීවිතේ හැටි..." කියලා ඟ ඉන්න කෙනාට බණ කියලා අපි බස් එකේ නැගලා යාවි. ගෙදර ගියාම ආරංචි වෙනවා අල්ලපු ගෙදර අවුරුදු විසිපහේ කෙල්ලට පිළිකාවක් කියලා. ඒ වතාවෙත් අපි ළඟ ඉන්න කෙනාට කියයි "ඕං බලන්න ඕක තමයි ජීවිතේ හැටි..." කියලා. හවස් වෙලා කඩේට ගියාම කඩේ වහල​. විපරම් කරල බැලුවම දැනගන්න ලැබෙනවා කඩේ මුදලාලි ඇක්සිඩන්ට් එකකින් මැරිලා. "ඕං බලන්න ඕක තමයි ජීවිතේ හැටි..." කියලා එතනිනුත් අපි යන්න යාවි. ධර්මය අහල තියෙන නිසා, ඒ දේවල් දුකට අයිති බව දන්න නිසා අපි ඒ හැම අවස්ථාවකම "ඕක තමයි ජීවිතේ..." කියලා හිතුවා මිසක අපි නිකමටවත් හිතුවද "මේ දේවල් හෙට මට සිද්ධ වුනොත්...." කියලා? අපිට මොකක්ද තියෙන සහතිකය අපිට එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි කවුරුවත් ගිවිසුම් ගහල නැහැනෙ කවුරු එක්කවත්.


ඉතින් අපට මොකක්ද මෙතන ගිලිහුනේ..... මොකක්ද අමතක වුනේ.....? අපට අමතක වුනේ ධර්මයේ පදනම​. ධර්මයේ මූලික ගුණ​. අපි පුරුදු වෙලා හිටියේ 'ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ....' කියලා ගිරව් වගේ කියන්න විතරනේ. බහුතරයකට තමුන් මේ කියන්නෙ මොකක්ද කියලවත් වැටහීමක් තිබුනේ නැහැනෙ. ඉතින් ගුණ වශයෙන් තියෙන අවබෝධයක් ගැන කවර කතාද​? ඔය ගාථාවෙ එක තැනක තියෙනවා 'ඕපනයිකෝ' කියල වචනයක්. ඒක ධර්මයේ උතුම් ගුණයක්. ඒ කියන්නේ මේ ධර්මය තමා තුළින් දැකිය හැකි, තමා තුළින් දැකිය යුතු ධර්මයක්. ඉතින් අපි කොයි තරම් බණ ඇහුවත්, පොත් පත් කියෙව්වත් වැඩක් තියේවිද මේ මූලික දේ අමතක කරල. අවබෝධයක් කවදා කෙසේනම් ලබන්නද​? ඒ නිසයි ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මය තමාව දකින කැඩපතක් කරගන්න කියලා.


ඔන්න කෙනෙකුගේ අතට ලැබෙනවා කණ්නාඩියක්. එයා මොකද කරන්නේ වටේම ඉන්න අයට ඒක අල්ල අල්ල යනවා... "මේ බලන්න ඔයාගෙ හැටි"... "මේ බලන්න ඔයාගෙ හැටි".... කිය කියා. එයා කවදාවත් ඒ විදියට එයාව දකීවිද​? එයාගෙ සැබෑ ස්වරූපය දකින්න එයාට හැකි වේවිද​? ධර්මයත් ඒ ආකාරමයි. අහන ධර්මය අපි දැකිය යුත්තේ අපි තුලින්මයි. අන් අය තුලින් නෙවේ. එහෙම උනොත් විතරයි අපි ඒ උතුම් ධර්මයෙන් නියම ප්‍රයෝජන ගන්න අය වෙන්නේ. අපි බොහොම ශාන්තව බණ අහයි. ගාථා, සූත්‍ර එහෙමත් හොඳට පාඩම් කරයි. ලස්සනට සඩ්ජායනාත් කරයි. අනිත් අයට කියලත් දේවි. මේ විදියෙ අය අපට ගිහි-පැවිදි දෙපක්‍ෂය තුළම හමුවෙනවනෙ. නමුත් ඒ මොන දේ කළත් ඒ ධර්මය තමා තුලින් දකින්න අපි දක්‍ෂ වුනේ නැතිනං ඉතින් අර මොනවා කලත් වැඩක් තියෙද? හරියට රත්තරං හම්බවුන කෙනෙක් අනිත් අයට නොමිලේ ආභරණ හදලා දෙනවා වගේ වැඩක් තමුන් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නොගෙන​. නූල්බෝලෙ කොන හොයාගෙන ගියාම පේනවා නැවතත් අපිට ගිලිහිලා තියෙන්නෙ මූලිකම දේ. මොකක්ද​...... 'ශ්‍රද්ධාව​'. සර්වඥයන් වහන්සේ කියපු දේ ඒ විදියට කරන්න තරම් අපේ හිත් නිහතමානී වෙලා නෑ. නම්‍යශීලී වෙලා නැහැ. ඒ උතුම් ධර්මය ගැන අවෙච්ඡප්‍රසාදයට එන්න අපට බැරි වෙලා තියෙනවා. පිළිගන්න අකමැති වුනත් සිද්ධ වෙලා තියෙන්නෙ ඕක තමයි.


දැන් බලන්න අපි අර ආරම්භයේදිම ගත්ත උදාහරණය. ධර්මයත් දන්නවා. සසර දුකක් බවත් දන්නවා. නමුත් නිවැරදි වැටහීමට​, අවබෝධයට එන්න විදියක් නෑ. ඇයි ඒ....? ඇසූ ධර්මය දකින්න උත්සහ කරන්නේ බාහිර ලෝකෙන්. තමා තුළට පමුණුවාගෙන​, ඒ යතාර්ථය තමා තුළින් දකින්න උත්සාහයක් නෑ. කණ්නාඩිය අනුන්ට අල්ල අල්ල ඉන්නවා. බලන්න අපි අපටම කරගන්නා පාඩුව කොයිතරම්ද කියලා. ඔය අතරෙ අපි ගෙනාපු ආයුෂ ඉවරවෙලා මැරිලා ගියොත් අපිට ගිලිහෙන ලාභය සුළුපටු එකක්ද​​....? ආයේ කවදානම් සංසාරේ ක්‍ෂණ සම්පත්තියක් ලබාවිද අපි....? ඒ නිසා පින්වත් මිතුරනේ ගිලිහෙන්න ඉඩදෙන්න එපා මේ ලැබුනු වාසනාව හතුරෙකුටවත්...... අද අදම වීරිය කරන්න​...... දකින්න ඒ උතුම් දහම තමා තුළින්ම. සංසාරේ බිය​, අනියත බව දැකලා අප්‍රමාදී වෙලා ධර්මයේ නොහැසිරුනොත් හැමදාමත් මේ පොළොවට පස් දෙන කොන්තරාත්තුවෙන් නම් ගැලවීමක් ලැබෙන එකක් නැහැ. අමතක කරන්න එපා පස් දෙන්නේ මිනිස්සු වෙලා විතරක් නොවන බවත්.


'ගෞතම සංදේශය​'
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​....



Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails