Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Let's Meditate ( part -08)

Wednesday, December 9, 2009 , at 12:27 AM

මඟ ගැන අවබෝධය විශ්වාසයට හේතුවයි








නාවලපිටියේ අරියවංශ හිමි

මේ ධර්මතා පහ පුරුදු කරන කෙනාට සම්මා දිට්ඨිය ඇතිවෙනවා ද නැද්ද? ඇතිවෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක් ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණය , මේ කාරණා පහ පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳ අවබෝධයක් ඇතිවනවා. සම්මා දිට්ඨිය ඇතිවනවා. ඊළඟට සම්මා සමාධිය ඇතිකර ගන්න පුළුවන්කම තියෙනවා. සම්මා සමාධියෙන් යුක්ත කෙනාට යථාභූත ඤාණය ඉපදෙනවා. අන්න එයා කළකිරෙනවා .

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,


අපි කථා කරමින් සිටියේ නිබ්බිදා සූත්‍රය පිළිබඳ ව. ඒ සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්මතා පහක් (අසුභ භාවනාව, ආහාරයේ පිළිකුළ පිළිබඳ භාවනාව, සියලු ලෝකයේ නො ඇල්ම පිළිබඳ සංඥාව, සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව , මරණ සතිය) පුරුදු කරන කෙනා ඒකාන්ත වශයෙන් ම කළකිරෙනවා කියලා. එතකොට සසරින් නිදහස්වීම පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන් ද? බැරිද? පුළුවන්. ඇත්තෙන් ම ලොකු විශ්වාසයක් නො වෙයි, පරිපූර්ණ විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන්. මම ලොකු කියලා කිව්වේ අපේ ස්වභාවයට අනුව යි.


යම් කෙනෙක් දක්ෂ වුණොත් එයාට පරිපූර්ණ විශ්වාසයක් කරා එන්න පුළුවන්. මේ ධර්මය පුරුදු කළොත් නියත වශයෙන් ම නිවන කරා යන්න පුළුවන්. කාටවත් වෙනස් කරන්න බැරි විදියට තමන් ගේ ශ්‍රද්ධාව ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඔබ දක්ෂ වුණොත් ඔබට පුළුවන් වෙයි මේ ධර්ම පුරුදු කළොත් ඒකාන්ත වශයෙන් නිවන අවබෝධ කරන්න පුළුවන් කියන විශ්වාසය මේ මොහොතේදී ම ඇති කරගන්න. අපට එබඳු දක්ෂකමක් ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්න ඕන. එහෙම වුණොත් එයා භාග්‍යවන්තයෙක්.


එසේ විශ්වාසයට පැමිණුනොත් එයා මොකද කරන්නේ? එයා කැමැති වෙනවා මමත් එහෙම නම් මේ ධර්මය පුරුදු කරන්න ඕන කියලා. එහෙමනම් විශ්වාසයට පැමිණිය යුත්තේ තමන් ගැනද...? නෑ. මේ ධර්මය ගැනයි විශ්වාසයට පැමිණිය යුත්තේ. මේ ධර්මය යමෙක් පුරුදු කළොත් එයාට ඒකාන්ත වශයෙන් ම නිවන අවබෝධ කර ගන්න පුළුවන්ආන්න එහෙමයි විශ්වාස කරන්නේ. මේක කිය කියා යන එකක් ද....? නෑ මේක තමා තුළ ඉපදෙන දෙයක්. අන්න ඒක තමා නිසැක බවකියලා කියන්නේ.


නිසැක බව කියන එක තමාටත් අනුන්ට ත් දෙපිරිසට ම පොදුයි. දැන් මට නම් මේ ධර්මය පුරුදු කළොත් හරි යයි. ඔයාලට කොහොම වෙයි ද දන්නේ නෑ...නිසැක බව කියන එක තුළ එහෙම දෙයක් සිදුවනව ද....? නෑ... එහෙමත් නැත්නම්, ‘ඔයගොල්ලන්ට නම් මේක ඛ්රියයි, මට මේක හරි යයිද දන්නේ නෑ...එහෙම එකක් තියෙනවාද....? නෑ... නිසැක බව කියන්නේ සියලු දෙනාට ම එක වාගේ. ඒ නිසා මේ ධර්මය කෙරෙහි අන්න එවැනි නිසැක භාවයකට එන්න බලන්න.


එතකොට ඒ නිසැක භාවය ඇතිවුණේ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි යි. අන්න එයා කල්පනා කරනවා එහෙනම් මම මේක පුරුදු කර ගන්න බලන්න ඕනකියලා. එයා කලබල වෙන්නෙ නෑ.


එයා මේ ධර්මය ටික ටික පුරුදු කර ගන්න කල්පනා කරනවා. එයා ගමන යන්න පටන් ගන්නවා. ඇයි කලබලේ අත් හැරිලනේ. එතකොට බලන්න අපිට කොතරම් ලාභයක් අත්කර ගන්න පුළුවන්ද මේ ධර්මය කෙරෙහි විශ්වාස කිරීමෙන්. එහෙම නේද?


එතකොට බලන්න මේ දේශනාවෙන් කියලා දෙන්නේ මේ ධර්ම පහ පුරුදු කරන කෙනා ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීමට පත් වනවා කියන එකයි.


එතකොට අවබෝධයෙන් කළකිරීමට පත් වන්නේ කොහොම කෙනාද?... යථාභූත ඤාණය ඇති වූ කෙනා. කුමක් කෙරෙහි යථාභූත ඤාණය ද? පංච උපාදානස්කන්ධ කෙරෙහි. පංච උපාදානස්කන්ධ කෙරෙහි යථාභූත ඤාණය ඉපදුනා නම්, ඊට පසසේ එයා ඒ කෙරෙහි කළකිරෙන්න පටන් ගන්නවා.


එතකොට පංච උපාදානස්කන්ධ කෙරෙහි යථාභූත ඤාණය ඇතිවන්න නම් එයාට මොකක් ද තියෙන්න ඕන....? එයාට සමාධිය තියෙන්න ඕන. එහෙම නම් බලන්න මේ ධර්මතා පුරුදු කරන කෙනාට යථාභූත ඤාණයත් උපදිනවා. ඒකාන්ත වශයෙන් කළකිරෙන්න නම් යථාභූත ඤාණය තියෙන්න ඕනෑ.


එහෙම නම් යථාභූත ඤාණයත් උපදිනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි වැටහීමක් නැත්නම් යථාභූත ඤාණය ඇතිවෙනව ද?..... ඇතිවෙන්නේ නෑ. පංච උපාදානස්කන්ධ කෙරෙහි වැටහීමක් ඇතිවෙන කෙනාට තමයි යථාභූත ඤාණය ඇතිවෙන්නේ. එහෙනම් මේ ධර්මතා පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධ කෙරෙහි වැටහීමකුත් ඇතිවෙනවා නේද?


දැන් බලන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි වැටහීමක් ඇතිවෙන්නේ නම්, කුමක් ද තිබිය යුත්තේ....? කොහොම කෙනාට ද ඒ අවබෝධය ඇති වෙන්නේ....? සමාධිමත් කෙනාටයි. පංච උපාදානස්කන්ධ ගැන වැටහීමක් ඇතිවෙන්නේ. සමාධිමත් කෙනාට තමයි වැටහෙන්නේ, මේ තමයි රූපය, මේ තමයි රූපයේ හට ගැනීම, මේ තමයි රූපයේ නැතිවීමකියලා. මේ විදියට රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඤ්ඤාණය ගැන පංච උපාදානස්කන්ධය ගැන ම මේ වැටහීම ඇතිවෙන්නේ සමාධිමත් කෙනාට යි.


එහෙම නම් මේ ධර්මතා පහ පුරුදු කරන කෙනාට සමාධිය ඇතිවෙනවා නේ ද?... එතකොට බලන්න සම්මා සමාධිය ඇතිවන්නේ කොහොම ද කියන කාරණයත් අපට තේරුම් ගන්න පුළුවන්. අවබෝධයෙන් කළකිරීම ඇතිවීමට උපකාරී වන්නා වූ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ කෙරෙහි යථාභූත ඤාණය ඇතිවීමට උපකාරි වන්නා වූ සමාධිය තමයි, සම්මා සමාධිය කියලා කියන්නේ. ඒ සම්මා සමාධිය ඇතිවන්නේ කෙබඳු කෙනකුටද...? සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනකුට යි.


එහෙනම් මේ ධර්මතා පහ පුරුදු කරන කෙනාට සම්මා දිට්ඨිය ඇතිවෙනවා ද නැද්ද? ඇතිවෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක් ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණය , එහෙනම් මේ ධර්මතා පහ පුරුදු කරන කොනාට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණයත් ඇති වෙනවා නේද? ඇතිවෙනවා.


එහෙමත් නැත්නම් මේ කාරණා පහ පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳ ව අවබෝධයක් ඇතිවනවා. මේ දේශනාවේ ඒ කාරණා සෘජුව පෙන්වා දීල නැති වුණත්, බලන්න ඒ ධර්මතා පුරුදු කරන කෙනාට පංච උපාදානස්කන්ධ පිළිබඳ වැටහීමක් ඇතිවෙනවා.


සම්මා දිට්ඨිය ඇතිවනවා. ඊළඟට සම්මා සමාධිය ඇතිකර ගන්න පුළුවන්කම තියෙනවා. සම්මා සමාධියෙන් යුක්ත කෙනාට යථාභූත ඤාණය ඉපදෙනවා. අන්න එයා කළකිරෙනවා ඒකාන්ත වශයෙන් ම කළකිරෙනවා.


එහෙනම් බලන්න මේ ධර්මතා පුරුදු කරන කෙනා නොමඟට යනවා ද? නොම¼ග යන්නේ නෑ. මේ ධර්මතා පුරුදු කරන කෙනා නිවැරැදි මාර්ගයේ නේ ද යන්නේ? නිවැරැඳි මාර්ගයේ යනවා. එහෙනම් බලන්න අන්න ඒ වගේ දේශනාවක් කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න පුළුවන් වුණොත් එයා ඒකාන්ත වශයෙන් ම නිවන් මඟට විශ්වාසය ඇතිකර ගෙන නේ ද....? අන්න ඒ විදියට මඟ කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්ත කෙනා භය වෙනවද?, සැක කරනවද, කලබල වෙනව ද නෑ...? එයා මහත් ප්‍රබෝධයෙන් ඉඳීද නැද්ද....? එයා මහත් ප්‍රබෝධයෙන් ඉන්නවා. ඇයි ඒ.....? එයා සෙව්වේ නිවන් මඟ නම් ඒ සොයපු නිවන් මඟ මුණ ගැසුණා. ඒ නිසයි, එයා ප්‍රබෝධවත් ව ඉන්නේ.


දක්ක ද මේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති වූ කෙනාට සිද්ධ වෙන දේ...? එහෙනම් ඒ වගේ බලවත් විශ්වාසයක පිහිටපු පිරිසක් ඈලි මෑලි ස්වභාවයෙන් ඉඳීද.....? එහෙම ඉන්න හේතුවක් නෑ නේද?... එහෙනම් යම් පිරිසක් ඈලි මෑලි ස්වභාවයෙන් ඉන්නවා නම්, අපහසුතාවයෙන් ඉන්නවා නම්, ප්‍රබෝධය නැති විදියට ඉන්නවා නම්, මැළිවෙලා ඉන්නවා නම්, අව්වට වේලිච්ච ලා උණ ගස් වගේ නම් ඉන්නේ මොකක් ද ඒකට හේතුව මොකක් ද? ඒ අය ධර්මය කෙරෙහි විශ්වාසයට පැමිණිලා නැති බවයි ඒකෙන් පේන්නේ.


එහෙනම් අපි මොකද කළ යුත්තේ? වහා වහා මේ ධර්ම කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්න කල්පනා කළ යුතු යි. අන්න ඒ සඳහා උපකාරයක් තමයි මේ සිදු කරන්නේ.ඒ උපකාරය මඟ පෙන්වීමක් පමණ යි. විශ්වාසය ඇතිකර ගැනීම තම තමා විසින් ම කළ යතු වෙනවා.

(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම් දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)


http://www.lakehouse.lk/budusarana/2009/12/09/tmp.asp?ID=vision02

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails