මේ දුක සත්‍යයක් ම යි.....
ඔබ අප සරණ ගිය තුන්ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලොව පහල වුනේ එකම එක කරුණක් උදෙසා. ලෝක සත්‍යය, එනම් චතුරාර්‍ය සත්‍යය ධර්මය කියා දී මේ සසර දුකට වැටුනු සත්වයා ඉන් එතෙර කරවීමට. බුදු සසුනක් තුළ ඒ වටා සිදුවන අන් සියළු කාරණා සැලකෙන්නේ දෙවනුවයි. ඒ සියල්ල සිද්ධ වන්නේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සමාජගත වීමේ දී ඒ සමාජය විසින් ධර්මය පිළිගන්නා වූ ඒ වගේම ඒ තුල හැසිරෙන්නා වූ පිළිවෙල හා සබැඳි සංකීර්ණ ක්‍රියාදාමය තුළ.
ඉතින් මොකක්ද මේ චතුරාර්‍ය සත්‍යය? දන්න නමුත් අමතක අයට ආයෙත් මතක් කරලා දෙමු සරලව. චතුරාර්‍ය සත්‍ය...... ආර්‍ය, ඒ කිව්වෙ උතුම් සත්‍ය හතරක්. මේ විශ්වයේ සිටින කිසිදු දෙවියකුට, බඹෙකුට, මාරයකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයකුට වෙනස් කළ නොහැකි අකාලික වූ සත්‍ය හතරක්….. අපි ඔයාලා ජීවත් වෙන මේ ලෝකෙ ගැන. පවත්වන මේ ශරීරෙ ගැන. ජීවිතය ගැන. ඒකෙන් පළවෙනි එක තමයි 'දුක්ඛ සත්‍යය'. ඒ කියන්නේ මේ ලෝකයේ උපන් සත්වයා හට නිතැතින්ම උරුම දුක. ඒක සදා නොවෙනස් වන සත්‍යයක්. ලෝක සත්වයා ඉමක් නිමක් නොපෙනෙන මේ සසරේ මේ තරම් දුරක් ආවෙත්, යම් තාක් දුර තව යතොත් ඒ යන්නෙත් මේ මහා දුක ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැති නිසාමයි. අප භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ධර්මය මනා කොට පිරිසිදුව වදාළා. මුළ-මැද-අග යන තුන් කොටසම. ඒකනේ මේ උතුම් ධර්මය 'ස්වාක්ඛාත' යි කියන්නෙ. ඒකනේ මේ ධර්මය අනෙක් විවිධාකාර වූ ශාස්ත්‍රූවරුන් විසින් පවසන ලද දේට වඩා ශක්තිමත් පදනම් සහිත, සත්‍යවාදී වගේම යතාර්ථවාදී දහමක් වෙන්නේ. ඉතින් උන් වහන්සේ අපට මේ දුක ගැන විතරක් කියලා අපව අතරමං කලේ නැහැ. ඒ දුක හට ගැනීමට හේතුව 'දුක්ඛ සමුදය සත්‍ය', ඒ දුකේ නැති වීම 'දුක්ඛ නිරෝධ සත්‍යය' වගේම ඒ දුක නැති කිරීමේ මාර්ගය වන 'දුක්ඛ නිරෝධගාමණී පටිපදා සත්‍යය' ත් අප කෙරෙහි උපන් මහා කරුණාවෙන් ම පෙන්වා දී වදාළා.
පළවෙනි වතාවට මුහුද දකින කෙනාව, ඒකට බහින්න හදන කෙනාව බෝට්ටුවකින් ගෙනිහිල්ලා මූද මැද අතහරින්නෙ නැහැනෙ. එයාට ඉස්සෙල්ලාම වැල්ල පාගන්න අරින්න ඕන. වැල්ලට ටිකක් හුරු වුනාම එයා යනවා රැල්ල පාගන්න. ඊට පස්සෙ ගොඩනැගෙන විශ්වාසය වගේම ඕනෑකම මත එයා ටික ටික ගැඹුරට යාවි. කාලයක් ගියාම ඕනනම් පුළුවනි බෝට්ටුවකින් ගිහින් මූද මැදට පනින්නත්. හැබැයි අපි මුල හරියට දැනගන්න ඕන. නැතිවුනොත් අමාරුවේ. ඒ නිසායි අපි 'දුක්ඛ සත්‍යය' අපේ මාත්‍රුකාව කරගත්තේ. මුල පැහැදිලි කරගන්න. අඩුගානෙ සංසාරගත සත්වයා මෙහෙම ගැටළුවක පැටලිලා තියෙන බවවත් අවබෝධ කරගන්න.
ඉතින් මේ දුක ගැන භග්‍යවතුන් වහන්සේ වදාළේ මොකක්ද....... සිහනද පතුරමින් එදා ඉසිපතන මිගදායේ ප්‍රවර්තනය කරන්නට යෙදුනු මහා ධර්ම චක්‍ර සූත්‍රයේ දී උන්වහන්සේ දුක ගැන මේ අකාරයෙන් පෙන්වලා දෙනවා. ".....ජාතිපි දුක්ඛා - ජරාපි දුක්ඛා - ව්‍යාධිපි දුක්ඛා - මරණම්පි දුක්ඛා - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො - පියේහි විප්පයෝගෝ දුක්ඛො - යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තේන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා....." කාටත් තේරෙන සිංහලෙන් කිව්වොත්..... ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩදුක් වැළඳීම දුකයි, මරණය දුකයි, අප්‍රිය පුද්ගලයන් වගේම අප්‍රිය වස්තූන් සමඟ එක්වෙන්න ලැබීම දුකයි, ප්‍රිය පුද්ගලයන් වගේම ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වෙන්න ලැබීම දුකයි, ආස කරන දේ නොලැබී යාමත් දුකයි. කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදාන්කන්ධයම දුකයි. ඉතින් ඔයාලම ටිකක් හිතලා බලන්න ඔය පිනට ලැබුනු නුවණ පොඩ්ඩක් පාවිච්චි කරලා..... මීට පරිබාහිර දෙයක් අපට උරුම වෙලා තියෙනවද? මේ කිසිම දෙයක් අපට සතුට ලබා දෙන දේවල් ද? මේ දුක් සියල්ලම නොඅඩුව අපි නිතැතින්ම අත් විඳිනවා නේද? ඒත් අපි තාමත් මේ දුකම බදාගෙන, දුකටම ඇලිලා, සැප වේෂයෙන් එන දුකටම රැවටිලා, මොහොතක ආශ්වාදය වෙනුවෙන් ඒ දුක තුරුල්ලටම නේද යන්නේ හරියට අර මහ වැස්සිගේ තනබුරුල්ලෙන් කිරිබොන්න වැස්සිගෙ තුරුල්ලටම යන වහු පැටව් වගේ. කවදාවත් අපට හිතුනද ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ කියලා. ඒ දුකින් ගැලවෙන්න විදියක් ගැන මොහොතකටවත් හිතුවද.....? ගැලවෙන්න කලින් මෙහෙව් දුකක් තියෙනවා කියලවත් අල්ප මාත්‍ර තරමක හරි වැටහීමක් ඇතිවුනා නම් ඒකත් බොහොම වටින දෙයක්.
මතු සබැඳි....
අපි තාමත් මේ දුකම බදාගෙන, දුකටම ඇලිලා, සැප වේෂයෙන් එන දුකටම රැවටිලා.මෙයින් මිදෙන්න තමයි උත්සහ කරන්නේ.අපි කරන කියන දෙවල් තමා අප පසුපස එන්නේ..