Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බලන් සබඳ ඒ මුණි තෙද අසිරිය.....

Thursday, December 10, 2009 , at 11:00 PM

*නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස*

ලෝ විවරණය - මවු තුමියට කළ ගුණ සළකා සංකස්සයට වැඩි අප මහ මුනිඳු

අපි හැමෝම දන්නව අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ දයාබර මවු තුමිය වූ මහා මායා දේවිය අපේ බෝසත් කුමරු ඉපදී හරියටම දවස් හතක් ගතවූ පසු කළුරිය කලා. එතුමිය මරණින් මතු තව්තිසා දෙව්ලොව මාතෘ දෙව්පුත් ලෙස උපත ලැබුවා. මේ ධර්මතාවය හැම බෝසත් මවු කෙනෙකුටම සිදුවන දෙයක්. එයට හේතුව තමා මහා බෝසතාණන් වහන්සේ කෙනෙකු පිළිසිඳ​ ගත් ඒ මවු කුසින් තව දරුවෙකු බිහි නොවීමයි ( නිසයි සියළුම බෝසත්වරු අවසන් වරට මනු ලොව ඉපදීමට පෙර පස් මහ බැලුම් බලන අවස්ථාවේ දී තමන්වහන්සේ මෙලොවට ඉපදී දවස් හතක් ඇවෑමෙන් කළුරිය කරන, බෝසත් උපතෙන් පසු දවස් හතක් පමණ​ක් ආයුෂ ඇති මවක් තෝරාගන්නේ).


ඉතින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය බා ගත් පසු තමා ගේ මවු තුමියට කෙළෙහි ගුණ දැක්වීම සදහා එතුමියව සතර අපායෙන් මුදාවා ගැනීම සදහා ශ්‍රි සද්ධර්මය දේශනා කිරීම සදහා තවුතිසා දිව්‍ය​ ලෝකයට වැඩම කොට මාතෘ දෙව් පුත් හට අභිධර්මය දේශනා කොට තුන් මසක් තවුතිසා දිව්‍ය​ ලෝකයේ වස් වැස, වස් අවසානයේදී නැවත මෙම ලෝකයට වැඩම කරන ලද්දේ සංකස්ස පුරයටයි. මෙම අවස්ථාව ලෝක විවරණය යන නමිනුත් හැඳින්වෙනවා. එයට හේතුව නම් බුදුරජාණන්වහන්සේ දෙව්-බඹුන් පිරිවරාගෙන​ මේ පොළෝ තළයට වැඩම කරන අවස්ථාව එතනට රැස් වූ සියලුම මිනිසුන් හට දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ අවස්ථාව ඉතාම දුර්ලභ​ව මිනිසුන් හට දැකගන්න ලැබෙන්නෙ. ඉතාම ආශ්චර්යමත් වූත් අත්භූත වූත් අවස්ථාවක්. බුදුරජාණන්වහන්සේ පොළොවට වැඩම කරන්නේ තමන්වහන්සේ ගේ ඉර්ධි යෙන් මවාගත් රත්‍රනින් හා මැණික් වලින් නිර්මිත පියගැට පෙලක් මතිනුයි. මීට යාබදව දෙපසින් තවත් රන් හා රිදී පියගැට පේළි දෙකකුත් තිබෙනවා. එකක් දෙවියන් සඳහා. අනෙක බඹුන් සඳහා. මේ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේට පුදපුජා කරමින් පන්ච තූර්ය වදනය කරමින් උන්වහන්සේ හට චාමර සේසත් ධ​ජ ප්‍රතාක වලින් උපහාර පුදපුජා කරමින් ශ්‍රක්‍ර දෙව් ඇතුලු සියලු දෙව් පිරිස බුදුරජාණන්වහන්සේ පිටුපසින් පැමිනෙන ආකරය සියලුම මිනිසුන්හට දැකගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේ ගේ අපරිමිත වූ ඉර්ධි බලයෙන් මේ ලෝකයේ මිනිසුන් හට ඒ සියල්ල දර්ශනය වීමට සළස්වනවා.


(මෙහි දක්වා ඇති ඡායාරූපයෙත් ඒ සියල්ලම මනා කොට දක්වා තියෙනවා. අප ගේ සම්මා සම්බුදු රජානන් වහන්සෙගේ සියලුම බුද්ධ ගුණ….. හිරු සදු එළිය පරදන ප්‍රඥා ආළෝකය, වීත රාගී, වීත මෝහී, වීත දෝශී ගුණයන්, දෙව් මිනිසුන් ගෙන් වැදුම් පුද පුජා ලබන දෙව් මිනිසුන් ගේ එකම ශාස්තෘන් වහන්සේ බව, දෙතිස් මහ පුරිස ලක්ෂණ, බුදුරජාණන්වහන්සේ සිනහ පහල කිරීම යනාදිය…… බලන්න බුදුරජාණන්වහන්සේගේ සිරස​ වටා දක්වා ඇති සුදු බුදු රැස් වළල්ළ සිරස වටා පැදකුනු කරන ආකාරය….. සියල්ලම මනා කොට චිත්‍ර ශිල්පියා විසින් සිතුවමට නගා ඇති අයුරු. ඇත්තටම මට නම් මෙය මගේ නෙත් ඉදිරියට පැමිණි, මාගේ නෙත් සිත් පහන් කරනු ලැබූ දර්ශනයක් ම විය. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගැන පැහදීම (උන්වහන්සේගේ ගුණ සිහි කර කරා) කෙනෙක් හට ත මාගේ පැහැදීම ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීමට උපකාරයක්ම වේවි යන්නයි මගේ හැගීම.)


ඉතින් තව දෙයක් ලියන්න හිතුන. ඒ තමා අවිජහිත භූමි ගැන…… ඒ වගේම මේ භුමියේ දී එදා බුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරය කරන අවස්ථාවේ සිද්ධ​ වෙච්ච් සුවිශේෂි සිදු වීම් කීපයක් ගැන ලියන්න.

"අවිජහිත භූමි" කියල කියන්නේ සියලුම බුදුරජාණන්වහන්සේලා හට පොදු වෙච්ච භුමි. එවැනි ස්ථාන හතරක් ලෝකයේ පවතිනව.


~සියලුම බුදුරජාණන්වහන්සේලා සියළු ක්ලේෂයන් නසා බුද්ධත්වයට පත්වන වන ස්ථානය - ගයාවේ වජිරාසනය

~පළමු වරට ධර්ම චක්‍රය ප්‍රවර්තනය සිදු කරනු ලබන ස්ථානය (ප්‍රථ​ම ධර්ම දේශනාව වන ද​ම්සක් පැවතුම් සුත්‍රය දේශනා කරන ස්ථානය) - ඉසිපතන මිගදාය

~සියලුම බුදුරජාණන්වහන්සේලා විසින් වැඩිම කලක් වස් වසන ස්ථානය - සැවැත් නුවර ජේතවනාරාමය

~මාතෘ දෙව් පුත් හට අභිධර්මය දේශනා කොට වස් තුන් මස් අවසානයේ දී ලෝක විවරය සිදු කරමින් නැවත මෙළොවට වැඩම කරන ස්ථානය - සංකස්ස පුරය


නූතන ලෝකයේ මේ උතුම් වූ පුජා භුමිය (සංකස්ස පුරය) හැදින් වෙන්නේ සන්කිසා යන නමිනු යි. මේ උතුම් වූ පුජා භුමිය පිහිටා තියෙන්නේ භාරතයේ උත්තර ප්‍රදේශයේ Sarrukhabad කියන පළාතේ.


ඉතින් එදා ලෝ විවරය සිදු කළාවූ අවස්ථාවේ දී සුවිශේෂි සිදුවීම් කීපයකුත් සිදු වුනා. එක් සිදුවීමක් තමා අනාගතයේ මිනිසුන් ගේ යුෂ අවුරුදු අසූදාහ දක්වා වැඩි වූ විට මේ මහා භද්‍ර​ල්පයේ පස්වනුව​ ලොව​ පහළවන මෛත්‍රි බුදුරජාණන්වහන්සේ අවසන් වරට නියත​ විවර ලැබුවේත් බුද්ධත්වයට පත්වීමට පෙර අවසාන වරට පැවිදි බව ලැබුවේත් ඒ අවස්ථාවේ දී.


ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත​ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන්වහන්සේ එම අගතනතුර අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ප්‍රදානය කරන ල​ද්දේත් එදා.


ඉතින් එදා එතනට රැස් වෙච්ච දෙව් මිනිසුන් දස දහස් ගණ​නින් මාර්ග​ අවබෝධය කරා. එතනට රැස් වෙච්ච අතිවිශා භික්ෂු සංඝයා වහන්සේ ලා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළා. ඉතින් බන්න අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරය සිදු කල ඒ දවස කොතරම් ආශ්චර්යමත් ද කියල.


ඉතින් අපි හැමෝම දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන අපගේ මහා මුනිරජාණන්වහන්සේ ලෝකයේ දෙව් මිනිසුන් වෙත පතළ මහ කරුණාවෙන් ලෝක විවරය සිදු කළා වූ ඒ ආශ්චර්යමත් අත්භුත වූ අවස්ථාව සිහි කරගෙන අපගේ සිත් ඒ කෙරේ පහදවාගෙන කුසල් සිතම වඩමු. අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණම සිහි කරමු.


ඔබ සැමට තෙරුවන් සරණ වේවා.......
උතුම් වු අමා නිවන් සුවම ලබත්වා!!!


(
සැදැහැතියකු විසින් සම්පාදිතයි)

Bookmark and Share

Currently have 1 comments:

  1. prasanna says:

    pin sidu weva

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails