Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

දැන්වත් බිමින් තියමුද ඔය 'හණ මිටිය'..... (ගෞතම සංදේශය 05)

Wednesday, December 2, 2009 , at 9:30 PM

'හණ මිටි කාරයො' කියන අය ඕනම සමාජයක ඕන තරම් ඉන්නවනෙ. නිතරම වගේ හමුවෙනවත් නෙ. සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වන්නෙ යල් පැනගිය, නැත්තං තේරෙන් බාසාවෙන් කිව්වොත් 'expired' අදහස් තියෙන, ඒවායෙම ඉල්ලීගෙන ඉන්න, ඉන් බැහැර කිසිම දෙයක් මොනම හේතුවක් නිසාවත් නොසලකන, පුහු මාන්නය වගේම මෝඩකම නිසා සිතීමේ ශක්තිය හීනවීමෙන් මනෝඅන්ධ භාවයට පත් වුන, අනුකම්පා ලැබිය යුතු අසරණ පිරිසක්. බටහිර අධිරාජ්‍යවාදී ගැති පසුබිමක් මත බිහිවූ ලාංකීය වලව් පැලැන්තියේ අවසාන පුරුක් මෑත ඉතිහාසයෙන් ගෙන හැර දක්වන්න පුලුවන් ප්‍රබල උදාහරණයක්. ගෞතම සංදේශයෙන් අද කතාබහට ලක්වෙන්නේ බුදු සසුනක් තුලදී අපට හමුවෙලා තියෙන මෙවැනිම පිරිසක් ගැන. අමතක කරන්න එපා...... ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඕපනයිකයි. තමා තුළට පමුණුවාගෙන දැකිය යුතු ධර්මයක්. තමුන් ඉන්න තැන තමුන්ටම බලා ගත හැකි වේවි අනිත් අයට ඇඟිලි දික් කරන්න කලින්. මොකද බුදුන් වහන්සේ වදාළේ මේ ධර්මය තමාව දකින කැඩපතක් කරගන්න කියල යි.


හුඟ දෙනෙක් මේ වහරට මුල් වුන කතාවත් නොදන්නවා වෙන්න පුළුවනි..... ඔන්න යාළුවො දෙන්නෙක් දුර ගමනක් යනවා 'හණ මිටි' දෙකක් කරේ තියාගෙන​. ටික දුරක් යනකොට මේ දෙන්නට හමු වෙනවා තඹ ගොඩක්. එක්කෙනෙක් හණ මිටිය විසිකරල තඹ මිටියක් බැඳගෙන කරතියාගන්න අතරෙ අනිත් කෙනා කියනවා මම කරතියාගෙන ආපු හණ මිටිය මට හොඳයි කියලා. ඉතින් එතනින් පිටත් වෙලා ටික දුරක් යනකොට හමු වෙනවා රිදී ගොඩක්. තඹ මිටිය කර තියාගෙන ඉන්න කෙනා ඒක අතෑරල රිදී මිටියක් බැඳගෙන කරතියා ගන්නවා. අනිත් යාළුවා තාමත් හණ මිටිය කරගහගෙන යනවා. තව දුර යද්දි මෙයාලට මුණගැහෙනවා රත්තරං ගොඩක්. රිදී මිටිය කරේ තිබුනු කෙනා ඒක අතෑරලා ලොකු රත්තරං මිටියක් බැඳල කරතියා ගන්නවා. ඒ අතරෙ අනෙක් යාළුවා ගැන අනුකම්පාවෙන් කියනවා දැන්වත් ඔය හණ මිටිය විසිකරල රත්තරං මිටියක් බැඳගන්න කියලා. ඉතින් එයා කියනවා රත්තරං නම් වටිනවා තමයි. ඒත් මම මෙච්චර දුරක් කරතියාගෙන ආපු මේ හණ මිටිය අතාරින්නෙ කොහොමද කියලා ඒකම කරතියාගෙන යනවා...... ඉතින් බලන්න යාළුවනේ, දෙන්නා ලඟම මුලින් තිබුනේ හණ මිටි. නුවණ තිබුන කෙනා හරි දේ, වටිනා දේ හමුවෙනකොට නුවණ පාවිච්චි කරල ඒ දේ අල්ලගන්නවා. අනුවණ​, මෝඩ, මාන්නක්කාර කෙනාගේ ඉරණම නම් ඇත්තටම සෝචනීයයි. ඔන්න ඔය විදියට තමයි 'හණ මිටි කාරයා' අපේ ජනවහරට එකතු වුනේ.


මේ පුංචි මුතු ඇටයේ සිංහ ලේ තියෙන මව් පිය දෙපලකට දාව මේ වගේ කාලෙක මිනිස් උපතක් ලබන්න අපිට තිබුනු වාසනාව​, පින ප්‍රමාණ කරන්න බැහැ. ඒක මේ උතුම් ධර්ම ලාභය ලැබුනු අපට වගේම ඔයාලටත් ඒ ආකාරයෙන්ම දැනෙනවා ඇති. ඒත් අපි පහු කරල තියෙන මේ රටේ මෑත ඉතිහාසය නම් ඒ තරම් වාසනාවන්ත වුනේ නැහැ. පහුගිය අවුරුදු 500-1000 පමණ හරිම අවාසනාවන්ත​, අඳුරු කාලපරිච්ඡේදයක් අපි පහු කරලයි ඉන්නේ. ඒ නිමල බුදු දහම මුළු දඹදිව් තළයෙන්ම වියැකිලා ගියා. මුළු ආසියාකරයෙන්ම ත්. ඒත් මේ පුංචි බිමේ එදා වැඩ හිටි ඒ අසිරිමත් රහත් මුනිවරු අනාගත පරපුර උදෙසා සිදු කළ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ඒ මහා පුණ්‍ය කටයුත්ත නිසා අදටත් අපි ඒවායින් අමිල ප්‍රයෝජන ගන්නවා. අද ඒ දේවල් එහෙමෙ සිද්ධ වුනත් එදා ඒ රහතුන් ගේ යුගයෙන් පස්සේ ධර්මය යට ගියා. පොත් වලට පමණක්ම සීමා වුනා. අධර්මය ශීඝ්‍රයෙන් පැතිරෙන්න වුනා..... ධර්මයේ නාමයෙන්. අවාසනාවට ඒක සිද්ධ වුනේ සසුන් ගත වුන චීවරධාරීන් අතින්මයි. අදටත් අපි ඒ දේවල් අත්දකිනවනේ. ඉතින් ඒ විදියට අධර්මය සමාජගත වෙද්දි මිනිස්සු හිතුවේ ඒ තමයි ධර්මය කියලා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අධර්මයම සරණ ගියා. හණ මිටියම කරතියාගෙන ආවා. ඒත් අපි තාමත් පිංවන්තයි. අපිට රත්තරං හමුවෙලා තියෙනවා. ඒ කිව්වේ අපිට ශ්‍රී මුඛ බුද්ධ වචනය හමුවෙලා තියෙනවා. ඒ උතුම් ධර්මය අපට දැන් විවර වෙලා තියෙනවා. ඉතින් තවත් ඇයි මේ හණ මිටි කරගහගෙන​....?


අපි හැමෝම 'කඩය'​ ක හිමිකාරයෙක්. ඒ තමා වේලපත්කඩය​.... උපතින්ම බෙල්ලේ බඳින කේන්දරය. නැත්තං හඳහන​. මේ තරම් පිරිසිදු ධර්මයක් ලැබිලා තියෙන වෙලාවෙ බමුණන්ගෙන් ලැබුනු මේ 'අධර්මය​', මේ 'හණ මිටිය' අතහැරගන්න බැරුව කීදෙනෙක් නම් නිරයගාමී කර්ම රැස්කරනවද? නිකමට හිතලා බලන්න ඔබ සරණ ගිහිල්ලා තියෙන්නේ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයද නැතිනම් අර ප​ෘථඃජන බමුණගෙ කේන්දරේද කියලා. මේ මිනිස්සු සරණ ගිය තවත් අධර්මයක් තමා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ඔලුගෙඩි වලට රිංගවපු 'ප​ෘථඃජන විද්‍යාව​'. බලන්න අද කී දෙනෙක් මේ අන්ධබාල විද්‍යාව සරණ ගිහිල්ලා ධර්මයට ගරහනවද කියලා. මාන්නය වගේම මෝහය නිසා හරි දේ දැක දැක වැරදි දේම එල්ලිලා ඉන්නවද කියලා. බුදු නුවණින් අවබෝධ කරල උගන්වන දේවල් මේ මොන්ටිසෝරි විද්‍යාවෙන් හොයාගන්න කල් අද කී දෙනෙක් කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවද​...? ඔහොම නෙවෙයි අහසෙ සක්මන් කරන තත්වෙට ඔය කියන විද්‍යාව දියුණු වුනත් මේ උතුම් ධර්මය ඔය විද්‍යාව තුලින් දකින්න බැහැ. ඒක සිද්ධ නොවෙන දෙයක්. අපි මේ කතා කලේ අපට පැහැදිලිවම පේන​, පහසුවෙන් තේරුම් ගන්න හැකි, බොහෝ අයට බලපාන උදාහරණ දෙකක්. මේ වගේ තවත් කොයිතරම් නම් අසාර දේවල් තුල මිනිස්සු හිර වෙලා ඉන්නවද​....


තව දෙයක් තමයි හරි ධර්මය වුනත් හරි විදියට ඉගෙන ගත්තෙ නැති වුනාම ඇති වෙන ගැටළු. උදාහරණයක් විදියට මෛත්‍රී භාවනාව​....... අපි පුංචි කාලෙ ඉඳල ඉගෙනගෙන තියෙන විදිය තමයි 'සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා......’ ආදී වශයෙන්. අපි ගිය පාසලේ වගේම දහම් පාසලෙත් ඉගැන්නුවෙ මේ විදියටනෙ (බහුතරයක්). නමුත් ඒ විදියෙ මෛත්‍රී භාවනාවක් බුද්ධ දේශනා වල සඳහන් වෙන්නෙ නැහැ. ඒක වැරදියි. ඉතින් ඒ උතුම් පිරිසිදු බුද්ධ දේශනා කියවලා ඒවායෙ තියෙන හරි දේවල් හරි විදියට අපට ඒ කළ්‍යාණමිත්‍රයන් විසින් කියලා දෙනකොට ඒ දේවල් කරුණු සහිතව විමසලා බලලා පිළිගන්න තරම් අපි නිහතමනී වෙන්න ඕන නේද​...... අපි ධර්මය තුලින් බලාපොරොත්තු වෙන්නෙ අපේ ගුණධර්ම දියුණු කරගෙන නිවන් මඟ තුල හික්මෙන්න නේද​.....


බොහෝ දෙනෙක් කරන්නේ තමුන් දන්න දේට, ඉගෙනගෙන තියෙන දේට වඩා වෙනස් දෙයක් කවුරුහරි කිව්වම ඒකෙ හරි වැරැද්ද නුවණින් විමසලා බලන්නෙ නැතුව පුහු තර්ක​, විවාද ගොඩනගාගෙන ඒ මත්තෙ ගැටෙන එකනෙ. ඉතින් ඒ කෙනාට හරි දේ, වටිනා දේ අල්ලගන්න බැරුව යනවා. මඟ හැරෙනවා. ඉතින් මේ විදියට මුළු ජීවිත කාලයේම පුහු මත ගොඩක හිරවෙලා, හරි දේත් එක්ක ගැටෙමින් ඉඳල අන්තිමට හිස් පුරුෂයෙක් වගේ හිස් අතින්ම මැරිලා යනවා. ඉන් පස්සෙ සිද්ධ වෙන දේ ගැන ඉතින් 'බෞද්ධ' ඔයාල දන්නවනෙ.


ඉතින් තවදුරටත් හණ මිටිය කරේ තියාගෙන යනවද නැත්තං රත්තරං අරගෙන යනවද​.....? තීරණය බුද්ධිමත් ඔබ අතේ....... හැබැයි පෙරහැර යන්න කලින්.


'ගෞතම සංදේශය'
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​.....




Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails