මේ දුක සත්‍යයක් ම යි..... (02)
ඉතින් පින්වත් මිතුරනේ අපි පහුගිය සතියේ මේ ලෝකේ කතා කරන්න අකමැතිම මාත්‍රුකා වලින් එකක් වන 'දුක' නම් වූ ඒ බුදුන් වදාළ පරම සත්‍යය ගැන කතා කරන්න පටන් ගත්තනෙ. ඒ වගේම අපි දන්නවනේ මේ උතුම් ධර්මය ස්වාක්ඛාතයි කියලා. ඉතින් ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන ආශ්චර්‍යවත් විදියට කරුණු කාරනා පෙන්වා දෙමින්, කොටස් වශයෙන් සරලව පහදා දෙමින් පිනැති බුද්ධිමත් දෙව් මිනිසුන් ඒ අසිරිමත් අවබෝධය කරා ගෙන ගියා.
ඉපදීම නම් වූ 'දුක' –
අපි හැමෝම මේ ලෝකෙට ආවා..... මිනිස්සු වෙලා. තිරිසන් සතෙක් වෙලා තිරිසන් ලෝකෙ නොගිහින්. ප්‍රේතයෙක් වෙලා ප්‍රේත ලෝකෙ නොගිහින්. නිරි සතෙක් වෙලා නිරයේ නොගිහින්. ඒ වගේම දිව්‍ය පුත්‍රයෙක් හෝ දිව්‍යාංගනාවක් වෙලා දෙව්ලොවත් නොගිහින්. අපිට ලැබුනා ඇසක්.... කණක්.... නාසයක්.... දිවක්..... කයක්..... මනසක්. මීට අමතර දෙයක් ඉපදුනා ද? කොහේ ගියත් ලැබෙන මේ බඩකඩුත්තුව ඇතුලේ තියෙන්නේ ඔච්චර තමයි. ඔය හය නිසා තමයි අපි හැමෝම මේ සංසාර කොන්තරාත්තුව කරගහගෙන විඳවන්නේ. ඉතින් ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ඉපදීම දුකක් කියලා.
බැලූබැල්මට අපට මේක තේරෙන්නේ නෑ දුකක් කියලා. මොකද දුක තුළ ගැබ් වෙලා තියෙන තාවකාලික වූ ලාමක ආශ්වාදයට අපි ඇලිල ගිහින් තියෙන නිසා. මේ දුක අපි කරා එන්නේ සැප වේෂයෙන්. සැපය කියන වෙස් මුහුණට මුවා වෙලා. ඉතින් ඒක අපි බොහොම ආදරයෙන් වැලඳගන්නවා සැප කියලා හිතාගෙන. හැංගිලා වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළියේ කියනවනේ. ඉතින් ඒ වගේ වෙස්මූණු බැඳගෙන ආපු 'දුක' නම් වූ සැපේ යථා ස්වභාවය අපට ටිකෙන් ටික පේන්න ගන්නවා. හැබැයි ඉතින් එතකොට පෙරහැර ගිහිල්ලා……… පිනට නිගා නොදී, පිනට ලැබුන නුවණට නිගා නොදී බුද්ධිමත් ඔබ මොහොතක් හිතල බලන්න. කොයිතරම් නම් මේ ජීවිතේ අපි කඳුළු හෙළලා ඇතිද....? ලැබුනු දුක් පීඩා.... සිත් තැවුල්..... මෙච්චරයි කියලා ගණින්න හැකිද? කොයිතරම් සෝකයෙන් වැලපිලා සුසුම් හෙළලා තියෙනවද......? කී වතාවක් නම් මරණ බය ඇතිවෙලා තියෙනව ද....? නමුන් ඔයාලට අපිට ඒ මුකුත් මතක නෑ මේ හොහොතේ. ඇත්ත කතාව මේ විදියට තිබෙත්දිත් මේ ජීවිතය සැපක් කියලා හිතලා අපි කොයිතරම් නම් මුලාවකට පත්වෙලාද ඉන්නේ.
දැන් බලන්න පුංචි දරුවෙක් ඉපදුනහම..... රටක් රාජ්‍යයක් ලැබුන වගේ යාළුවො නෑදෑයො වටකරගෙන ආඩම්බරෙන් ආසාවෙන් තුරුළු කරගෙන එන හැටි. වටකරගෙන ඉන්න අයත් "අනේ ලස්සන බබා....වාසන්නාවන්" කියලා කකුලෙන් අදියි, කිතිකවයි, නහය මිරිකයි, කම්මුල් අතගායි රටේ නැති දේවල්. ඒ අස්සේ කියයි නහය අම්මගෙ වගේ. කට තාත්තගෙ වගේ. නළල බාප්පගෙ වගේ. ඇස් දෙක ලොකු තාත්තගෙ වගේ. හිනාවෙනකොට සීය වගේ. අඬනකොට ආච්චි වගේ. ළඟපාතක ගෙදර බල්ල හිටියොත් කියයි කන් දෙක ටොමීගෙ වගේ කියලත්...... ඔය ඉපදෙන එකෙකුටවත් තියෙනවද දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් අඩුගානෙ එකක් වත්....? මේ ඉපදීම දුකක්, මේ ශරීරය අසූචි කළයක් කියලා කිව්වේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් අණූන වූ බබලන සිරුරක් හිමි වූ අප සරණ ගිය ඒ මහෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි මේ උඩ දාගෙන දඟලන්නේ මොනවා තිබිලද.... මොනවා ලැබිලද....? ඒ ඉපදුන දරුවා කරගහගෙන ඉන්න දුක් ගෝනිය කාටවත් පෙනුන ද? බුද්ධ වචනය 'ජාතිපි දුක්ඛා' කියලා කාටවත් මොහොතකට සිහි වුනාද? ඒ ඉපදුන දරුවට ලැබුනේ තවත් පංච උපාදානස්කන්ධයක් විඳවන්න උචිත ආකාරයට සැකසිලා..... ඉතින් 'සංඛිත්තේන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා' කියන බුද්ධ වචනය කාටවත් සිහි වුනාද..... වැරදිලාවත්?
මේ ලෝකෙ මහ හයියෙන් කෑ ගහනවා සත්‍ය යට ගිහින් බොරුව රජ කරනවා කියලා. මේ විදියට වැඩකරන්න ගියොත් සත්‍යය 'යට' නෙවෙයි ගිය දිහාවක් හොයාගන්නවත් නැති වේවි. ඒකට වැරදිකාරයො කවුද, වගකියන්න ඕනි කවුද කියලා දැන් ඔයාලටම පැහැදිලියි නෙ. වැඩි දුර යන්න ඕන නෑ. බුදුන් උපන් දේශයේ අද ඒ උතුම් සත්‍යයට වෙලා තියෙන දේ පේනවනෙ. ඉස්මොළ පාදනොගත්තොත් අපිටත් නගින්න වෙන්නේ ඒ බෝට්ටුවටම තමයි වැඩිකල් නොයාම. ඕක තමයි ඇත්ත. තිත්තයි තමයි ඒත් මොනවා කරන්නද? කොයිතරම් කටුක වුනත්, කොයිතරම් අපි අකමැති වුනත් මේ ඉපදීම දුකක් බව අපි පිළිගන්න ඕනි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය...... නුවණින් විමසා කරුණු සහිතව බැහැර කළ නොහැකි පරම ගාම්භීර වූ ලෝක සත්‍යය.
අපි මේ ලෝකේ එළිය දැක්ක දවසේ අපේ අම්මා තාත්තා අපිව ආදරෙන් හුරතල් කරනකොට ඒ අයට මොහොතකටවත් හිතෙන්න නැතුව ඇති "අනේ මේ දරුවත් අපි වගේම දුක් කන්දරාවක් කරගහගෙන නේද මේ ජීවිතේ යන්න තියෙන්නෙ කියලා....." සෝ සුසුම් කඳුළු ගංගාවක් හෙළමින් දුක් විඳින්නටම සැකසුනු තවත් පංච උපාදානස්කන්ධයක් කියලා කාටවත් හිතෙන්න නැතුව ඇති. අපි මේ කතාකරනේ මෙලොව එළිය දැක්කට පස්සේ අපි විඳින දුක් කඳරාව ගැනනෙ. කවුරුත් හිතුවද, කාටවත් මතකද අපි අර මල්ලක් ඇතුලෙ හිරවෙලා අපා දුක් විඳපු මාස දහය ගැන.....
අපි ඉපදුනෙත් මෙන්න මේ විදියට. බලන්න මේ පුංචි සටහන.
මතකද අපිට මේ දුක් අපි වින්ද වගක්……. (click here)
ඉතින් මිතුරනේ අපිට බොරුයි කියලා බැහැර කරන්න පුළුවන් කිසිවක් මේ දුක්ඛ සත්‍යය තුළ නැහැ. ඒ උතුම් බුදු නුවණින් දැක අප හට අනුකම්පාවෙන්ම වදාරන ලද ඒ පරම සත්‍යය කෙරෙහි සිත් පහදවා ගනිමු. මේ ඉපදීම දුකක් ලෙසම තේරුම් ගනිමු. මේ ඉපදීම මහා දුක් ගංගාවක ඇරඹුමක් ලෙසම දකිමු. ඇත්ත ඇති සැටියෙන්ම දකිමු….. තේරුම් ගනිමු. ප්‍රඥා නැණ පහන් දල්වමින්.....
ඒ අසමසම බුදු නුවණට, ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා!!!
Great thought-Boho pin reeswewa
embaded link title is not visible
Great thought
Link title is not visible
boho pin reswewa