Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මෙන්න SCIENCE……

Monday, November 9, 2009 , at 11:28 PM

උතුම් ගෞතම බුදු සසුනේ පහස විඳින පින්වත් මිතුරනේ,


අපි හැමෝම ඉස්කෝලෙ ගිය අයනේ. එක්කො යන අයනෙ (වැස්සකට එහෙම නෙවෙයි... ඉගෙන ගන්න) අපි හැමදාම පීරියඩ් අටක්ම විවිධ විෂයන් ඉගෙන ගත්තනෙ අඩු වැඩි වශයෙන්. ජීව විද්‍යා කියයි, භෞතික විද්‍යා කියයි, රසායන විද්‍යා කියයි, සමාජ විද්‍යා කියයි, ආර්ථික විද්‍යා කියයි, කෘෂි විද්‍යා කියයි, ගෘහ විද්‍යා කියයි..... බලන්න විද්‍යාම ජාති කීයක්ද....? ඔය ටිකයි නෙ. ඒ විතරක් නෙවෙයිනෙ.... ගණිත ශාස්ත්‍ර, භාෂා, සංගීත, නැටුම් වගේම ආගමත් අපි විෂයක් විදියට ඔය කියන ඉස්කෝලෙදි ඉගෙන ගත්තනෙව. ඔයගොල්ලො නිකමට හිතල බලන්න ඔය අවුරුදු 12-13 ක් පුරාවටම බඩගාපු ඉස්කෝලෙදි අඩුමගානේ එකම එක පීරියඩ් එකකදි හරි (අවු 13 ටම) ජීවිතේ ඇත්ත පැත්ත ගැන කියල දුන්න ද? මේ ලෝක සත්‍යය ගැන මොහොතක්වත් කතා කළාද? දුවේ, පුතේ අපි මේ ගෙවන ජීවිතේ යථා ස්වභාවය මේකයි කියල කියල දෙන්න අපිට ගුරුවරයෙක් හිටියද? කොහෙද ඉතින් අපිට කියල දෙන්න කලින් ගුරුවරු දැන ගන්න එපායැ. කොහොමින් කොහොමින් හරි එක එක නම් වලින් තිබුන විද්‍යාවන් දාහක් විතර ඉගෙන ගෙන විද්‍යා සාගරයක් මැද අපිව අතමං කරල ඉස්කෝල ගමනත් නැවතුනා. සමහරක්, ඒ ප්‍රෝඩාකාරී විද්‍යා සාගරය මැද නැංගුරම් ලාගන්න හිතාගෙන යුනිවර්සිටි නැවට ගොඩ වුනා. ඉතුරු කට්ටිය ලඟ තිබුන පරණ බෝට්ටු, ටයර් කෑලි වල එල්ලුනා.... මොනවා කොහොම කලත් කට්ටිය තාමත් මූදෙ. දැන හෝ නොදැන.


ඉස්කෝලෙන් මිදිල සමාජගත වෙනකොට එතන තවත් හැටහුටාමාරක් විද්‍යා. අද මුළු ලෝකෙම කතා කරනවා විද්‍යාවේ දියුණුවක් ගැන. නානාප්‍රකාර ක්ෂේත්‍ර වල. පෙර නොවූ විරූ ලෙසට කියල. ඒත් මේ විද්‍යාව තුළින් මොනවද මේ මිනිස්සු හොයන්නේ.....? කොහාටද මේ අසරණ සමාජය දක්කගෙන යන්නේ......? (ඒ ගැන අපි වෙන දවසක කතා කරමු) වර්තමාන ප්‍රෝඩාකාරී සමාජ රටාව තුළ හිරවෙලා, 'විද්‍යාව' කියන වචනෙ එල්ලිලා, ඇතැම් විට ඒ තුළ අතරමං වෙලා මේ මිනිස්සු අර "යන්නෙ කොහෙද? - මල්ලෙ පොල්" කියන ගානට පත් වෙලා. බලන්න කොයි තරම් අසරණ කමක් ද කියලා. බුදු බණක් නැසූ ලෝකෙක තියෙන අසරණකම මෙච්චරයි කියල මනින්න පුළුවන් ද.....


මෙන්න මේකයි විද්‍යාව, මේකයි අවබෝධ කළ යුත්තේ කියල පැහැදිලිවම, නිරවුල්වම ඒ අප සරණ ගිය භාග්‍යවතු වහන්සේ විසින් පෙන්වා දෙනවා අප කෙරෙහි උපන් මහත් සෙනෙහසින්, දයාවෙන්, අනුකම්පාවෙන්ම...... ඉතින් ඒ සෙනෙහෙබර උතුම් බුදු වදන අදහාගෙන පිළිපදින්න තරම් වත් අපි නිහතමානී වෙන්න ඕන නේද.....? එහෙම නැතුව මේ ලැබ් වල ටෙස්ට් ටියුබ් ඇතුළෙ, ටෙලස්කෝප් වලට හිරවුන විද්‍යාඥයින් යැයි කියාගන්නා පෘථඃජන පිරිසකගේ මත සරණ ගිහිල්ලා අපි කාටනම් යහපතක් සැලසේවි ද.....? අපි කවදානම් මේ ලෝකයේ සත්‍ය දකින්නද?



මේ බලන්න බුදුරජාණන් වහන්සේ විද්‍යාවන් කියන්නේ මොනවාද කියලා ලස්සනට පහදලා දෙන ආකාරය. බුද්ධ කාලයෙහි උන්වහන්සේගේ ශ්‍රාවක වූ ඇතැම් රහතන් වහන්සේලා අභිඥා හයක් ලබාගෙන තියෙනවා. එයට 'ෂඩ් අභිඥා' කියලයි කියන්නේ. නුවණ දියුණු කිරීමෙන් පහලකරගන්නා මේ උතුම් විද්‍යාවන්, ලබාගන්නා මේ අසහාය ඥාණයන් අයිති වෙන්නේ ප්‍රඥාවටයි.


1 . ඉද්ධිවිධ ඥාණය -

මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි. බිත්ති, තාප්ප, කඳු, පර්වත වල නොවැදී ඒවා හරහා වුනත් ඉර්ධියෙන් යන්න පුළුවනි. ජලය මත ස්පර්ශ නොවී ඇවිදගෙන යන්න පුළුවනි. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවනි. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවනි. මෙවැනි මහා පුදුම දේවල් කරන්න දක්ෂතාවය ඇතිවෙන ඥාණයටයි ඉද්ධිවිධ ඥාණය කියලා කියන්නේ.


2 . දිබ්බසෝත ඥාණය -

මේ කියන්නේ දිව්‍ය ශ්‍රවනය ඇතිකර ගැනීමයි. මේ ඥාණය ලැබූ කෙනෙකුට මේ ලෝකයේ මිනිසුන්ගේ කතාබහ විතරක් නෙවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතාබහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නැහැ. ඕනම දුරක කතාකරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවනි. මේ විද්‍යාවට කියන්නේ දිබ්බසෝත ඥාණය කියලයි.


3 . පරචිත්තවිජානන ඥාණය -

මේ විද්‍යාව පහල කරගත්ත කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවනි. මේ හිතේ එක එක ස්වභාවයන් ඇතිවෙනවා. සමහර අවස්ථා වල ආසාව ඇති වෙනවා. තව වෙලාවක ආසාව නෑ. සමහරවිට තරහ ඇති වෙනවා. තව වෙලාවක තරහ නෑ. සමහර වෙලාවට හිත ඇකිලෙනවා. වැඩකට යොදවන්න බෑ. එතකොට නිදිමත හැදෙනවා. සමහරවිට සිත විසිරෙනවා. එතකොටත් වැඩකට යොදවන්න අමාරුයි. මෙවැනි නොයෙක් අකාරයෙන් හිතේ ඇතිවෙන වෙනස්කම් මේ විද්‍යාව පහල කරගත්ත කෙනාට එක සැණින්ම දැනගන්න පුළුවනි. මේ ඥාණයේ තියෙන විශේෂත්වය තමා වෙන කෙනෙක් හිතන දේ, කල්පනා කරන දේ, සැලසුම් කරන දේ මේ කෙනාට ඒ මොහොතෙම තේරෙන එක....... අර හිතන, කල්පනා කරන කෙනාට සමාන්තරවම.


4 . පුබ්බේනිවාසානුස්සති ඥාණය -

මේ විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවනි. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද, කවර ආකාරයේ කාම් බීම් කාල තියෙනවාද, කවර අකාරයේ සැප දුක් විඳල තියෙනවාද කියල බලන්න පුළුවනි. යම් කෙනෙක් ගමකට යනවා. ඒ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු හැරිලා කලින් හිටිය ගමටම එනවා. ඇවිදින්කල්පනා කරනවා.... "මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. එතනින් අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැහුනා. අසවල් දේ කෑවා. මේ මේ සැප දුක් වින්දා. එතනින් අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා."...... මේ විදියට බලන්න පුළුවනි. මේක විශේෂිත වූ ඥාණයක්. 'පෙර විසූ කඳ පිළිවෙළ දක්නා නුවණ' කියලයි සිංහලෙන් කියන්නේ. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්න පුළුවනි. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක්...... සමහරුන්ට ලක්ෂ ගණනක් ආපස්සට දකින්න හැකියාව, හපන්කම තියෙනවා මේ පුබ්බේනිවාසානුස්සති කියන විද්‍යා ඥාණය උපදවා ගත්තහම.



5 . චුතූපපාත ඥාණය -

මේ සසර සැරිසරන සත්වයන් චුත වෙන ආකාරය, ඒ වගේම යළි උපදින ආකාරය දකින්න පුළුවනි මේ විද්‍යා ඥාණය ලබපු කෙනෙකුට. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත, කය, වචනය මෙහෙයවා කරන ලද කර්මානුකූලව තමා චුත වෙන්නේ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වෙච්ච විඤ්ඤාණය තමා චුත වෙන්නේ. ඉතින් ඒ විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා. ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. සමහරු බිත්තර ඇතුලේ උපදිනවා. සමහරු මව් කුසක උපදිනවා. කිරි බීල වැඩෙන හුඟක් සත්තු උපදින්නෙ මව් කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ.... ඒ කියන්නෙ තෙත් පරිසරයේ උපදිනවා. තවත් සමහරුන් ඕපපාතිකව. ඒ කිව්වේ කර්මානුරූපව ඉබේ පහල වෙනව. දෙව් ලොව දෙවිවරුන්, අපායෙ නිරි සතුන් වගේම ප්‍රේතයනුත් උපදින්නේ ඕපපාතිකවයි. චුතූපපාත ඥාණය ලැබූ කෙනෙකුට මේ සෑම චුති-උපත් අවස්ථාවක්ම දැකගන්න පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ඒක උපමාවක්න් මේ විදියට වදාරණවා......... ඔන්න කෙනෙක් තරමක් උස කඳු මුදුනකට නගිනවා. නැගලා පහළ ගම දිහා බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. ඉතින් මේ චුතූපපාත ඥාණය ලබාගත්ත කෙනා අර කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. එයා පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව උපදින ආකාරයත්, කර්මානුරූපව චුත වෙන ආකාරයත්.


6 . ආසවක්ඛය ඥාණය -

රහතන් වහන්සේ කියන්නේ මේ උතුම් විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාටයි. මේ ඥාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ වීම තුළිනුයි. ආස්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. මේ ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තියෙනවා. බැලූ බැල්මට පේන්නෙ නෑ. නමුත් මේ ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මඟ සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන බුද්ධ දේශනා වල සඳහන් වෙනවා මේ විදියට.

කාම ආස්‍රව - කාමයන් පිළිබඳ ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ

භව ආස්‍රව - විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ

අවිජ්ජා ආස්‍රව - අනවබෝධය කරාම, ආර්ය සත්‍ය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ

මේ ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම ක්ෂයවී යාම තමා ආසවක්ඛය ඥාණය කියන්නේ. ඒ විද්‍යා ඥාණය ගැනත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා මේ විදියට.... ඔන්න කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුනේ පැන් පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඔන්න දැන් ඇස පෙනෙන කෙනෙක් ඒ කන්ද මුදුනට නගිනවා. අර පොකුණ දිහා බලනවා. ඉතා හොඳින් පෑදී ඇති ජලය තියෙන ඒ පොකුණේ අ ඇති සෑම දෙයක්ම පේනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පේනවා. පීනන මසුන් පේනවා. කැට කැබිලිති පේනවා. සෑම දෙයක්ම පේනවා. ඒ වගේ ආසවක්ඛය ඥාණය ලබාගත් කෙනාට ආස්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය, ඒවායේ හටගැනීම, නැතිවීම වගේම හේතු වන කරුණුත් බොහොම පැහැදිලිව පේනවා. ප්‍රඥාව දියුණු කරන ආකාරයත්, ඒත් එක්කම ආස්‍රවයන් ගෙවිලා, නැතිවෙලා යන ආකාරයත් එයාට පේනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්මයි ආස්‍රවයන් සකස්වෙන හේතුව ප්‍රහාණය වෙන්නේ. ඒ විදියට ආස්‍රවයන් ක්ෂය වී ගියාට පස්සේ එයා ඒ බව නුවණින් දකිනවා. ඒ තමයි ආසවක්ඛය ඥාණය නැමති නිර්මල බුදු දහමක් තුළ පමණක්ම හමුවන උතුම්ම විද්‍යාව.


මේ ඥාණයන් සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් තුලදී ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක්. සිදුවිය නොහැකි දෙයක්. නමුත් යම් කෙනෙක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කලොත්, අන්න ඒ කෙනා පමණක් මේ සුවිශේෂ වූ ඥාණයන් ලබාගැනීමට සමර්ථ වෙනවා. මේ විශිෂ්ඨ වූ ඥාණයන් 'විද්‍යාව' ලෙසිනුයි භාග්‍යවතු වහන්සේ හඳුන්වා දෙන්නේ. එම විද්‍යාව තුළ අතීත ජීවිත දකිනා නුවණ - පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇතුළත් වෙනවා. කර්මානුරූපව සත්වයන් උපදින චුතවන ආකාරය දක්නා නුවණ - චුතූපපාත ඥාණය තියෙනවා. කෙලෙස් ප්‍රහාණය වන ආකාරය දකින්නේ ආසවක්ඛය ඥාණයෙන්. අපි මෙතෙක් වෙලා විද්‍යා ඥාණ හයක් ගැන කතා කළානෙ. ඒකෙන් මේ දැන් මොහොතකට කලින් සඳහන් කල විද්‍යා ඥාණ තුන භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දෙන්නේ 'ත්‍රිවිද්‍යාව' කියල යි. යම් කෙනෙකුට මේ ත්‍රිවිද්‍යාව උපදවා ගත හැකි නම්, ඔහු පරිපූර්ණ අවබෝධයට පත්වූ කෙනෙකු වෙනවා. බුදුසසුනක් තුළ කළයුතු දේ කළ අයෙක් වෙනවා.


දැන් ඔබට පුංචි හරි අදහසක් ඇතිවුනාද විද්‍යාව කියන්නේ මොකක්ද කියලා..... සුළුවෙන් හරි....? එහෙම වුනානම් ඔබ පින්වන්තයෙක්. මොකද මේක ප්‍රඥාවන්තයින්ට පමණක් ගෝචර වෙන උතුම් ධර්මයක්.


අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත 'අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය -02 (අප්පමාද වර්ගය) ඇසුරෙන්.....



Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails