Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Let's Meditate ( part -07)

Tuesday, November 24, 2009 , at 9:41 AM

නිවන් සැපත සලසන අවබෝධයේ මාවත

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අපි අවසන් දවසේ දී කථා කළේ නිබ්බිදා සූත්‍රයේ තිබෙන කාරණා කිහිපයක්. බණ භාවනා දියුණු කර ගන්න කැමැති කෙනෙකු විසින් කල්පනා කළ යුතු කරුණු තමයි, අපි දිගට ම කතා කරමින් සිටින්නේ. ඒ සාකච්ඡාවේ අවසානයට අපි නිබ්බදා සූත්‍රය පිළිබඳ කාරණා කීපයක් කතා කළා.

මම මුලින් ප්‍රකාශ කළා බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන කෙනකු විසින් කළ යුතු කෙබඳු දේ ද කියන එක. අපි විශේෂයෙන් අවධාරණයට ලක් කළේ බණ භාවනා කරන කෙනකු විසින් මූලික වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිබඳ පැහැදීම ඇති කර ගත යුතුයි කියන කාරණය යි.

භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාස කිරීමෙන් ම තමයි අපි නිවන් මඟ ආරම්භ කරන්නෙත්, නිවන් මඟ අවසන් කරන්නෙත්, නිවන් මඟට පැමිණෙන්න පුළුවන් වන්නේ එතැනින් ම යි. එතකොට අපි භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය කුමක් පදනම් කර ගෙනද ගොඩනගා ගන්නේ?.... ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මුල්කරගෙන තමයි, ඒවා අනුසාරයෙන් තමයි, භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිගන්නේ, විශ්වාස කරන්නේ ඒ අවබෝධය අපි දරා ගන්නේ.

එතකොට බුද්ධ දේශනාවක යම් ධර්ම කාරණයක් තියෙනවා නම් ඒ ධර්මය දරා ගැනීමෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්තා වෙනවා. දේශනාවක යමක්ද තියෙන්නේ, යම් ධර්මයක් ද තියෙන්නේ, ඒ ධර්මය ඒ ආකාරයෙන් අපි දරාගත්තොත්, අදහාගත්තොත් අපි අදහගෙන තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය යි. අන්න ඒ විදිහට අපි දේශනාවේ තියෙන කාරණා දරා ගත්තො ත් අදහාගත්තොත්, පිළිගත්තොත්, අන්න එයාට ‘නිසැක බව‘ ඇතිවනවා. එයා තුළ තිබෙන සැකය දුරුවන්න පටන් ගන්නවා. එයා තුළ විශ්වාසය ඇතිවනවා. එයා තුළ නිතැතින් ම ඉවසීමේ ගුණය ඇතිවනවා. එයාට නො ඉවසුම්බව නෑ. එයාට ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා.

ඒ නිසා තමයි අපි ඒ විදියට ආරම්භයේ දී ම ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බලවත් වූ පැහැදීම ඇති කර ගැනීම පිණිස සුදුසු වන්නා වූ දේශනා තෝරා බේරා ගෙන කතා කරන්න කල්පනා කළේ. මොකද දුබල හැකියාවක් සහිත ආධුනිකයන් විදියට කටයුතු කරන අපි, පහසු තැනකින් පහසු විදියට යමක් කරන්න කල්පනා කළ යුතු යි. තමා ගේ හැකියාව පිළිබඳව සැබෑ තක්සේරුවට ආපු කෙනා, පහසු විදියට කටයුතු කරනවා.

‘මුහුදට යෑමේ අවශ්‍යතාව තියෙන ආධුනික කෙනා වෙරළෙන් පටන්ගන්න ඕන. බෝට්ටුවෙන් ගිහින් මුහුද මැදට පනින්නේ නෑ’. එහෙම පනින කෙනාට වැනසීම තමයි අත්කර ගන්න වන්නේ. බෝට්ටුවෙන් මුහුද වටේ ගිහින් ඇවිදලා ආවත් වැඩක් නෑ. එයාට තියෙන්නේ මාන්නයත්, ආඩම්බරයත් පමණක් නම්, ඇත්තෙන්ම මුහුදට බහින්න ඕන කෙනා කළ යුත්තේ වෙරළෙන් බැහැලා රැල්ල පාගාගෙන යන්න පුරුදු වීම යි. එයාට මුහුද ගැන දන්න කෙනෙක් බවට පත් වෙන්න පහසු යි. එතන තමයි ක්‍රමය, එතන තමයි දොරටුව.

ඒ නිසා අපි කල්පනා කළ යුතු යි, පහසු තැනකින් ධර්මයට පිවිසෙන්නට. පහසුවෙන් අපට ධර්මයට පිවිසෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ‘මෙන්න මෙහෙම කළොත් මෙහෙම වනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් එක එල්ලේ කළ ප්‍රකාශ. අන්න ඒ මත පිහිටා ධර්මයෙන් කටයුතු කිරීම. අන්න ඒ වගේ දේශනාවක් ගැන තමයි, අපි එදා කතා කළේ.

ඒ දේශනාවේ තිබුණේ මෙහෙම යි. ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා එකන්ත නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානායත

‘පින්වන්ති, ‘එතකොට අපි ළඟ නැත්තේ මොකක් ද?.... අවබෝධයෙන් කළකිරීම. ඒක අපට නෑ. අන්න ඒ දහම අපි ළඟ තිබුණා නම් අපි නිවන් මගට පිවිසෙනවා ම යි නේ ද? යමක් කෙරෙහි අවබෝධයෙන් කළකිරීමක් ඇතිවුණොත් එයා ඒක පවත්වනව ද? නෑ, ඒක අත්හරිනවා.

ඇත්තට ම අත්හරිනවා නො වෙයි. අත්හැරෙන එක තමයි සිද්ධ වන්නේ. අතහැරෙන්නේ අවබෝධයෙන් කළකිරීම මත යි. මේ අවබෝධයෙන් කළකිරෙනවා කියන එක ලෝකයේ ලෙහෙසියන් කෙනකුට කරගන්න බැරි දෙයක්. ඇයි ඒ...? එතරම් ම ආශ්වාසයෙන් බැඳිලා ගිහිල්ලා තියෙන්නෙ. ආශ්වාදය ටික යි තියෙන්නේ. නමුත් අපිට ඒක ලොකු දෙයක්. කළකිරුනට පස්සේ තමයි තේරෙන්නේ පුංචි දේකට බැඳීලා හිටියේ කියලා.

ඉතින් කළකිරීම කියන එක අපට කෘත්‍රිමව ගොඩනගන්න බෑ. අපිට ඕන විදියට ගොඩ නගන්න බෑ. අවබෝධයෙන් කළකිරෙනවා කියන කාරණාව තමයි බුදු කෙනෙකු විසින් ඉස්මතු කරලා පෙන්වන්නේ. බුදු කෙනකු විසින් ලෝකයට හඳුන්වා දෙන්නේ අන්න ඒකයි. අවබෝධයෙන් කලකිරීම තමයි, සංසාරය කැඩෙන තැන. අවබෝධයෙන් කළකිරීම ඇතිවුණානම්, නිදහස් වනවා ම යි.

ඉතින් අපට තියෙන ගැටලුව තමයි අවබෝධයෙන් කළකිරීම ඇතිකර ගන්නේ කොහොම ද කියන එක? යම් කෙනකු ගේ ජීවිතයේ අවබෝධයෙන් කළකිරීම කියන ධර්මතාව ඇතිවුණොත් එයා නිදහස්වන්න පටන් ගන්නවා. ඇත්තෙන් ම නිදහස් වනවා ම යි. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා අපි අන්න එතෙන්ට එන්න කල්පනා කළ යුතුයි. නමුත් කරන්නං වාලේ කෙරුවට අවබෝධයෙන් කළකිරීම ඇතිවන්නේ නෑ.

දැන් ඔන්න කෙනෙක් භාවනා කරනවා. භාවනා කරලා සමාධිය ඇතිවනවා. සමාධිය ඇති වුණායින් පස්සේ, සමාධිමත් භික්ෂුවට මොකක් ද වන්න ඕන? සමාධිමත් භික්ෂුවට ධර්මයට අනුව නම් කුමක් ද විය යුත්තේ....? යථාභූත ඤාණය ඇති වන්න ඕන. යථාභූත ඤාණය ඇති වූ කෙනාට මොකද වන්නේ....? අන්න එයාට අවබෝධයෙන් කළකිරීම කියන ධර්මතාව ඇතිවනවා.

බොහෝ අය භාවනා කරනවා කියා කියනවා, ධර්මය ඉගෙන ගන්නවා කියා කියනවා. දැන් බලන්න ඒ කවුරුත් ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා ඔය හතර තමයි කරගෙන යන්නේ. ඔය හතර කරගෙන ගියා වුණත් බොහෝ අයට ආඩම්බරය, මාන්නය, තමන් හුවා දක්වන ගතිය, අනුන් හෙළා දක්වන ගතිය ආදිය මතුවනවා නේ ද?..එහෙම නම් අර කාරණා හතර කරනවා කිව්වට ඇත්තෙන්ම ඒ කරුණු හතර නෙමේ කරලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා කියන මේ කාරණා හතර හරියට කළා නම් මොකක්ද වන්නේ? අපි මුලදීම කිව්වා මතක ද මේ කරුණු හතර පුරුදු කරන කෙනාට අරහත්වය දක්වා ම ජීවිතය දියුණු කර ගන්න අවස්ථාව තියෙන බව? අරහත්වය දක්වා ම ජීවිතය දියුණු කර ගන්න නම්, අවබෝධයෙන් කළකිරීම කියන ධර්මතාව, ඒ කෙනා තුළ පිහිටවන්න ඕන, ගොඩනැඟෙන්න ඕන.

එහෙනම් යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය, සාකච්ඡා , සමථ විදර්ශනා කියන කාරණා හරියට පුරුදු කළා නම්, එයාට අවබෝධයෙන් කළකිරීමක් සිද්ධ වන්න ඕනෑ නේ ද?...සිද්ධ වෙන්න ඕන. නමුත් ඇතැම් අයට මොකද අවබෝධයෙන් කළකිරීම කියක ඒක සිද්ධ නො වී ආඩම්බරය මාන්නය එන්නෙ? න්‍යාය වරදින්න පුළුවන් ද?...න්‍යායට වැරදිලා නෙමෙයි. මොකක්ද වැරදුණේ ? හරි දේ කියලා වැරැදි දෙයක් කිරීම. එතනයි වැරදුණේ. ඒකට හේතුව තමයි දේශනාවේ තියෙන කාරණාවට පහදින්නේ නෑ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව නෙමෙයි කරන්නේ. වෙන දෙයක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ කළා නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රතිඵලයත් තියෙන්න ඕන නේ ද? ...ප්‍රතිඵලය තිබිය යුතුයි. එහෙනම් ප්‍රතිඵලය නො එන්නේ ඇයි? ..අදාළ දේ නොකරන නිසා ඒ නිසා තමයි, අර මාන්නය, ආඩම්බරය වගේ පැතිවලට හිත කැරකිලා යන්නේ.

බණ භාවනා කරලා සමාධිය ඇති කර ගන්න අයට මාන්නය, ආඩම්බරය වාගේ දේවල් හට ගන්නවා නම්, තමා හුවා දක්වන අනුන් හෙළා දකින ගතිය එනව නම්, ඒව ඇති වන්නේ එයා හරි දේ කරලා නැති නිසා. හරි දේ කළා නම් ඒක වන්නේ නෑ. දැන් මේ දේශනාවේ තියෙන ධර්ම පහ යම් කෙනෙක් පුරුදු කළොත්, එයාට ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම කියන දේ සිද්ධ වෙනවා. දැන් බලන්න එතනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන හැටි, “ නියත වශයෙන් “ සිද්ධ වෙනවා කියන එකයි කියන්නේ, ඒකාන්ත වශයෙන් සිද්ධ වෙනවා.

ඒක තමා අපි කරගත යුතු දේ. මේ ධර්මතා පුරුදු කළොත් ඒකාන්ත වශයෙන්ම අවබෝධයෙන් කළකිරීම කියන එක සිද්ධ වෙනවා. යම් කෙනෙකුගේ සිත තුළ අවබෝධයෙන් කළකිරීම කියන එක සිද්ධ වුවොත් එයාට විරාගය ඇති වනවා. රාගය දුරුවන්න පටන් ගන්නවා. ඇල්ම දුරු වනවා. ඇල්ම දුරු වුණ කෙනාට, ආශාව නිරුද්ධ වන්න පටන් ගන්නව. බැඳීම් කැඩිලා බිඳිලා යන්න පටන් ගන්නවා. අන්න එයා ගේ සිත සංසිඳෙන්න පටන් ගන්නවා. යම් කලක ඒ විදියට සංසිඳිලා නිශ්චල භාවයට පත්වනවා. ඒකට තමා ‘උපසමාය ‘ කියලා කියන්නේ. අන්න ඒ විදියට යම් දවසක සිත සංසිඳිලා නිශ්චලත්වයට පත් වුණා නම්, එබඳු හිතකින් විශේෂ ඤාණය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. එසේ විශේෂ ඤාණය උපදවා ගැනීම තමයි, ‘අභිඤ්ඤාය’ කියල කියන්නේ. ඒ වගේම ඒ නිශ්චල වු සිතින් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම තමයි’සම්බෝධාය’ කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු කෙනා නිවන සාක්ෂාත් කරනවා. එතකොට අන්න ඒ භාග්‍යය උදා කරගන්න පුළුවන් කමක් තියෙන්නේ, මේ දහම ශ්‍රද්ධාවෙන් අදහගන්න කෙනාටයි.



http://www.lakehouse.lk/budusarana/2009/11/24

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails