උතුම් ගෞතම බුදු සසුනේ සුවඳ විඳින සුපින්වත් මිතුරනේ,
දුර්ලභව ලැබෙන බුදු සසුනක් සමඟ එකට යා වුන සුන්දර වචනයක් තමයි 'ශ්‍රද්ධාව'. මේ අකාලික දහම තුළ 'ශ්‍රද්ධාව' හි විවිධ ස්වරූප අවස්ථානෝචිතව ඉස්මතු වෙනවා. උතුම් බුද්ධ දේශනා තුළින්ම අපට ඒ ගැන අහන්නට, දැනගන්නට ලැබෙනවා. නමුත් පිරිසිදු බුදු සසුනක් තුළ 'ශ්‍රද්ධාව' කියල මූලිකව හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සද්ධර්මය පිළිබඳ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උතුම් පැවිදි දම් පුරන ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ඇතිවුන නොසැලෙන පැහැදීමට. අද අපි 'ගෞතම සංදේශය' තුළින් මේ ශ්‍රද්ධාව හා ශ්‍රද්ධාවන්තයින් ගැන මොහොතක් දොඩමළු වෙන්නයි අදහස් කළේ.
මිතුරනේ, ශ්‍රද්ධාව කියන වචනය පවා හමු වෙන්නේ බුදු සසුනක් තුළම පමණයි. හැබැයි මේ ශ්‍රද්ධාවෙ ප්‍රභේද දෙකක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙනවලා දීලා තියෙනවා. ඒ 'අමූලිකා' හා 'ආකාරවතී' වශයෙන්. (ඔබ දරු සම්පතක් හෙම අපේක්ෂාවෙන් ඉන්නවනම් දැරිවියකට දාන්න ලස්සන නම් දෙකක්). අමූලිකා ශ්‍රද්ධාව තියෙන අය නම් අපට අද ඕන තරම් දකින්නට ලැබෙනවා. දුටු දුටු බෝධියට වඳිනවා. කපුටු බෝ පැලයක්වත් මඟ හරින්නේ නෑ. බුදු පිළිම ඉස්සරහ පෙරලි පෙරලි වඳිනවා. භික්ෂූන් වහන්සේලාට අත දිගඇරලා දන් පැනුත් පූජා කරනවා. බණ අහනකොට ඇස් දෙක බාගෙට පියවිලා ශ්‍රද්ධාව වැඩි කමට. සමහරවිට ගමේ පන්සලේ ප්‍රධාන දායක දායිකාවො. හැබැයි කවුරුහරි භික්ෂූන් වහන්සේලාට බනිනකොට මෙයත් එකතු වෙලා බනිනවා. හැකි තරම් කුහක කම් කරනවා. ඉරිසියාවෙන් පැලෙනවා. දහ අතේ කේළම් කියනවා. ලෝකෙට පෙන්නන්නේ තමන් සත්පුරුෂයෙක් විදියට. ඒත් හිත මහා කුණු ගොඩක්. ධර්ම මාත්‍රයක් පිහිටලා නෑ. පාරට බැස්සහම සුදනා. සත්ගුණවත් මහා ශ්‍රද්ධාවන්තයා...... හැබැයි තිසරණය ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැහැ.... ඒ එක කොටසක්.
ඒ වගේම අපි අතරෙ ඉන්නවා බුදුන්, දහම්, සඟුන් ගැන ඇති වුන පැහැදිලි අවබෝධයෙන්ම තිසරණ සරණ ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මැනවින් ජීවිතයට ගලපාගෙන, ඒ තුළ ජීවත් වන, අප්‍රමාදී ව ධර්ම මාර්ගය ප්‍රගුණ කරන පිරිසක්. ඒ අයගේ ශ්‍රද්ධාව කිසිම විදියකින්, කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. ඒ දුලභ ශ්‍රද්ධාව ඇති වුන සිත් හරිම ආශ්චර්යමත්.
"බුදුවරයකු ලොව පහල වෙන්නේ චතුරාර්ය සත්‍යය කියාදී සසරට වන් සත්වයා ඉන් මුදවාලීම පිනිස විනා අන් කවර කරණක් සඳහා වත් නොවේ." මේ ගැන අප කළින් අවස්ථා වලදී විස්තර වශයෙන් කතා කළානෙ. එහෙම පහළ වෙන බුදු වරයෙක් දේශනා කරන්නේ පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය. කියලා දෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය. එහෙම කියාදෙන බුදුරජාණන් වහන්සේ වරෙක පවසනවා....
"පින්වත් මහණෙනි, හිස ගිනි ගත් කෙනෙක් ඒ ගිනි නිවන්න හදිසි වී වීරියෙන් ක්‍රියා කරන්නේ යම් සේ ද, සසරට වන් සත්වයා ඉන් මිදීම පිණිස ඊටත් වඩා හදිසියෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ වීරිය කළ යුතු වේ."......... කියලා.
ඒ වගේම උන් වහන්සේ තවත් අවස්ථාවක වදාරණවා....."පින්වත් ආනන්ද, මා විසින් දේශනා කරන ලද අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය එක් වචනයකට කැටි කොට ගන්න පුළුවන්. ඒ තමයි 'අප්‍රමාදය' ".........
ඒ වගේම බුදු සසුනක් තුළ උතුම් කොට සලකන, මහත්ඵල මහානිසංස ගෙන දෙන දෙයක් තමයි 'භාවනාව'.... භාග්‍යවතුන් වහන්සේ විටෙක වදාලා යම් කෙනෙක් ඇසුරු සැනක් අනිත්‍ය භාවනාව කරනවා නම් ඒක මහත් ඵලයි මහානිසංසයි කියලා. ඒ වගේම යම් කෙනෙක් හුස්ම ඉහල පහල යන මොහොතක් සිදු කරන මෛත්‍රී භාවනාව මත් ඵලයි මහානිසංසයි කියලා. ඉතින් නිකමට හිතලා බලන්න මේ වගේ මොහොතවල් කීයක් නම් අපි මේ ජීවිතේ පසු කරලා ඇතිද? ඒ අතරින් අවස්ථා කීයකදි අපි මේ බුද්ධ වචනය පිලිපැද්ද ද? ඉතින් ඒ වගේ පුංචි දෙයක්වත් නොකර අපි කොහොමද ඉන් එහා දෙයක් ගැන හිතන්නේ.... කතාකරන්නේ...? මේ බුද්ධ වචනය අදහාගනේ නැතුව, ඒක පිලිපදින්නේ නැතුව අපි යනවා ලොකු වැඩ කරන්න. ලොකු අතු අල්ලන්න. මූලිකව කළ යුතු දේ නොකර අපි යනවා සමාධි උපදවා ගන්න. ධ්‍යාන වඩන්න. පුලුවන් වේවි ද....? කියාපු විදියට ඒ දේවල් නොකර අපි කියනවා මේක දැන් කාලෙ කරන්න පුලුවන් දෙයක් නෙවේ කියලා. එතකොට කොතනටද පහර වදින්නේ.....? ශ්‍රී සද්ධර්මයේ 'අකාලික' ගුණයට. එහෙම නැත්තන් කියනවා ධර්මයේ කොහේ හරි අඩුවක්. නැත්තන් අපි කරන විදියට මේක අවබෝධ වෙන්න ඕනි කියලා. හැබයි බලාගෙන ගියහම කරල තියෙන්නෙ වෙන දෙයක්. අන්තිමට පහර වදින්නේ 'ස්වාක්ඛාත' කියන ශ්‍රී සද්ධර්මයේ උතුම් ගුණයට. බලන්න මේ ශ්‍රද්ධාවන්තයො කියාගන්න අපි විසින්ම ඒ ශාස්තෲ ශාසනයට කරන හානිය සුළුපටුද කියලා. කියන දේවල් ඒ විදියට නොකර කියනවා මේ මාර්ගය වඩන්න හරි අපහසුයි..... කරදරයි කියලා. ශාස්තෲන්වහන්සේ කියලා දීපු දේවල් අනුගමනය නොකර බහුබූත කරන්න ගිහිල්ලා පාර වරද්දා ගත්තම ඉතින් අපහසුයි තමා. තව කෙනෙක් කියනවා වෙලාව නැහැ කියලා. මොන බොරු කථාවක්ද?...... ඒකත් අර අර බත් කන්න බෑ කියපු අන්දරේ කිරි කෑව වගේ තමයි.
අපි මුලින්ම තේරුම් කරගත්තනෙ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලත්, ඒ අසිරිමත් බුදුවරු ලොව පහලවෙන්නේ එකම හේතුවක් නිසාත් කියලාත්.... ඉතින් අපි සරණ ගියේ එවැනි ශාස්තෲන් වහන්සේ නමක්. දුකට වැටුනු සත්වයා සසරින් එතෙරෙ කරවන උතුම් වූ ධර්මයක්. ඒ උතුම් මඟ වැඩි ආර්ය වූ මහා සංඝරත්නයක්. චතුරාර්ය සත්‍යය කියලා දීල, අප්‍රමාද වීමේ ගුණ පෙන්වලා දීලා, සසරේ හැටි පෙන්වලා දීලා, ඒ භයංකර, අනියත සසරෙන් එතෙර වෙන හැටි කියලා දුන්න ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන කෙරෙහි අපි තුළ තියෙන ශ්‍රද්ධාව අපිම මැන ගනිමු. ඒ බුද්ධ වචනය අපි කොයි තරම් දුරට පිළිඅරගෙන ඒ අනුව කටයුතු කරල තියෙනවද කියල තියෙනවද කියලා මොහොතක් හිතලා බලමු. අසූහාරදහසක් වූ ධර්මස්කන්ධයම 'අප්‍රමාදය' තුලට කැටි කොට වදාළ ඒ උත්තමයානන් වහන්සේට නිගා නොකොට.
-අප්පමාදේන සම්පාදේථ-
‘ගෞතම සංදේශය’
- මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....
අනිත්ය භාවනාව කරන හෑටි (අනිත්ය අදහස සමග) දීර්ගව විස්තර කිරීම මෑනවි.