Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී...!!!

Monday, April 18, 2011 , at 12:37 PM



"අරලියා...., ඔබ සුන්දර යි, ඔබ පැහැපත්, ඒ වගේ ම සුවඳ යි! නමුත් ඔබ වෙත බඹරුන් වසන්නේ නෑ.."

හින්දි දේව කථා සාහිත්‍යයේ ඔය අදහස කැටිවුණු එක්තරා පාටයක් තිබෙනවා. හරියට ම කියනවා නම් මෙහෙම යි. "चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास  ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास ....චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ඕර් බාස් - අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්....--“අරලියා, නුඹ තුළ ගුණ තුනක් තිබේ, නුඹ වර්ණවත් ය, සුන්දර ය, සුවඳවත් ය.. එක් නුගුණක් ද නුඹ තුළ  වේ... නුඹ වෙත බඹරුන් නො පැමිණෙයි.."

දේවකථා සාහිත්‍යයේ අරලියා මල වෙත බඹරුන් නො පැමිණීම අඩුවක් හැටියට දක්වල තිබුණත්, මට නම් හිතුනේ ඒක සුවිශේෂී ගුණයක් කියල යි. අරලියා මලේ තිබෙන්නේ දැහැමි විරාගී සුවඳක්. 'ඒ නිසා ම යි ඒ වෙත බඹරුන් නො එන්නේ...' කියල මට හිතුනා..


දැහැමි විරාගී සුවඳක් හමන, බඹරුන් නො වසන, අරලියා මලක් වගේ ජීවිතයක් ඇති කර ගන්න අපිටත් බැරි ද..? ඇත්තෙන් ම පුලුවන්. හැබැයි ලොකු උත්සාහයක් දරන්න වෙනවා.

බුදු සමිඳුන් ගේ ධර්ම විනය තුළ කෙනෙක් වර්ණවත් වෙනවා කියන්නේ කුමකට ද..?

යම් කිසි කෙනෙක්, තමන් සමාදන් වුණු සිල්පද ඉතා හොඳින් ආරක්ෂා කරගෙන සිටිනවා නම්, කුඩා වරදේ පවා බිය දකිමින් කය වචනය සංවර කර ගන්නට උත්සාහ කරනවා නම් ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනය තුළ වර්ණවත් කෙනෙක්... ඒ විතරක් නෙවෙයි, ඒ විදියට සිල්වත් වෙන කෙනා ගේ ජීවිතේ සුවඳ වෙන්න පටන් ගන්නවා. දෙව්ලොවට පවා හමා යන සීල සුගන්ධයෙන් තමයි ඒ ජීවිතය සුවඳ ‍වෙන්නේ.. ඒ වගේ ම යම් කෙනෙකු ගෙන් ගැඹුරු දහම් කරුණු පිළිබඳ ව ගැටලු විමසන විට, ඒවාට නො පැකිල ව හොඳින් පිළිතුරු දෙන්නට හැකියාව තිබෙනවා නම් ඒ කෙනත් මේ ධර්ම විනය තුළ වර්ණවත් කෙනෙක්..

 ඊ ළඟට කෙනෙකුට තමන් ගේ ජීවිතය සමාධියෙන් ප්‍රඥාවෙන් සහ අනෙකුත් සියලු ගුණ ධර්මවලින් සුන්දර කර ගන්නට පුලුවන්. ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්නට වෙනවා. නමුත් කරන්නට බැරි දෙයක් නොවෙයි. එතකොට එයා වර්ණවත් සුන්දර මලක් වගේ වෙනවා..

සිලය ආරක්ෂා කර ගැනීම තුළින් හමා යන සිල් සුවඳ දෙව් ලොවට පවා පැතිරෙන බව අපි කිව්වා.. දුස්සීල භාවය දුර්ගන්ධයක් වනවා වගේ ම තවත් දුගඳ හමන දේවල් මිනිසුන් ගේ ජීවිත තුළ තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ, යම් කෙනෙක් තරහ ගන්නවා නම්, ඒක එයා ගෙ ජිවිතයෙන් හමා යන මස් ගඳ වගේ කියල යි. ඉතින් කෙනෙකුට පුලුවනි නම්, නිතර තරහ ගන්න එක දුරු කරලා, ව්‍යාපාදය බැහැර කරල, මෛත්‍රිය පුරුදු කරන්නට, එතකොට එයා ගෙ ජීවිතෙන් හමා ගිය මස් ගඳ දුරු වෙලා යනවා. ඒ වෙනුවට මුලු ලෝක සත්වයා වෙත ම මෛත්‍රී සුවඳ පැතිරිලා යනවා. ඒ සුවඳ තමන්ට විතරක් නොවෙයි, අන් අයටත් එකසේ විඳගන්න පුලුවනි...

කෙනෙකු ගේ ජීවිතය කරා ඇදෙන බඹරුන් කියන්නේ කවුද..?

ගඳ ගහන ජීවිතේකට නම් ඇදෙන්නෙ මැස්සො..එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා, යම් කෙනෙක් තමන් ගේ ජීවිතය දැඩි ලෝභයෙන් ඉඳුල් කරගෙන, ව්‍යාපාදය කියන මස් ගඳ වගුරුවන්න පටන් ගත්තා ම, එයා ගෙ ජීවිතයට පාපී අකුසල විතර්ක කියන මැස්සො වහන්න පටන් ගන්නවා කියල.

ඉතින් එතකොට යම් කෙනෙක් නිරන්තරයෙන්, රාගික ව කටයුතු කරනවා නම්, අකුසල් බරිතව හැසිරෙනවා නම්, එයාගෙ ජීවිතයට ඇදෙන්නේ කෙලෙස් බඹරුන්.. කෙලෙස් මැස්සන්.. ඇත්තෙන් ම ඒ ජීවිතේ පිළිකුල් සහගත යි..

අපිට පුලුවන් නම්, කාම විතර්ක ආදී පාපී අකුසල විතර්කයන් බැහැර කරල, විරාගී සිතුවිළි ඇති කරගෙන වාසය කරන්න.. අපිට පුලුවන් නම්, ලෝකයේ ඉන්න හැමෝම අපේ ම අක්කල අය්යල, නංගිල මල්ලිල හැටියට දකින්න.. අපිට පුලුවනි නම් ඒ අය දිහා රාගයෙන්, ද්වේශයෙන් බලනවා වෙනුවට, මෛත්‍රියෙන් කරුණාවෙන් බලන්න, එතකොට අපේ ජීවිතේට රාග බඹරුන් වහන්නෙත් නැහැ. කෙලෙස් මැස්සන් වහන්නෙත් නෑ.. අපේ මුලු ජීවිතේ ම විරාගී දැහැමි සුවඳ හමාගෙන යන අරලියා මලක් වගේ වෙනවා..


ඉතින්, උතුම් වෛශාක්‍ය මංගල්‍යය සැමරෙන මේ වසන්ත සමයේ, ඔබත් විරාගී-දැහැමි සුවඳ හමායන අරලියා මලක් වන්නට කැමති යි ද..? එවිට වෙසක් පුන්සඳ පායා එන ඒ සොඳුරු දිනයේ දී, විරාගී විජිතයේ දහම් රජු වූ බුදු සමිඳාණන් ගේ සිරි පා අබියස, දැහැමි අරලියා මලක් ලෙස පූජා වන්නට ඔබටත් හැකි වේවි..!!!

මෙත් සිල් සුවඳ විහිදෙන
කෙලෙස් බඹරුන් නොවසන
අරලියා මලක් වනු මැන
මුනිඳු අභියස පුදදෙන..!!!

තෙරුවන් සරණයි..!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails