ඔබට මෙය වටිනවා ද..?
Saturday, April 16, 2011
, at 1:13 PM
ඔබට මේ ලෝකෙ තිබෙන වටින ම දේ මොකක් ද..? එහෙමත් නැත්නම් ඔබට සිටින වටින ම කෙනා කවුද..? කියල ඇහුවොත් නොයෙක් උත්තර ලැබේවි..ඇත්තට ම මේ ලෝකය අපි සත්‍යයක් විදියට ගන්න නිසා ම අපිට මේ ලෝකෙ නොයෙකුත් වටිනා දේවල් තිබෙන බව ඇත්ත යි..
වෙනත් විදියකින් කියනවා නම් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් අපි යථාර්තයක් විදියට ගන්නවා. ඒ නිසා ම අපිට මේ ලෝකයේ තිබෙන දේවල් හරි ම වටිනවා. අත් හැර දාන්න බැරි තරම් වටිනවා.
අපි යමකට දෙන වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ දේට තිබෙන අපේ කැමැත්ත වැඩි වෙනවා. වැඩියෙන් ම වටිනා දේවල්, අපි ගොඩක් ආදරයෙන් ආරක්ෂා කරගන්නවා. ඒ දේවල් ගැන වැඩියෙන් හිතනවා. සිහින මවනවා. ඒ දේවල් ගැන අනුන් එකක් කථා බහ කර කර ඉන්නවා.
බඩු බාහිරාදිය, යාලු මිත්‍රයින්, ගෙවල් දොරවල් වගේ භෞතික ලෝකයේ දේවල් සම්බන්ධයෙන් අපි වටිනාකම් දෙන්නෙත් හිතින්. ඒ වගේ ම තමයි මානසික අරමුණුවලටත් අපි වටිනාකම් දෙනවා. සංකල්පවලට, ආදරයට, ඒ විතරක් නොවෙයි වෛරයට පවා අපි ගොඩක් වටිනාකම් දෙනවා. ඒ නිසා ම ඒ දේවල් අපේ හිතේ බොහෝ කල් තැන්පත් වෙලා තියෙනවා. ඒ දේවල් අපි බොහොම කැමැත්තෙන් ආරක්ෂා කර ගන්නවා.
මානසික ව අපි යමකට වටිනාකමක් දෙන්න භාවිතා කරන ක්‍රම කිහිපයක් තිබෙනවා.. අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ඇල්මක් ඇති කර ගත්තොත්, එහෙම වෙන්නේ ඒ දේට අපි වටිනාකමක් වැදගත් කමක් දුන්න නිස යි. ඒ වගේ ම අපි යම් කිසි දෙයකට ගැටුනොත්, ඒ ගැටීම ඇති වෙන්නෙත්, අපි ඒ දේට යම් වටිනාකමක් වැදගත් කමක් දෙන නිස යි. යමකට අපි භය වුණොත්, එහෙමත් නැත්නම් යමක් ගැන අපි රැවටීමට පත් වුණොත්, ඒ දේ වෙන්නෙත් අපි වටිනාකමක් වැදගත් කමක් දුන්න නිස යි.
ඔබ පාරෙ යනකොට ඕන තරම් ගහ කොල, තණකොළ රොඩු වගේ දේවල් දැකල ඇති. නමුත් ඒ එක දෙයක් ගැන වත් ඔබ ඕනවට වැඩිය හිතල තියෙනව ද..? ඒ දේවල් ඔබට කරදරයක් වෙලා තියෙනව ද.? නැවත නැවත මතක් වෙලා තියෙනව ද..? හොදට හිතල බලන්න. එහෙම වෙලා නැහැ. ඒකට හේතුව තමයි ඒ දේවල් අපිට වටින්නෙ නැති වීම. ඒ නිසා ම අපි ඒ දේවල් ගණන් ගන්නෙ නැහැ.
නමුත් ඔබ පාරෙ යනකොට, යම් ලස්සන දේකට ඇලුනොත් හරි, යම් අප්‍රිය දේකට ගැටණොත් හරි, යම් දේකට මුලා වෙලා භය වුණොත් හරි, ඒ දේ ඔබට නැවත නැවත මතක් වෙනවා. ඒ දේ ගැන සිහි වෙනවා. ඒක හිතට කරදරයක් වෙනවා. එහෙම වෙන්නේ, ඒ දේට අපි වටිනාකමක් දුන්න නිස යි. ඒ දේ අපි ගණන් ගත්ත නිස යි.
ඉතින් ඔබට තේරුනා ද අපි ලෝකයට වටිනාකම් දෙන්නේ, රාග ද්වේශ මෝහවලින්. යම් විදියකින් අපි මේ ලෝකයට වටිනාකම් දෙන එක නවත්වා දමන්න උත්සාහ කළොත් අපි තුළින් රාග ද්වේශ මෝහ දුරු වෙන්ට පටන් ගන්නවා. මේ ලෝකයේ සෑම දෙයක් ම තණකොළ රොඩු වගේ, නොවටිනා දේවල් හැටියට අපිට නුවණින් සළකන්නට පුලුවන් නම් එදාට අපි සෑම දුකකින් ම සෑම පීඩාවකින් ම සෑම බියකින් ම නිදහස් වෙනවා..
අධිමුත්ත මහරහතන් වහන්සේ මෙහෙම වදාළා..
‘‘තිණකට්‌ඨසමං ලෝකං, යදා පඤ්‌ඤාය පස්‌සති;
මමත්‌තං සෝ අසංවින්‌දං, ‘නත්‌ථි මේ’ති න සෝචති.
යම් දිනක ලෝකය තණකොළ රොඩුවලට සමකොට ප්‍රඥාවෙන් දකියි නම්, ඔහු මමත්වයක් නො ලබන්නේ, ‘මට (මෙය) නැතැ‘ යි ශෝක නො කරන්නේ ය.
ඉතින් බලන්න, අපි ලෝකයට වටිනාකම් දෙන නිසා තමයි, “මේ දේ මට නැහැ, මේ දේ මට නැහැ“ කිය කියා ශෝක කරන්නේ. අපිට ලෝකයට වටිනාකම් දෙන එක නතර කරන්නට පුලුවන් නම්, ලෝකය තණකොළ රොඩු වගේ ගණන් නො ගෙන ඉන්නට පුලුවන් නම්, අපි හැමදාම සතුටින්. අපිට යමක් ලැබුණත් එක යි. නො ලැබුණත් එක යි. ඒ සෑම දෙයක් ම තණකොළ රොඩු වගේ..
ලෝකය දිහා ඒ විදියට බලන එක ඉතා ම අසීරු දෙයක් වෙන්න පුලුවන්. ඇයි ඒ.. ? අපි ඒ තරම් ම මේ ලෝකයට වටිනාකම් දෙනවා. ලස්සන කාර් එකක්, ලස්සන කාන්තාවක් පිරිමියෙක් දිහා තණකොළ රොඩු දිහා බලනවා වගේ වටිනාකමක් නැති විදියට බලන්නෙ කොහොම ද..? ඔබ අසාවි.. නමුත් ඒ විදියට නො බලන තාක් කල් අපිට මේ සසරේ දුක් විදින්නට සිදු වෙනවා..
සමහර විට ඔබට හිතේවි ඒ වගේ දේවල් දිහා වටිනාකමක් නැති දෙයක් විදියට බලන එක වැරදි යි නේ..ඒව ඇත්තට ම වටිනවා නේ කියලා.. ඒක තමයි අපේ අවිද්‍යාව.. අපි මේ ලෝකයේ තිබෙන දේවල් සත්‍ය ලෙස ගන්නා නිසයි, අපිට ඒවා වටිනා දේවල් ලෙස පෙනෙන්නේ. නමුත් මේ ලෝකය සත්‍යවශයෙන් ම මහා බොරුවක්.. එහි වටිනා කියන කිසිම දෙයක් ඇත්තේ නැහැ.
තව දෙයක්, බලන්න අපිට ලෝකය නොවටිනා එකක් ලෙස කල්පනා කිරීම කෙතරම් දුෂ්කර වුණත්, රහතන් වහන්සේලා ඒ සියල්ල දිහා තණකොළ රොඩු දිහා බලනවා වගේ බැලුවා. උන්වහන්සේලා ගේ දැක්ම සහ සාමාන්‍ය ලෝකයා ගේ දැක්ම කෙතරම් පුදුම සහගත ලෙස පරස්පරයි ද..? අපි අත් හැර ගන්න බැරිව දුක වන විට, උන් වහන්සේලා සියල්ල අත්හැර සතුටු වුණේ, ඒ විශ්මිත දැක්ම නිස යි...
ඉතින් ඒ උතුමන් වහන්සේලා අනුව යමින්, ලෝකය වටිනාකමින් ශූන්‍ය හිස් දෙයක් ලෙස දකින්නට අපට වාසනාව ලැබේවා..!!!
sadhu sadhu sadhu!!
sadu....sadu.....sadu.......!!!!!!!!!!!!! uthum dharmayama pihita karaganna. uthum dharmayama apata ekama pilisaranaya. rekawaranaya. e uthum mihiri vu parama sathyavu uthum paramagambeera dharmayata mage namaskaraya wewa!
බොහොම වටිනා ලිපියක්....අනන්ත පිං සිදු වේවා..උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිනිස හේතු වේවා....සාදු සාදු