භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 2 ෴ දුතිය බෝධි සූත්‍රය
Friday, November 19, 2010
, at 1:22 PM
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!
දුතිය බෝධි සූත්‍රය (දෙවැනි බෝධි සූත්‍රය)
මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී පළමුවෙන් ම උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි බෝධි වෘක්ෂ මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිට රාත්‍රියේ මධ්‍යම යාමයේ පටිච්චසමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කළ සේක.
“මෙසේ මෙය නැති කල්හි මෙය නොවෙයි, මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි, එනම් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරුද්ධ වෙයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාම රූප නිරෝධයෙන් සළායතන නිරුද්ධ වෙයි. සළායතන නිරෝධයෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරුද්ධ වෙයි. වේදනා නිරෝධයෙන් තණ්හා නිරුද්ධ වෙයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරුද්ධ වෙයි. භව නිරෝධයෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරෝධයෙන් ජරා මරණ ශොක් වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙයි. මෙසේ මේ මුලු මහත් දුක්ඛස්කන්ධයේ නිරෝධය වෙයි“ යනුවෙනි.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.
යදා හවේ පාතුභවන්ති ධම්මා
ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස,
අථස්ස කංඛා වපයන්ති සබ්බා
යතෝ ඛයං පච්චයානං අවේදී...
තේරුම »»»
කෙලෙස් තවන වීරිය ඇති, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් කලෙක ඒකාන්තයෙන් බෝධිපාක්ෂික ධර්මයන් පහළ වෙයි ද, යම් හෙයකින් ප්‍රත්‍යයන් ගේ නිරෝධය නුවණින් දැන ගන්නා නිසා, එකල්හි ඔහු ගේ සියලු සැක දුරු වේ.
භාවය »»»
යදා - යම් කලෙක,
හවේ - ඒකාන්තයෙන්,
ආතාපිනෝ- කෙලෙස් තවන වීරිය ඇති,
ඣායතෝ - ධ්‍යාන වඩන,
බ්‍රාහ්මණස්ස - බ්‍රාහ්මණයාට (පව් බැහැර ලූ අර්ථයෙන්
බ්‍රාහ්මණ වෙයි),
ධම්මා - ධර්මයෝ,
පාතුභවන්ති - පහළ වෙත් ද,
අථ - එකල්හි,
අස්ස- ඔහුගේ,
සබ්බා - සියලු,
කංඛා - සැකයෝ,
වපයන්ති - දුරුවෙත්,
යතෝ- යම් හෙයකින්,
පච්චයානං - හේතූන් ගේ, ප්‍රත්‍යයන් ගේ,
ඛයං- ක්ෂය වීම, ගෙවී යෑම,
අවේදි ඉති- නුවණින් දැන ගන්නේ ද එහෙයිනි යි.
සරළ අර්ථය »»»
කෙලෙසුන් දුරු කරන වීර්යයෙන් යුතු, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් අවස්ථාවක ඒකාන්තයෙන්ම බෝධි පාක්ෂික ධර්මයන් පහළ වෙයි ද, එකල්හි ඔහු ගේ සියලු සැක සංකා දුරු වේ. එයට හේතු වන්නේ, දුකට හේතුවන කාරණාවන් ගේ (ප්‍රත්‍යයන් ගේ) ක්ෂය වී යෑම ඔහු මනා නුවණින් දැන ගන්නා නිසා ය.
සාදු! සාදු!! සාදු!!!
Currently have 0 comments: