Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 1 ෴ පඨම බෝධි සූත්‍රය

Thursday, November 18, 2010 , at 12:42 PM


♦ මහාකාරුණිකං නාථං, ඤෙය්‍යසාගරපාරගුං;
වන්‌දේ නිපුණගම්‌භීර-විචිත්‍රනයදේසනං.


දතයුතු සියලු ධර්ම නැමති සාගරයෙහි පරතෙරට පැමිණි, විචිත්‍ර වූ දේශනා ක්‍රම සහ සියුම් ගැඹුරු නුවණ ඇති, සියලු සතුන්ට පිහිටවන මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි.

♦ විජ්‌ජාචරණසම්‌පන්‌නා, යේන නීයන්‌ති ලෝකතෝ;
වන්‌දේ තමුත්‌තමං ධම්‌මං, සම්‌මාසම්‌බුද්‌ධපූජිතං.


විජ්ජාචරණ සම්පන්න වූ ලෝකනාථයන් වහන්සේලා විසින්, යම් ධර්මයකින් සත්වයාව සංසාරය නැමති ලෝකයෙන් නිවන වෙන පමුණුවයි ද, සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් පුදන ලද ඒ උතුම් ධර්මයට නමස්කාර කරමි.

♦ සීලාදිගුණසම්‌පන්‌නෝ, ඨිතෝ මග්‌ගඵලේසු යෝ;
වන්‌දේ අරියසඞ්‌ඝං තං, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං.


සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ මාර්ගඵල සම්පත් ලැබූ යම් සංඝ රත්නයක් වේ නම් අතිශයින් ම උතුම් පින් කෙත වූ ඒ ආර්ය සංඝරත්නය නමස්කාර කරමි.

ත්‍රෛලෝකනාථ මහාමුනීද්‍රයාණන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දේශනා කරන්නට යෙදුණු ඉමිහිරි ශ්‍රී සද්ධර්මය කොටස් නවයකට බෙදේ. ඒම කොටස් නවය පහත පරිදි දැක්විය හැකි ය.

සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල.

නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෙස හැඳින්වෙන්නේ මේ උතුම් ධර්මය යි.

මේ අතරින් උදාන යනු අතිශයින් විශ්මිත දහම් කොට්ඨාශයකි. තථාගතයන් වහන්සේ ගේ නික්ලේෂි හදමඬළින් නිරායාසයෙන් ම පැණනැගී ගලා ගිය ප්‍රීතිවාක්‍ය උදාන නම් වේ. යම් යම් සිදුවීම් මුල් කොටගෙන තථාගතයන් වහන්සේට ඇතිවූ නිරාමිස ප්‍රීතියත්, දහම් සංවේගයත් මෙම ගම්භීර උදානයන්ගේ ඇතුළත් වේ. ඇතැම් උදාන, ගාථා වශයෙන් ද ඇතැම් උදාන, දහම් ඛණ්ඩ වශයෙන් ද සදහන්ව තිබෙන අතර, ඒ සියල්ල ම පාහේ සද්ධර්මයෙහි පරම සාරය ස්පර්ශ කරන සුලු ය. ප්‍රමාණයෙන් කුඩා නමුත් මුලු මහත් ධර්මය ම කැටි කොට ගනිමින් තථාගතයන් වහන්සේ ගේ නිකෙළෙස් හදමඩලේ ගැඹුරුම තැනින් ජනිත වූ මේ විශ්මිත ධර්මයන් එකින් එක මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

පඨම බෝධි සූත්‍රය (පළමුවැනි බෝධි සූත්‍රය)

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී පළමුවෙන් ම උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි බෝධි වෘක්ෂ මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිට රාත්‍රියේ පළමු යාමයේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කළ සේක.

“මෙය ඇති කල්හි මෙය වෙයි, මෙය ඉපදීමෙන් මෙය උපදියි, එනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වෙයි. සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශොක් වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් හටගනියි. මෙසේ මේ මුලු මහත් දුක්ඛස්කන්ධයේ හටගැනීම වෙයි“ යනුවෙනි.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.


යදා හවේ පාතුභවන්ති ධම්මා
ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස,
අථස්ස කංඛා වපයන්ති සබ්බා
යතෝ පජානාති සහේතුධම්මන්ති.

තේරුම »»»
කෙලෙස් තවන වීරිය ඇති, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් කලෙක ඒකාන්තයෙන් බෝධිපාක්ෂික ධර්මයන් පහළ වෙයි ද, යම් හෙයකින් හේතු සහිත වූ ධර්මය දැන ගන්නා හෙයින්, එකල්හි ඔහු ගේ සියලු සැක දුරු වේ.


භාවය »»»
යදා - යම් කලෙක,
හවේ - ඒකාන්තයෙන්,
ආතාපිනෝ- කෙලෙස් තවන වීරිය ඇති,
ඣායතෝ - ධ්‍යාන වඩන,
බ්‍රාහ්මණස්ස - බ්‍රාහ්මණයාට (පව් බැහැර ලූ අර්ථයෙන් 
බ්‍රාහ්මණ වෙයි),
ධම්මා - ධර්මයෝ,
පාතුභවන්ති - පහළවෙත් ද,
අථ - එකල්හි,
අස්ස- ඔහුගේ,
සබ්බා - සියලු,
කංඛා - සැකයෝ,
වපයන්ති - දුරුවෙත්,
යතෝ- යම් හෙයකින්,
සහේතුධම්මං - හේතු සහිත ධර්මයන්,
පජානාති ඉති- දැනගන්නේ ද එහෙයිනි යි. 

සරළ අර්ථය »»»
කෙලෙසුන් දුරු කරන වීර්යයෙන් යුතු, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් අවස්ථාවක ඒකාන්තයෙන්ම බෝධි පාක්ෂික ධර්මයන් පහළ වෙයි ද, එකල්හි ඔහු ගේ සියලු සැක සංකා දුරු වේ. එයට හේතු වන්නේ, හේතුන් නිසා හට ගන්නා දුක නම් වූ ධර්මය ඔහු දැනගන්නා නිසා ය.

සාදු! සාදු!! සාදු!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails