Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

වැස්සක්…. වැස්සක්.... වැස්සක්....

Friday, August 20, 2010 , at 8:22 PM

මේ දවස් වල හැමතැනම කතාව වැස්ස ගැනම යි. කඩමණ්ඩියෙත්, ගෙදර දොරෙත්, සෙල්ලම් පිටියෙත්, නාන තොටෙත්, පන්ති කාමරෙත්, පුංචි නංගිලා මල්ලිලා අතරත්, අහුමුලු වලත් හැමතැනම කතාවෙනව මහ වැස්සක් ගැන. මතකයෙ හැටියට මෑතකදි නම් වැස්සක් ගැන මුළු රටම මේ තරම් කතා වුනේ මැයි 8-9 දවස් වලදි 'බුදු රැස් විහිදෙන සෝමාවතිය' මුල් කරගෙන. එදා සෝමාවතිය පින් බිම හරහා වසින්නට වුනු සොඳුරු වරුසාව නම් කවමදාවත් අපේ මතකයෙන් ගිලිහී නොයාවි. තුන් ලොවක් සනසාලන්නට යෙදුනු මහ වරුසාවක අසිරිය තවමත් හදවතට සිසිලස සදනවා නේද..?

එත් මොකක්ද මේ අළුත් කසු කුසුව….? හැමතැනම වැස්ස…. වැස්ස…. වැස්ස.... පරිසරයේ හදිසි වෙනස්වීමක්වත් ද..? ගංඟා දෙගොඩ තලා ගිහින් සතා සිව්පාවන් අතරමන් කරමින් උන් හිටි තැන් අහිමි කරන මහා විප​ත්තියක් ගැනද මේ කතාව..? එහෙම විපත්ති කිය කියා කලින් දැනුවත් කරල අපි ගාවට එන්නෙ නැහැ නොවැ. ඉතින් එහෙම මහ විනාස කාරී වැස්සක් නම් වෙන්න බැහැ. හැබෑවටම මොකද්ද අප්පච්චියේ මේ....?

විටක සොඳුරු වැස්සක් කියලත් කියන්නෙ ඔය. වැස්සෙ සුන්දරත්වය හරියටම දන්නෙ නම් ලොව පහල වුනු එකම එක උත්තමයයි. උන්වහන්සේ, මේ ලොවේ තතු දැන ගැනීමේ හැකියාව නම් පුංචි අපිට කොහොම තේරෙන්නද? මම මේ කතා කලේ අපි සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගැන. ලොවට වහින වැසි අතර සොඳුරුතම වැස්ස ඇද හැලෙන්න පටන් ගත්තේනම් මීට බොහෝ කාලයක්ට ඉහතදී. ඒ සම්මා සම්බුදු මුව මඬලින් ගලා ආ දැවෙන හදවත් සුවපත් කරනා අමා දහම් වරුසාවමයි. පේන හැටියට නම් එදා සම්බුදු හද මඬලින් ඇදහැලුනු දහම් වරුසාවෙන් දහම් රසය ගෙන යලිත් වසින දහම් වැස්සක්ම වෙන්නට ඇති එකත් එකටම….

පොඩි ළිහිණි පැටව් රඟ දෙනවලු….
වැස්ස වහින්න ළං වුනාමනෙ ලිහිණින් පියඹා යන්නෙ. කවදාවත් වැස්සක් දැකල නැතිව හිටපු ලිහිණි පැටව් ටිකක් වෙන්න ඇති මේ නම්. ජීවිත කාලෙටම ලබන පළවෙනි අත්දැකීම නිසාම වෙන්න ඇති මේ තරම් සතුටින් ඉපිල ගිහින් ඇත්තේ.

පණ යදිමින් සිටි ගස්වැල් සිනාසෙනවලු….
දිය පොදක් නැතිව නියඟයකට අහුවෙලා හිටපු ගස් වැල් වෙන්න ඇති වැස්ස දැක්කම හිනාවෙන්නෙ. අපිත් ඉතින් ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, මෛත්‍රිය ගිලිහුනු වියැලී ගිය සිත් ඇති සමාජයක, අවාසනාවන්ත පුරුක් විදියටනෙ අද ජීවිතය ගෙවන්නෙ. මේ නියඟයට සමුදෙන්න යළිත් මේ වහින්න හදන්නෙනම් සෙනෙහසේ දයාබර සදහම් වරුසාවක්ම වෙන්න ඕන.

දිය සොයා ගොස් මිරිඟුවට රැවටුන මුව පොව්වන් මේං දිය කෙලිනවලු....
හරි හරි. පිපාසිතව හුන් මුව පොව්වන්ට පැන් පොදක් ලැබුනම උන් කොතරම් පිනා ගිහින්ද.. අනේ ඉතින් අපේ පිපාසිත හදවත් සුවපත් කරන්න මේ වරුසාව දැන් දැන්ම වහිනවනම් කොයි තරම් අගෙයිද.

වරෙල්ල වරෙල්ලා….
වැස්සෙ තෙමුනොත් නම් අපිට එක එක ලෙඩ හැදේවි. අම්මගෙන් කෝටු පාර කන්නත් වේවි. එත්.. හදවත් සුවපත් කරන්න වහින මේ සොඳුරු වරුසාවෙ තෙමුනට නම් කවුරුවත්ම දොස් කියන එකක් නැහැ. අම්මලගෙන් කොටු පාරක් කනව වෙනුවට අම්මල තාත්තලාට, දුවල පුතාලට, ආච්චිල සීයලටත් අපි හැමෝටම එකතු වෙල තෙමෙන්න පුලුවන් වේවි මේ මහ වරුසාවෙ නම්…. අසනීපයක් හැදෙනවා වෙනුවට අපි හැමගේම සංසාර රෝගය සදහටම සුවපත් කරාවි මේ සොඳුරු වැස්ස නම්…. ඉතින් තවත් බලා නොඉඳ අපිත් තෙමෙමු මේ මහ වැස්සේ…. දැවෙන හදවත් සුවපත් කරනා මේ සොඳුරු වැස්ස චිරාත් කාලයක් අහිංසක මුව පොව්වන් පිපාසයට පත් නොකරනා සොඳුරුතම වැස්ස වී තුන් ලොවක් අමා දිය දහරින් නහවා දැවෙන සිත් සුවපත් කරවත්වා….!!!

'මහාමේඝ' කළඑළි මංගල්‍යය වෙනුවෙන් ඒ අපේ පැතුමයි...!

වරෙල්ලා වරෙල්ලා…
තෙමි තෙමී නටමු මේ මහ වෙස්සේ…
වැටි වැටී තෙමෙමු මේ මහ වැස්සේ...

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    තෙරුවන් සරණයි.
    මේ මොකද්ද කියලා කියන්න පුලුවන්ද? හැම තැනම මේ ගැන සදහන් වෙනවා. මට හරි ගැවලුවක් මේක.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails