Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සදහම් සයුරෙන් දිය දෝතක්.... (පළමුවෙනි දිගහැරුම)

Sunday, August 1, 2010 , at 3:44 PM

කයෙහි තිබෙන ඇත්ත ගැනම - පවතීවා නිතර සිහිය... ~ 01

සැබැවින්ම ගෞතම බුදුරජුන්ගේ ධර්මය අසිරිමත් එකකි. කා-බී වැතිර කාම සැපයම ජීවිතයේ එකම අරුත වශයෙන් ගෙන, සසරේ අතරමංව සැරිසරන දෙව් මිනිස් ලෝකයාට ඒ නිස්සාර සසරෙන් එතෙර වී සදාතනික සැපය සාක්ෂාත් කරන්නට මග විවර කර දෙන්නේ ඒ ශ‍්‍රී සද්ධර්මය පමණි. මායා මෝහ පටල දුරලා ජීවිතයේ සැබෑ ස්වභාවය පෙන්වා දෙන ඒ ශ‍්‍රී සද්ධර්මය කෙනෙකුට අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇතැම් විට ඒ සඳහා කල්ප ගණනාවක් වුවත් ගතවන්නට පුළුවනි.


එහෙත්.... පිපාසයට පැන් බිඳක් හෝ නොමැතිව නිරුදක කතරක අතරමංව, ක්ලාන්ත වී සිටින මිනිසෙකුට පැන් දෝතක් ලැබුණොත් ඔහුට ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි අන්දමේ පිහිටකි. එලෙසින්ම සසරේ අතරමංව නිරයෙන් - නිරයට, අපායෙන් - අපායට යමින් කෙළවරක් නොපැණෙන සසරක සැරිසරන මනුෂ්‍යයෙකුට මේ ශ‍්‍රී සද්ධර්මය අමෘතය බඳුය. කෙලෙස් පිපාසය සංසිඳුවයි. නිරුදක කතරට වඩා සැම අතින්ම බියකරු සසර කතරින් එතෙර කරවයි. එහෙත් ඒ සොඳුරු මොහොත දැන් ඔබට උදා වී තිබේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නුවණ මෙහෙයවිය හැකි නම්..... ඔබ සැබැවින් ම වාසනාවන්ත ය. මෙම සටහන ඒ සඳහා ඔබට අවස්ථාව විවර කරදීමට ගන්නා සුළු උත්සාහයකි.


උපන් දා පටන් ‘මගේ, මගේ’ යැයි පවසමින් උජාරුවෙන් ලොවට හඬ ගා කියන්නට වෙර දරන ඔබේ ඔය සිරුර දෙස මොහොතක් හැරී බලමු. සෑම දිනකම නොවරදවාම නහවන, ඉලීම් - පිරිමැදීම් ආදියෙන් පිරියම් කරන, සුවඳ පැන් - විලවුන් ගල්වන, ආහාර ආදියෙන් පෝෂණය කරවන, නානාප‍්‍රකාරයේ ඇඳුම් ආයිත්තම් ආදියෙන් හැඩ වැඩ කරන්නට වෙහෙස දරන මේ සිරුරේ සැබෑ ස්වභාවය කෙබඳු දැයි ඔබ කෙදිනක හෝ සිතා තිබේද?


ජීවිතයේ සැබෑ තතු නොදන්නා මිනිසුන් මේ ‘කය’ සාරවත් දෙයක් ලෙස සිතුවද, ජීවිතය අවබෝධ කොට ලොවට නොඇලී, ලොවින් නිදහස් වූ මුනිවරු නම් ඇට, මස්, නහරින් ගැවසී ගත් කය දෙස බැලූවේ මේ අයුරිනි.


"මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒ අය මේ ශරීරය විසිතුරු ලෙස සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නැහැ.
මුතු මැණික් ආභරණවලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වය මයි දැකිය යුත්තේ. ලස්සනට පේන්නේ ඇඳුම නිසා.
යටි පතුල් පාට කොට තිබුණ ද, සුවඳ බුලත්විට කා මුඛය සුවඳ කරගෙන හිටිය ද, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ.
කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට එයින් වැඩක් නැහැ.
මේ කුණු ශරීරය තියාගන්නට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ.”
(රට්ඨපාල තෙරුන් ගේ ගාථා - ථේර ගාථා)


මෙබඳු වූ ස්වභාවයකින් යුතු කය පිළිබඳව සැබෑ තත්වය නොදන්නා පුහුදුන් ජනයා මේ කය සම්බන්ධයෙන් දක්වන පුරාජේරුව කොතරම් මහත්ද? එයට හේතුව කයෙහි සැබෑ ස්වභාවය නොදන්නාකම ම විනා අන් කවරක්ද?


වෙළඳපලෙහි ඇති නානා මාදිලියේ සුවඳ විලවුන් වලින් වසන්නට තැත් කරන්නේ ඒ කයෙන් හමනා දුගඳ ය. විවිධාකාරයේ ආලේපන වලින් මකා දමන්නට තැත් කරන්නේ රැළි වැටී යන සම ය. නොයෙක් නම් වලින් යුතු සබන් ආදියෙන් පිරිසිදු කරන්නට උත්සාහ ගන්නේ සිරුරෙහි වන අපිරිසිදු දෑ ය. එහෙත්.... නිරන්තරයෙන් අපිරිසිදු දේ වහනය වන මේ කය පිරිසිදු කොට අවසන් කිරීමක් නැත!


නමුත් අපට එක් දෙයක් කළ හැකිය. එනම් කය අවබෝධ කිරීමයි. කය අවබෝධ කොට, කයෙන් නිදහස් විය හැකිය. එවිට නම් නැවත නැවතත් කය පිරිසිදු කිරීමක් නැත. සුවඳ විලවුන්, සුවඳ පැන්, ආලේපන ආදියෙන් ද සදහටම නිදහස් විය හැකිය.


මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න.... මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.


මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.


ඔබ සැමට තෙරුවන් සරණයි!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails