Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවෙන 'සිරි ගෞතම සම්බුදු මහා සෑය'

Friday, August 13, 2010 , at 12:32 PM

පිරිසිදු අහසේ නිල් පැහැයත්, නිදහස් මීදුමේ සුදු පැහැයත්, අඳුර ජයගත් හිරුගේ තැඹිලි පැහැයත් කඳු මතින් රූරා ‍වැටෙන විට කුණ්ඩසාලේ මහමෙවුනා පුණ්‍ය භූමියෙන් නැගෙන සදහම් පණිවුඩය වායුගෝලයෙහි හැකි උපරිම දුරට පාවී යයි.කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මහමෙව්නා භාවනා අසපුව, ආශාවෙන්, සන්තෝෂයෙන්, අපේක්ෂා භංගත්වයෙන් සහ අනෙක් සිතිවිලිවලින් වෙහෙස​ටපත් සසරේ අතරමංවූවන්ට ඒ සසර සැඩ පහරින් එතෙර වීමට පහුරක් වී ඇත.

මේ වසරේ අප්‍රේල් 28 වැනිදා හෙවත් බක්පුර පසළොස්වක පොහෝ දින මෙම පින්බිමෙහි ඉදිකිරීමට යෝජිත චෛත්‍යයට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණ. ගෞතම බුදු රජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වී වසර 2600 ක් සපිරෙන ක්‍රි.ව. 2011 වෙසක් පොහෝ දිනයට කොත් පැළඳවීමේ අරමුණින් ඉදිවන මෙම චෛත්‍ය "සිරි ගෞතම සම්බුදු මහා සෑය" යි. කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පැවිදි ශ්‍රාවකයන් ගේ ද ගිහි ශ්‍රාවකයන් ගේ ද අදහසකට අනුව ඉදිකිරීමට යෝජිත මෙම චෛත්‍යය මෙතෙක් මෙම අසපුවේ වන්දනාමාන කිරීමේ දී මුහුණ පෑ එක ම අඩුපාඩුව පිරිමසාලීමක් වනු ඇත.

කෘෂිකර්ම සහ මහවැලි අමාත්‍ය වශයෙන් සිටි වත්මන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තවත් නිලධාරීන් ගේ මූලිකත්වයෙන් ලබා දුන් භූමි භාගයක මීට වසර පහකට පමණ පෙර කුණ්ඩසලාලේ මහමෙව්නා භාවනා අසපුව ආරම්භ විය. කුඩා දාන ශාලාවකින් සහ කුටි කිහිපයකින් සමන්විත ව ආරම්භ වූ මෙම අසපුවට මෙරට ප්‍රධාන පෙළේ දානපතීන්, ව්‍යාපාරිකයන් මෙන් ම එදා වේල අසීරුවෙන් හරි හම්බ කරගන්නා එහෙත් ශ්‍රද්ධාවෙන් සහ ත්‍යාගශීලිත්වයෙන් ධනවත් සියලු දෙනා ගේ නො මසුරු ධන පරිත්‍යාගයෙන් එකවර 4000 කට පමණ සුවසේ සිටිය හැකි ධර්මශාලාවක් හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ චෛත්‍ය කලාව පිළිබඳ ව පුළුල් අධ්‍යයනයකින් පසු ව නූතන ඉදිකිරීම් තාක්ෂනය ද ප්‍රමාණවත් පරිදි භාවිත කරමින් ඉදිවන මෙම චෛත්‍යයේ සැලසුම් කර ඇති උස අඩි 104කි. පාදමය විෂ්කම්භය අඩි 64ක් වන මෙහි ගර්භය කුහර ආකාරයෙන් සැලසුම් කර ඇත්තේ බුබ්බුලාකාර ලෙස පිටතින් දිස්වන අයුරිනි. මෙම සැලසුම්කරණයට ව්‍යුහ සැලසුම්කරණය පිළිබඳ නිපුන මෙරට විශ්වවිද්‍යාලවල ඉංජිනේරු ආචාර්ය, මහාචාර්යවරු කිහිප පලක්ම සම්බන්ධ වූහ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගේ ප්‍රධාන පැවිදි අනුශාසකත්වයෙන් ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ ප්‍රධාන ගිහි අනුශාසකත්වයෙන් ද ඉංජිනේරු සහ තාකෂණ නිලධාරී මඩුල්ලකින් ද සැදි "සිරි ගෞතම සම්බුදු මහා සෑය" ඉදිකිරීමේ කමිටුවක් ක්‍රියාත්මක වේ. මෙම කමිටුවේ තාක්ෂණ අධීක්ෂණය සහ විගණනය යටතේ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය යි. (Central Engineering Consultancy Bureau ) 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකරගෙන ශ්‍රී ලංකාවේ ඉදිවන එක ම චෛත්‍යරාජයාණන් වහන්සේ වන "සිරි ගෞතම සම්බුදු මහා සෑය" සර්වඥ ධාතූන් වහන්සේ නිදන් කොට ගෞතම බුදු රජාණන් වහන්සේ උදෙසා ම ඉදිවන්නකි.

මේ මිහිපිට සිදු කෙරෙන ඉතා අසිරිමත් චෛත්‍ය ඉදිකිරීමේ දුර්ලභ පුණ්‍යකර්මයට දායකවීමට කැමැති සැදැහැවතුන් කුණ්ඩසාල මහමෙවුනා අසපුවේ, "උපස්ථායක කමිටුව, චෛත්‍ය අරමුදල" නමින් සම්පත් බැංකුවේ ගිණුම් අංක 100760665894 ගිණුමට තම දායකත්වය බැර කළ හැකි ය. ඉදිකිරීම් පිළිබඳ විස්තර සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීම් පිළිබඳ විස්තර 0812423488 දුරකතන අංකය ඔස්සේ ද, www.mahamevna.org වෙබ් අඩවිය තුළින් ද ලබාගත හැකි බව සංවිධායක මණ්ඩලය කියයි.

'ලංකාදීප' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=908

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails