Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

වෙසක් සදහම් හසුන

Sunday, May 23, 2010 , at 1:00 PM

(ගෞතම සංදේශය 16)

 දැහැමි සිතුවිළි පහළ වේවා.....!
   
මේ දවස්වල වැහි මන්දාරමින් මුලු නුවරම අඳුරු වෙලා ගිහින්. තෙත බරිත වෙච්ච රොබරෝසියා ගස්වල මල් නුවර වැවේ දිය කඳ මත රටාවකට වැතිරිලා. සුදෝ සුදු මීදුම් කැටි හන්තාන වසාගෙන හිමි හිමීට පාවෙලා යනවා. තව ටික දවසකින් මේ වැහි අඳුර බිඳගෙන හන්තාන කන්ද මුදුනින් රත්තරන් පාට වෙසක් පුන් සඳ පායාගෙන ඒවි.

කාලය මොන තරම් නම් වේගයෙන් ගලා ගිහින්ද..? සමන්ත භද්‍ර වූ බුදු සමිඳුන් ලෝකය බබුලුවමින් මේ මිහිතලය මත වැඩ හිඳපු යුගය තවත් වසරකින් අපගෙන් ඈත් වෙලා. හිතට පුංචි දුකක් දැනුනත්, ඈතින් හීනියට ඇහෙන දළදා තේවාවේ හේවිසි හඬ නිසා අපි ඒතරම් අවාසනාවන්ත නෑ නේද කියලත් මොහොතකට හිතුන. මොකද දන්නව ද..? මේ දහම් දිවයිනේ අපි වෙනුවෙන් අපමණ දේවල් ඉතිරි කරලයි ඒ බුදු සමිඳුන් අමා නිවනින් පිරිනිවන් පා වදාලේ.

කොහොම නමුත් සම්බුදු පරිනිර්වාණයෙන් ඈතට යන්න යන්න, අධ්‍යාත්මිකව දියුණුවෙන ලෝකයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අද අපි ජීවත් වෙන්නෙ පිරිහිලා යන සිත් සතන් තිබෙන මිනිසුන්ගේ ලෝකෙක. අදට වැඩිය ලස්සන ලෝකයක් හෙට දිනයේ බලාපොරොත්තුවෙන්න බැහැ. ඒක හීනයක්ම විතර යි. ධර්මතාවයක් හැටියටම මිනිස්සු ආධ්‍යාත්මිකව වේගයෙන් පිරිහිලා යනවා. ඊට සාපේක්ෂව මිනිසුන්ගේ ආයුෂත් අඩු වෙනවා. ලෝකයේ අපට ජීවත් වන්නට නුසුදුසුම තැනක් බවට හරිම ඉක්මණින් පත්වේවි.

අපි ඔබට පුංචි සිහිපත් කිරීමක් කරල දෙන්නම්. අපේ රටේ අපේම මිනිස්සු ගැන මේ විදියට ලිව්වේ සුද්දෙක්. ඒ මීට අවුරුදු තුන්සිය ගණනකට කලින්…..
 
" ........සිංහලයෝ වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. භාග්‍යය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති අතර ආදරශීලී මනුෂ්‍යයෝය. සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද උදාරය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥාණයක් සිංහලයන්ට ඇත. ඔවුහු ස්වභාවයෙන්ම මස් කෑමත්, මත්පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙන සුලු නොවෙති. කෝපයක් ඇති වුවත් වහා සංසිඳුවාගෙන සමගි වෙති. සිංහලයො ඇඳුමෙන් පිරිසිදුය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩි වේලා නොනිදති.

සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන ඉතා සංවරය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමේ ඉතා දක්ෂය.  ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින්ම විශ්වාස කරති. සිංහල ස්වාමිදුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත් සියතින්ම සිය කටයුතු කෙරෙති.

සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සළකති. කිසිම සිංහලයෙකු කවරදාවත් හොරකම් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයින්ට දයාවෙන් සංග්‍රහ කරති. සිංහලයෝ ළඟ මේ ගුණ ධර්ම ඇති බව මම අත්දැකීමෙන්ම දනිමි. සිංහලයගේ භාෂාවද සිංහල මෙන්ම පොහොසත්ය. එය මටසිලිටු ය. සුමධුර ය. අලංකාරය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයේ එකම හිඟන්නෙක්වත් නැත........"

 
එදා හෙළදිව: රොබට් නොක්ස්

අද අපි පය ගහලා ජීවත්වෙන මේ ලංකාවේ ඔය වගේ යුගයක් තිබ්බද කියල සැක ඇතිවෙන තරමටම වර්තමාන මිනිස්සු ආධ්‍යාත්මිකව වගේම භෞතිකවත් පිරිහිලා. ඒක ඔබ පිළිගන්නවද? ඉස්සර කණකර ආභරණයෙන් සුසැදි කන්‍යාවකට මැණිකකුත් අතින් අරගෙන තනිපන්ගලමේ දකුණේ දෙවුන්දර තුඩුවේ ඉඳලා උතුරේ පේදුරු තුඩුවටම කිසිම කරදරයකින් තොරව යන්න පුලුවන්කම මේ ලක් දෙරණේ තිබ්බ කියල අපි අහල තියෙනවා. ඔබත් අහලා ඇති. ඒ සුන්දර යුගය මළගම් ගිහිල්ල ගොඩක් කල්. අද අපිට හැම පත්තෙන්ම අහන්න ලැබෙන්නෙ අපරාධ, මිනීමැරුම්, දූෂණ වගේ දේවල් ගැන ප්‍රවෘත්ති. අද කාලෙ නම් හොරකම් නොකරපු සිංහලයෙක් හොයාගන්න එක නම් කලුනික හොයනවා වගේ අමාරු වෙන්න පුලුවන්. ඒ තරමටම මේ දහම් දිවයින හොරකමට ප්‍රසිද්ධයි.

කොහොම නමුත්, අතීතයේදී ලංකාව ඒතරම්ම සුන්දර හදවත් ඇති ආදරණීය මිනිසුන්ගෙන් පිරිල ගියෙ එකම හේතුවක් නිසා. ඒ හේතුව තමයි අපේ සදාදරණීය ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ ධර්මය එදා සිංහලයින්ගේ ඇට මස් නහර අස්සට කාවැදිල තිබ්බ. සිංහල ලේත් එක්ක මුසු වෙලා තිබ්බ. ඒත් අද එහෙම නැහැ. ගොඩක් අය අද ධර්මය උනත් පාවිච්චි කරන්නෙ අදාළ දෙයට නෙවෙයි. මිනිස්සු ධර්මයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න, හැම දේම නරක පැත්තට හැරෙනවා. බලන්න අද මේ ලෝකයට වෙලා තිබෙන දේ…… ලෝකයේ හැම රටකින්ම අපිට දැනගන්න ලැබෙන්නේ ස්වාභාවික විපත් ගැන තොරතුරු. භූමි කම්පා, ගිනිකඳු පිපිරීම්, ගංවතුර ගැලීම්, සුළි කුණාටු, ඒ මදිවට යුද්ධ  කල කෝලාහල. විපත් වල කෙලවරක් නැහැ. භූමි කම්පා වලින් විතරක් 2010 අවුරුද්දෙ මේ වෙනකොට 300 000 කට වැඩිය මිනිස්සු මියැදිලා තියෙනවා. ලෝක විනාශයක් ළඟ ළඟම එනව දෝ කියල සැක ඉපදෙන තරමටම ස්වාභාවික විපත් වැඩිවෙලා තියෙනවා. භූමිකම්පා ආදියෙන් තොර රටක් හැටියට තිබ්බ අපේ දහම් දිවයිනත් දැන් තිබෙන්නේ භූමිකම්පා සහිත 'අධි අවදානම්' කලාපයක. සමහර විට ඔබ ඒක නොදන්නවා වෙන්නත් පුලුවන්.

මහබෝසතාණන් වහන්සේ වජ්‍රාසනය මත වැඩසිටිමින් දස බිම්බරක් මාර සේනා පරාජය කරද්දී, ඒ වෙනුවෙන් සාක්ෂි දරපු, සුන්දර මිහි මව ම ද මේ කියලා සමහරවිට සැක උපදින්නත් ඉඩ තියෙනවා. ඇත්තෙන්ම ලෝකය මෙච්චර වෙනස් වුනේ කොහොමද? නපුරු ම නපුරු තැනක් බවට පත්වුනේ කොහොමද? ඒකට එකම හේතුවයි තියෙන්නේ. මේ මිහි මවට තමාගේම දරුවෝ කරන දේවල් දරා ගන්නට බැහැ. එදා බුදු පුදට සුවඳ මල් වස්සපු දෙවිවරුන්ට අද මේ මිනිසුන් කරන දේවල් ඉවසගන්ට බැහැ. මිනිසුන්ගේ සිත් සතන් ඒ තරමටම කුරිරු වෙලා. මිනිස්සු කරන කියන දේවල් ඒ තරමටම පහත් තත්වයට වැටිලා.

ඔබට මතකද…. මිනිස්සු අධාර්මික වෙනකොට, ස්වාභාවික ලෝකය වෙනස් වෙලා යන හැටි, දේව කෝප හට ගන්න හැටි, අධම්මික සුත්‍ර දේශනාවේදී අපේ බුදු සමිඳුන් ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඒ දේවල් කෙතරම් නම් ඇත්තද…..?

කොහොම නමුත් ඊලඟ මොහොතේ මොන විපතක් ඇතිවෙයිද කියන භයෙන් ජීවත් වෙන්න සිදුවෙලා තියෙන අපිට පුංචිම පුංචි හෝ රැකවරණයක් සළසා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන කියන්නයි මේ ලිපිය ලියන්නේ. ඔබ අහලා ඇති සතර බ්‍රහ්මවිහරණ ගැන. සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ෂා කියන හතරට නේ. ඉතින් තිසරණය තුල හොඳින් පිහිටල, මෙන්නමේ බ්‍රහ්ම විහාර සතර, භාවනා වශයෙන් වඩන්ට පුලුවන් නම් ඒක අපිට විශාල රැකවරණයක් වේවි. මෛත්‍රී භාවනාවේ ආනිශංස ගැන නම් බොහෝ දෙනෙක් අහලා ඇති. ඒ වගේම තමයි ඉතුරු බ්‍රහ්ම විහාර වැඩීම නිසාත් අපමණ අනුසස් ලැබෙනවා. ඒ ආනිශංස අපට මෙලොව වගේම පරලොවත් ආරක්ෂාව සපයාවි.

ඒ නිසා දයාබර යාලුවේ, ලෝකයට සාමයේ පණිවිඩය කන්දාගෙන වැඩි, ඒ තිලෝවග මුණිරජාණන් වහන්සේ වදහල විදියට අපි සියලු ලෝක සත්වයාටම මෛත්‍රීය වඩමු. නිතර අසන්නට දකින්නට ලැබෙන විපත් වලින් අනතුරට පත්වුන මිනිසුන්ට, අනුකම්පාව කරුණාව දක්වමු. ඒ අයට හැකි සෑම විදියකින් උපකාර කරමු. ඒ වගේම කිසි කෙනෙකුට කිසිදු විපතක් කිසිවිටෙකත් සිදු නොවේ වා...! කියන උදාර චේතනාව නිතර සිතේ පවත්වමු. ඉක්මණින් ගෙවිලා යන ආයුෂ ඇති මේ ලෝකයේ, කිසි විටෙකත් අනිත් අයට ඉරිසියා නොකරමු. අනිත් අයගේ සැපතම කැමති වෙමු. දුක අකමැති වෙමු. "හැම දෙනාම තම තමන් කරන කර්මය ම දායාද කොට ගෙනයි සිටින්නේ" කියන අදහසත් අපේ සිත් තුල නිතර නිතර ඇතිකරගෙන වාසය කරමු.

මේ සිතුවිලි අපට රැකී රක්ෂා කරන අතර තුරදී වගේම ඉගෙනීම් කටයුතු කරන අතර තුර විතරක් නෙමෙයි, ඕනෑම වේලාවක පවත්වන්න පුලුවන් දේවල්. ඒවා අමාරු දේවල් නොවේ. එහෙම නේද....?

ඒ වගේම මේ සුන්දර වෙසක් සමයේ අපි තවත් දෙයක් කරමු. ඒ තමයි මේ අනතුරු අභියස දිවි ගෙවන අපේම මිනිසුන් වෙත මේ දහම් පණිවිඩය අපි රැගෙන යමු. ඒ නිසා ඔබේ සහෘදයන්ට, නෑ හිත මිතුරන්ට, ඔබ දන්න කියන හැමෝටම මේ සිව්ඹබ විහරණ වැඩීමේ සම්බුදු පණිවිඩය ලබා දෙන්න. ඔබට හැකි සෑම භාෂාවකින්ම ඒ සම්බුදු පණිවිඩය ලෝකය වෙත ගෙන යන්න. සතර බ්‍රහ්ම විහරණ වැඩීමේ වැදගත්කම ජාති ආගම් භේද රහිතව හැම කෙනෙකුටම කියා දෙන්න. ඒ විදියට අපිත් හැකි සෑම මොහොතකම සතර බ්‍රහ්ම විහරණ වඩන ගමන්, මේ පණිවිඩය අනිත් අයටත් ගෙනගියොත් ලෝකය යම් මට්ටමකින් හෝ සුන්දර තැනක් කරගන්ට අපිට හැකි වේවි. අපි ඒ දේ සිරි සම්බුදු තෙමඟුල සමරන මේ උතුම් වෙසක් මාසයෙන් ආරම්භ කරමු. එතකොට අපේ ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව යන්තමින් හෝ කළ අයට බවට පත්වෙන්න අපිට පුලුවන් වේවි.

ඔබට තෙරුවන් සරණයි!!!

Bookmark and Share

Currently have 2 comments:

  1. Unknown says:

    බොහෝම වටින ලිපියක්. ධර්ම දානයෙන් ලත් මේ පින ශාන්ත සුවය ලබා ගැනීමට හේතු වේවා.

  1. Anonymous says:

    sadu sadu sadu...

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails