Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සැබැවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

Saturday, May 22, 2010 , at 11:10 PM

සමිඳුනි මම බුදු රැස් දැක ගත්තෙමි.......

ගෞතම සම්බුදු රජුන්ගේ දකුණු දළදා වහන්සේ වොරැඳුණු සෝමාවතී මහ සෑරදුන් වන්දනා කිරීමට මම පසුගිය මැයි 7 වැනි සිකුරාදා ගියෙමි.

එහිදී දකින්නට ලැබුණේ මේ යුගයේ පහසුවෙන් මිනිස් ඇසකින් දැකගත නොහැකි විරූ වූ අසිරියකි.

එදින සවස 5 පමණ වන විට සැදැහවතුන් දසදහස් ගණනින් සෝමාවතී පුදබිම වෙත රැස්වන්නට වූහ. මම ද ඔවුන් අතර ඇවිද ගියෙමි. කථා කළෙමි. රජයේ උසස් නිලධාරීන්, බැංකු කළමනාකරුවන් ව්‍යාපාරිකයින් වැනි ඉතා කාර්යබහුල දිවියක් ගත කරන සාමාන්‍ය ජීවිතයේදී විනාඩි 10 ක වත් විවේකයක් සොයාගත නොහැකි බොහෝ දෙනෙක් එහි පැමිණ සිටියහ. ඔවුන් එහි පැමිණ සිටියේ ඓතිහාසික සෝමාවතී වන්දනාව ඇරැඹීමට පැය 24 කටත් වඩා කලිනි. කිසිදු පහසුකමක් අපේක්ෂා නොකර බිම පැදුරු එළාගෙන කුඩා දරුවන් සමඟ ඔවුහු බුදුගුණ කියමින් බිම වාඩිවී සිටියහ. සැබැවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

කෙමෙන් කෙමෙන් රෑ බෝ වෙද්දී බිම වැතිර සිටින දස දහස් ගණන් සැදැහැවතුන් අසලින් සීරුවෙන් පා තබා හැමදාමත් සෝමාවතිය වඳින්නට එන කෙනෙක් සෙමෙන් සෙමෙන් මහ සෑය අසලටම පැමිණියේය. ඒ වෙන කිසිවකුත් නොව සද්දන්ත හස්ථිරාජයෙකි. සොඩවැල ඔසවා මහසෑයට වන්දනා කළ හස්තිරාජයා කිසිදු කලබලයක් නොකර ජනතාව අතරම මධ්‍යම රාත්‍රිය වන තෙක්ම රැඳී සිටියේය. වෙනදාට වල් අලියෙක් යන නම ඇසුණත් සැතපුම් ගණන් දුවන මිනිස්සු තමන්ගේ සමීප මිතුරකු පරිද්දෙන් මේ දැවැන්තයා පිළිගෙන සිටියහ. කිසිවකුගේ සිත්හි බියක් තිබුණේ නැත. සැදැහවතුන් දසදහස් ගණනක් බුදුගුණ කියමින් සංසුන් සිතින් කල් ගෙවූහ. සැබවින්ම මෙය අසිරියක් නොවන්නේ් ද?

කෙමෙන් කෙමෙන් මධ්‍යම රාත්‍රිය උදාවෙද්දී වල් අලින් ගහන සෝමාවතිය රක්ෂිතය මැදින් වැටී ඇති මාර්ගයේ විවෘත ලොරියක් පැමිණියේය. එහි පිටුපස කාන්තාවෝ ද සිටියහ. එහි මම කලින් හඳුනන අක්කා කෙනෙක් ද සිටිය බැවින් ඒ ගැන විපරම් කළෙමි.

“අක්කේ මොනවද ලොරියේ”

“මල්ලි සෝමාවතී සෑයට පූජා කරන්නට නෙළුම් මල් ටිකක් ගෙනාවා”

“මල් කොච්චර තියෙනවාද?”

“මල්ලි අපි මල් තිස්දහසක් ගෙනාවා”

සැන්දෑවට මිදුලේ තිබෙන මලක් නෙළා ගෙන බුදුන්ට පූජා කිරීමට වේලාවක් ;නාමැතිව රූපවාහිනිය වටකොට සිටින බොදුනුවනුත් සිටින මේ රටේ මේ අක්කලා උතුරු මැද පිහිටි වැව් පීරා නෙළුම් මල් නෙළා නෙළුම් මල් තිස්දහසක් ද රැගෙන මහ වන මැදින් මහ රාත්‍රියේ පැමිණ ඇත්තාහ. සැබැවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

අලුයම වෙද්දි භද්‍ර යෞවන වයසේ තරුණ තරුණියෝ සිය ගණනක් ලොරි ගණනින් මල් රැගෙන ආහ. රන් ආලේප කළ පුන්කළස් රැගෙන ආහ. කිසිවකුගේ නියෝගයකින් තොරව ඒ දරුවන් ස්වේච්ඡාවෙන්ම මල් සැරසිලි කළහ. මම ඒ මල් අතර ඇවිද්දෙමි.

මම නුවරඑළියේද බණ්ඩාරවෙල ද ඇති තරම් සංචාරය කර ඇත්තෙමි. එහෙත් ඒ තරම් ලස්සන මල් එතරම් ප්‍රමාණයක් මා කෙදිනකවත් දැක නැත. ඒ දරු දැරියෝ ඇතැමෙක් සමන්පිච්ච මල් මාලා අමුණති. ඇතැමෙක් දාස් පෙතියා මල්මාලා අමුණති. ඇතැමෙක් උදෑසන හිරු නැගෙද්දි අව් රශ්මියෙන් මල්වලට හානි නොවන්නට පිටේ බැඳගත් ටැංකිවලින් ඒ මල්වලට වතුර ඉසිති. පොප් ගීවලට වශී වී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවී නොසරුප් වදන් බෙණෙමින් තරුණියන්ට උසුළු විසුළු කරමින් යතුරු පැදිවලින් කරණම් ගසන වයසේ ගැටවරයෝ බුදුගුණ කියමින් සෝමාවතී මහ සෑයට මල් සැරසිලි කරති. සැබැවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

පසුදා උදෑසන 10 පමණ වන විට ලක්ෂ හතරකට අධික සැදැහවතුන්ගෙන් මුළු සෝමාවතී පුදබිම ම වැසී ගොස් අවසන්ය. ඒසා විශාල පිරිසකට ආවරණයක් සැපයීමට කිසිවකුට හෝ හැකියාවක් නැත. වෙනදා විනාඩි 10 ක් වත් අව්වේ සිටීමට අකමැති බොහෝ පිරිසක් පොළොන්නරුවේ සැඩහිරු රැස් යට බුදු සමිඳුන් කෙරෙහි වූ ශ්‍රද්ධාවෙන් සිසිල් වූ හදවතින් යුතුව නිසොල්මනේ වාඩිවී බුදුගුණ කවි කියති. සැබවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

ගිනි මද්දහනේ පය තැබීමට නොහැකි තරම් සෑ මළුව රත්වී ඇත. ස්වාමින් වහන්සේ සමඟ එක්වුණ තරුණ පිරිස් මහ සෑයේ බදවට බුදුගුණ කැටිවුණ කොඩිවැල් අමුණති. මහසෑ මළුව සුවඳ පැනින් දෝවනය කරති. නේකවිධ වූ මල්වලින් සැරසුණු පුන්කළස් සෑයේ පේසා වළළු මත පිළිවෙළකට තබති. ලස්සන සුවිශාල නෙළුම් පෙති ආකාරයෙන් හැඩගැන්වූ නෙළුම් මල් තිස්දහසේ මහා නෙළුම් පෙති සැරසිල්ලකින් සෑය වටා අලංකාර කරති. මේ සියල්ලම කරද්දි ඒ තරුණ යතිවරයන් වහන්සේගේ මෙන්ම තරුණ තරුණියන්ගේ ද සියෝළග දහදියෙන් නැහැවී ඇත. එහෙත් ඒ අයගේ මුහුණු පියකරු සිනහවකින් ඔප් නැංවී ඇත. ඒ සියලු දෙනාම සැඩ හිරුරැස් නොතකා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් මල් සැරසිලි කරති. සැබැවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

සවස 5 පමණ වන විට ලක්ෂ අටකට අධික සැදැහැවතුන්ගෙන් සෝමාවතී භූමි ප්‍රදේශයම වැසී ගොස් තිබිණි. මෙපමණ පිරිසක් එක් අරමුණක් උදෙසා එක් ස්ථානයකට එකවර රැස්වූ වෙනත් අවස්ථාවක් ඇද්දැයි මම නම් නොදනිමි. මුළු දවස මුළුල්ලේ සැඩ හිරු රැසින් දැවුණු මේ සියලු දෙනාටම සිත් සේ ඇඟපත සෝදා ගැනීමට ජලය සැපයීමට කාට නම් පිළිවන් ද? එහෙත් කිසිදු මැසිවිල්ලක් නැත. කුඩා බෝතලයකින් ලේන්සුව තෙමා ගත් ඔවුන් දහඩිය පිස දමාගෙන සවස 5 වන විට සුදෝ සුදු වතින් සැරසී අවසන්ය.

ඓතිහාසික සෑ වන්දනාව ආරම්භ වනවාත් සමඟම මුළු අහස පුරාම විදුලි ආලෝක විහිදී ගිගුරුම් දෙන්නට විය. මහ මේඝ වලාවෝ සතර අතින් මහ සෑය වෙත ඇදී ආහ. මහ වර්ෂාවක පෙර නිමිති සතර අතින් පහළ වන්නට විය. වැඩ සටහන මෙහෙයවූ පින්වත් ස්වාමින් වහන්සේ බුදුගුණානුභාවයෙන් වර්ෂාවෙන් සැදැහැවතුන්ට කරදරයක් නොවේවායි ප්‍රාර්ථනා කරද්දි නැගුණු සාදු හඬින් මුළු අහසම ගිගුම් දුන්නේය. කෙමෙන් මහ වර්ෂාවේ ලකුණු පහවී එය සිරිපොද වැස්සකට සීමා විය. මද වේලාවක් ඇද හැළුණු සිරිපොද වැස්සෙන් ඇදිවත් තෙමී ගියද කවුරුත් උන් තැනින් නොසැලී මහ සෑ වන්දනාව සමඟ ඒකාත්මිකවී සිටියහ.

මම රාත්‍රී 12 ට පමණ සෑ බිම සිසාරා ඇවිද ගියෙමි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිදි වරාගෙන බුදුගුණ රැඳුණු කවි කියති. ඔවුන්ගේ සියොළග තෙත් වී ඇත. සමහරුන් වාඩිවී සිටි පැදුරු ද තෙමී ඇත. හිසින් රූරා වැටෙන සීතල වැසි බිඳු සිරුර හරහා ගලද්දී සැදැහැ සිතින් උණුසුම් වූ මේ පින්වත්තු මධ්‍යම රාත්‍රියේත් දෑත් නළලේ තබාගෙන ගෞතම මුණි රජුන්ගේ දකුණු දළදා වහන්සේ රැඳුණු සෝමාවතිය වන්දනා කරති. මද වේලාවක් ඇද හැළුණු සිරිපොද වැස්සෙන් සිවුරු තෙත් වෙද්දි සවස 6 ට වාඩි වූ ඉරියව්වෙන්ම තරුණ ස්වාමින් වහන්සේ සෙල් රූ පිළිම මෙන් වැඩ සිටිති. සැබැවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

වන්දනාව නිම වීමෙන් අනතුරුව වාහන තිස්පන්දහසක් පමණ ආපසු යෑමට පෝලිම් ගැසී ඇත. පැය 6 කට පමණ පසු බැලු විට එම වාහන ඉදිරියට ගොස් තිබුණේ යාර 100 ක් පමණ දුරකි. එහෙත් එම වාහනවල සිටි ඇත්තෝ ඉවසීමෙන් සිටියහ. පොලිස් නිලධාරීන්ට ද මෙම වාහන තදබදයට විසඳුම් සෙවීම දුෂ්කර වෙද්දි පාර දෙපසින් පේළි දෙකකට වැඩම කළ තරුණ යථිවරයන් වහන්සේ ඉතා යුහුසුලුව වාහන තදබදය ද නිමා කර දුන්හ. සැබවින්ම මෙය අසිරියක් නොවන්නේ ද?

ස්වාමිනි බුදුරජාණන් වහන්ස, යමෙක් ඔබ වහන්සේගේ ධර්මයට කීකරු වෙත්ද ඒ සියලු දෙනා නිවුණු සැනසුණු සිත් ඇත්තෝ වෙත්මය. ලක්ෂ සංඛ්‍යාත සැදැහවතුන් අතරේ සෝමාවති පිං බිමේ ගෙවුණු මේ දෙදින පුරාවට ම මා දුටුවේ ඔබ වහන්සේගේ ධර්මකායෙන් විහිදුණු රශ්මි කදම්බයයි.

කෙලෙස් ගින්නෙන් ඇවිලුණු ලෝ සතුන්ගේ දුක්ගිනි නිවාලමින් එය බොහෝ කල් ලෝ පුරා විහිදේවා.

සුදර්ශන ශ්‍රී විජේසිංහ
උපුටා ගැනීම​: 23/05/2010 ඉරිදා සිළුමිණ - 'සිත්මල් යාය​'

Bookmark and Share

Currently have 4 comments:

  1. සාදු........සාදු.........සාදු........

  1. From Newzealand.. says:

    Sadhu !!!
    buetifully written, thank you.

  1. Asanka says:

    Sadu sadu sadu...
    E Bhagyawath Arahath Samma Sambudu rajanan wahansege E kanthayenma Ashcharyai...Devi minisunta boho hithasuwa salasana apage ekama Shashtroon wahansemai....
    Apata adatah Me Uthum Dhathun wahansela wandana karagena sugathiye ipadeemath Uthum chathurarya sathyaya avabodakaraganeemath kala hakimai.. Sadu sadu.. ithama Ashcharyamai..

  1. Anonymous says:

    sadu! sadu! sadu!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails