Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'AKON සංදේශය​'

Tuesday, March 23, 2010 , at 1:45 AM


(ගෞතම සංදේශය 12)

සාම්ප්‍රදායිකව අප යමක් ආරම්භ කරන්නේ මුලිනි. නමුත් අද අපි අගින් පටන් ගැනීමට අදහස් කළෙමු. ‘සංදේශය’ යන වදන සොඳුරු හෙළ බස හුරු හෙළ අපට නුහුරක් නොවේ. ශ්‍රී ලාංකීය සාහිත්‍ය වංශකතාවේ සංදේශ කාව්‍යයන්ට සුවිශේෂී තැනක් හිමි වන අතර​, 13වන සියවසටත් එහා දිවෙන මයුර සංදේශයෙන් ඇරඹෙන සංදේශ කාව්‍ය ඉතිහාසය හංස​, පරෙවි, කොවුල්, සැවුල්, ගිරා, සැළලිහිණි, කැටකිරිලි, නීලකොබෝ, දියසැවුල් ආදී මෙකී නොකී පක්‍ෂී නාමයන්ගෙන් අලංකෘත විය​. වරෙක ගිරවා විසින් රැගෙන ගිය 'ගිරා සංදේශය'ට පිළිතුරු එවබු ලැබුවේ හංසයකු අතය​. එය 'හංස සංදේශය' විය​. මේ සොඳුරු කාව්‍ය ඉතිහාසය නිසාදෝ 'සංදේශය​' යන වදනට හෙළ වහර තුළ අද්විතීය තැනක් හිමිව ඇත​. ලාංකීය කලාකෙත තුළ​ චිත්‍රපට මෙන්ම තවත් කලාකෘති රැසක්ම මෙය ඇසුරු කොටගෙන නිර්මාණය විය​​ . කොටින්ම කියතොත් අපගේ මෙම ලිපි පෙළ ද 'ගෞතම සංදේශය​' නමින් ප්‍රකාශයට පත්වේ. පද්‍ය සංදේශ කලාවෙන් මඳක් ඔබ්බට විත් අප ගද්‍ය සංදේශ කලාවට අතපොවා ඇත​. ඊට එක්වන නවතම අනු සංදේශයයි 'AKON සංදේශය​'......

අපගේ පසුගිය ලිපියෙන් AKON ගැන ඇති පදමට​ කතා කළෙමු. තිලොවින් උතුම් බුදුරුවට නිගා දෙමින් මේ යක්‍ෂයා නොම්මර එකේ අඩව්වක් අල්ලා ඇත​. ඒ අතරම ඒ තුළින් ඔහු අමිල පණිවුඩයක් ලෝක බෞද්ධ ප්‍රජාව වෙත ගෙන ගියේය​. දහම අමතකවී ද්වේශයෙන් මත්වූ බහුතරයක් බෞද්ධයනට එම වටිනා සංදේශය ගිලිහී ගියේය​. අපගේ මේ ධාර්මික වෑයම එය නැවතත් පිනැති, බුද්ධිමත් ඔබ අතට පත් කිරීමයි.

බුදුවරයකු ලොව පහළ වන්නේ එකම කරුණක් උදෙසා ය. ඒ උතුම් චතුරාර්‍ය සත්‍යය කියාදී දුකින් පෙළෙන සත ඉන් මුදවාගැනීමය​ . බුදු දහමේ ඒකායන ඉලක්කය උතුම් නිර්වාණය යි. අන් සියළු ඉලක්ක​ ඉන් පරිබාහිරය​. ඉලක්කය පමණක් නොව ඒ කරා ගමන් කරන මාර්ගයද භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව වදාළහ​. ඒ මඟ වැඩීමේදී ප්‍රහාණය කළ යුතු රාගය​-ද්වේශය​-මෝහය ගැන උනවහන්සේ වදාළාහ​. ඒවා යමෙකු තුළ තිබීමේ අනතුරද​, එහි ආදීනවද උන්වහන්සේ වදාළහ​. එපමණක් නොව​, යමකු තවකකුගේ රාගය​-ද්වේශය​-මෝහය ඉපැද්දවීමට, ඇවිස්සීමට​ චේතනාත්මකව ක්‍රියා කළහොත් එයින් ලැබෙන භයානක අනිසි විපාක පිළිබඳව ද උන්වහන්සේ බුදු නුවණින් දැක වදාළ සේක​.

අනවරාඝ්‍ර වූ මේ සසරේ සත්වයින් ඇවිද යන්නේ රාගයෙන් බැඳුනු සිත් ඇතිවයි. ද්වේශයෙන් වෙළුනු සිත් ඇතිවයි. මෝහයෙන් අන්ධ වුනු සිත් ඇතිවයි. නික්ලේශීව නොවෙයි. එවන් සත්වයින්ගේ නොසන්සිඳුනු රාගය, නොසන්සිඳුනු ද්වේශය, නොසන්සිඳුනු මෝහය ඇවිස්සෙන, වැඩීයන පරිදි පරිදි යමෙක් කටයුතු කරයි නම් එය ඔහුව නිරය කරා රැගෙන යන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සංදර්ශන පවත්වමින්, රංගන ඉදිරිපත් කරමින්, නානාප්‍රකාර විජ්ජා පෙන්වමින් බුද්ධ කාලීන දඹදිව සැරිසැරූ AKON පරපුරේ මුතුන්මිත්තකු වූ 'තාලපුට නටගාමණී' හටයි. යමෙක් බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ඔහුගේ උපතින් නොව ඔහු සිදු කරනු ලබන ක්‍රියාවෙන් ය​. උපතින් වේදිකාව උරුම කරගෙන විත් පසු කාලීනව සම්බුදු සසුනේ පැවිදිව සියළු කෙලෙසුන් නසා 'තාලපුට රහතන් වහන්සේ' බවට පත් වූ ගාමණී ඊට කදිම නිදසුනකි. ඒ ඔහු හට දෙසා වදහළ බුදු වදන නුවණින් විමසා බලන්නට තරම් ඔහු බුද්ධිමත් වූ හෙයිනි. එය තමා තුළට ගලපාගෙන අවබෝධ කරන්නට තරම් පින්වන්ත වූ හෙයිනි. සියළු බුදුවරයින්ගේ අනුශාසනාව අනුව වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම ඔහු 'අප්‍රමාදී' වූ හෙයිනි. "ඔය කියන නිරය කොහේ තිබෙන එකක් ද​?" යි අසමින් සර්පයා වලිගයෙන් අල්ලා ගත්තේ නම්, තාලපුට නටගාමණී ද AKON සමඟ එකම වේදිකාවේ අදත් සංදර්ශන පාන්නට බොහෝ ඉඩකඩ තිබින​.

රාග​-ද්වේශ​-මෝහ ප්‍රහාණය නොකල අයගේ එම කෙලෙස් ඇවිස්සී යන පරිදි, වැඩී යන පරිදි කටයුතු කරන පුද්ගලයන්ගේ ද, ඊට උඩගෙඩි දෙන පුද්ගලයන්ගේ ද​, ඔවුන් හා යමින්, ඒවායේම ගැලෙමින් අන්ධ බාල ලෙස හැසිරෙන පුද්ගලයන්ගේ ද යන මේ ප්‍රමාදී තුන් කට්ටුවේම ශෝචනීය ඉරණම සංයුත්ත නිකායේ, ගාමණී සංයුත්තයේ දී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම වදාළ සේක​. කලාකරුවන් හට අප බොහෝ සේ ආදරය කරන්නෙමු. යුධ විරුවන්, සෙන්පතියන් හට අප අප්‍රමාණ ලෙස ඇළුම් කරන්නෙමු. මොවුන් අපගේ සිහින ලෝක වල වීරයන් බවට පත්කොට ගෙන ඇත්තෙමු. මෙකරුණ උක්ත දෙපාර්ශවයට පමණක් පොදුවූ ධර්මතාවක් නොවේ. අප අඳින ඇඳුමටද​, කියන කියුමටද​, කරන කෙරුමටද එක සේ අදාළ ය​. අප ඇතැම් ඇඳුම් හැඳි විට එහි මූලික අර්ථය වන විලි වසා ගැනීම අංක දෙකට පත්වේ. රාගය ප්‍රහාණය නොකළවුන්ගේ කාමයන් ඇවිස්සීම මූලික අරමුණ බවට පත්වේ. ඇතැම් විට අප ප්‍රසිද්ධ වේදිකා වල දේශන පවත්වති. අරමුණ ද්වේශය ප්‍රහාණය නොකළ අසන්නන්ගේ ද්වේශය ඇවිස්සීම ය​. ඇතැම් ආගමික නියෝජිතයන් විවිධාකාර මිථ්‍යාදෘෂ්ඨි මහජනයා අතරට ගෙනයමින් මෝහය ප්‍රහාණය නොකළවුන් කබලෙන් ලිපට ඇද දමති. දැන් අප යතාර්ථය ඔබ හමුවේ ගැනහැර දක්වා ඇත්තෙමු. ඉතිරිය බුද්ධිමත් ඔබට බාරය​.

AKON තම නවතම නිර්මාණය වූ SEXY BITCH හරහා දැන හෝ නොදැන කෙලෙසුවේ අප උදේ සවස මලින්, පැණින්, සුවඳින් පුදා අපරිමිත ගුණ කඳ ගයා වන්දනා කරන ඒ උතුම් බුදු පිළිරුවේ ගෞරවය යි.

මීට දශක හමාරකට පමණ පෙර​, සීතල උඳුවප් මාසයේ එක්‍තරා උදෑසනක​ සයුර දෙබෑ කොටගෙන ආ චණ්ඩ රළ ගෙඩි මහා මන්දිර පොළොවට සමතලා කරමින්, දැවැන්ත වෘක්‍ෂරාජයින් මුලිනුදුරා දමමින්, ටොන් දහස් ගණන් බරැති යකඩ ගොඩවල් පා කර හරිමින්, යකඩ කඳන් අඹරවා දමමින් සියල්ල සුන්නද්ධූලි කර දමන ලදී. නමුදු වෙරළ අද්දර වැඩහුන් බුදුපිළිම වහන්සේ නිරුපද්‍රිතය​. මෙය අතිෂෝක්තියක් නොවේ. සුනාමියට පසු දිනවල වෙරළබඩ මාර්ගයේ ගමන් කරන්නට අවස්ථාවක් ලද්දෝ මේ සත්‍යයේ හාස්කමට සාක්‍ෂි දරති. එයින් දෙවසරකට පමණ පසු බුදු සසුනට පිදූ ලක් දෙරණ පුරා බුදුපිළිම වහන්සේලා රශ්මි මාලා විහිදන්නට වූයේ 2550 වසරකට පමණ පෙර මිහිමත හුන් ඒ අසහාය මනුෂ්‍ය රත්නයේ අසිරිය අප හද මඬලේ සිත්තම් කරමිනි. මේ ආසන්නතම උදාහරණ දෙකක් පමණය​.

මැටි ගුලියක්, ගඩොලක්, ගලක්, පස් කන්දක් වුවද බුදුන් වෙනුවෙන් පූජා කොට පුද සත්කාර කරන්නේ නම් එය පූජනීය බවට පත්වේ. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වේ. එය බුද්ධ භාෂිතය යි. 'ගල් බුදුන්' 'මැටි බුදුන්' යනුවෙන් පිළිම වලට හා පිළිම වන්දනාවට නිග්‍රහ කරන බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් කොටස් එයින් පිළිබිඹු කරනුයේ ඔවුන්ගේ නොදැනුවත්කම​, අසරණකම හා පුහු මාන්‍යය මිසක අන් කිසිවක් නොවේ. ඔවුන් එසේ ගරහනුයේ තමන් සරණ ගිය ශාස්තෘන් වසන්සේට මෙන්ම උන්වහන්සේ විසින් වදාළ ධර්මයට බව වටහා ගන්නට තරම් ඒ මොළ ගෙඩි වැඩී නැත​. ඒ කිරෙන් බාල වූ අපේ කට්ටිය ගැන ය​. බටහිර සමාජය යනු තම මව් පියන් නොහඳුනන​, බල්ලන් බළලුන් මෙන් මහමඟ රති කෙලියේ යෙදෙන​, සදාචාරයක් පිළිබඳ කොහෙත්ම කතිකා නොකළහැකි, සියල්ල නොපෙනෙන දෙවි කෙනෙකුට බාර කල අමුම අමු මිථ්‍යාදෘෂ්ඨික බහුතරයකින් යුතු ජන කොට්ඨාශයකි. බුදු දහම ගැන අල්ප මාත්‍රයක් හෝ අසා දැන ඇති 'අපේ කට්ටිය​' ගේ ඉහත ආකල්ප හා සැසඳීමේ දී මේ බටහිර වැද්දන්ගෙන් අපි කුමක් නම් අපේක්‍ෂා කරන්න ද​? එය කොතරම් ප්‍රායෝගික ද​? මේ උතුම් දහම ගැන ඔවුන් දන්නා කෙංගෙඩියක් නැත​. දැන ගත්ත ද ඔවුනට එහි වටිනාකමක් ද නැත​. (බෞද්ධ යැයි කියා ගන්න බහුතරයක් පිරිස් මේ ‘දහම’ දන්නවා ය යන්නක් ඉන් අදහස් නොකෙරේ)

බල්ලෙක් බිරුවාට කන්දක් පාත් වන්නේ නැත​. නමුත් කන්දට හිතැති බල්ලෝ, කලින් බල්ලාට එරෙහිව බුරන්නට නිරායාසයෙන්ම පෙළඹෙති. මන්ද යත් ඔවුහු එම කන්දට ඇළුම් කරති. එය ඔවුන් වාසය කරන ඔවුන්ගේ කන්දය​. නමුත් ඔවුන් හට කන්ද ගැන හෝ එහි ස්වභාවය ගැන කිසිදු අවබෝධයක් නොමැත​. AKON බුදු සසුනට නිගා කළ පළමුවැනියා ද නොවේ. අන්තිමයා ද නොවේ. අපට තරහ ගන්නට කරුණු ඕනෑ තරම් එදිනෙදා ජීවිතයේ දී හමුවේ. AKON ඒ කරුණු ගොන්නේ එක් කරුණක් පමණි. මිනිස් දිවියක් ලැබීම අති දුර්ලභය​. දුර්ලභව ලබන මිනිස් දිවිය ඉතා කෙටිය​. මේ ලිපිය කියවා නිම වීමට මත්තෙන් වුවද ඒ දිවිය තොර විය හැක​. නමුත් බොහොමයක් දෙනා ජීවත් වන්නේ නොමැරෙන මිනිසුන් ලෙසය​. හදිසියේ මැරුණද යලිත් මනුලොවම පැමිණීමට ඔවුහු සිතා සිටිති. ඒ දේවල් අපට ඕනෑ අයුරින් එසේ සිද්ධ වන්නේ නම් ඉතා 'ෂෝක්' ය​. නමුත් එය එසේ නොවේ. වටිනා මිනිස් දිවියක් ලැබුවද එහි වටිනාකම නොදැන, ජීවත්ව සිටිනතාක් කල් අන් සැපතට ඊර්‍ෂ්‍යා කරති. අනේකවිධ කුඩුකේඩුකම් කරති. ද්වේශ කරති. වෛර කරති. බැන ගනිති. ගහ ගනිති. මරා ගනිති. ඔබ මනුලොවට පැමිණියේ ඔය පව් පොදිය කරගහගෙන කල්ප ගණනකට අපාගත වන්න ද​? ​

AKONලා අපට හෙටත් හමුවනු ඇත​. අද මේ AKONට එරෙහිව මොර දෙන්නන් හෙට ඒ AKONට එරෙහිව මොර දෙනු ඇත​. අනිද්දාත් AKON කෙනෙක් පැමිණිය හොත්....? මැරෙන තුරාවටම ගැටෙමින් මොර දෙමින් හිඳ හිස් අතින්ම මිය යන්නට අපට සිදුවනු ඇත​. ඉරා ඇති ලෑල්ලේ තරම තේරුම් ගෙන අප තැනේ හැටියට ඇනේ ගැසිය යුතු ය​. ඒ සඳහා අප බුද්ධිමත් විය යුතු ය​. අප මේ පසුකරමින් සිටින්නේ ශාසන පරිහානි යුගයකි. එය තේරුම් ගන්නටවත් අප බුද්ධිමත් විය යුතු ය​. එය පිළිගන්නට තරම්වත් අප නිහතමානී විය යුතුය​. එළඹෙන්නේ ධර්මය පැසසුම් ලබන​, ගෞරව ලබන​, පුද සත්කාර​ ලබන රහතුන්ගෙන් පිරීගත් විශාඛා, බන්ධුල මල්ලිකා, අනාථ පිණ්ඩිකලාගේ යුගයක් නොවේ. එය තණ්හා, රතී, රගා ලා ගේ යුගයකි. දුසී ලා ගේ යුගයකි. මාර බලය දසත වෙලාගත් යුගයක ධර්මයට​, සත්‍යයට ඉඩක් නැත​. ඉඩක් ලබාගැනීමට දෙන්නේද නැත​. ඒ පවිටු බලයට එරෙහිව යන්නෝ වැනසී යති. වනසා දමති. ඒ මාර සේනාවේ හැටිය​. තවත් සුළු කලකින් මේ ධර්මය මුළුමනින්ම වැනසී යනු ඇත​. ඒ සඳහා ඕනෑ තරම් ප්‍රායෝගික උදාහරණ අද​ අප හමුවේ පවතී.

අටලෝ දහමට කම්පා වීම ආර්‍ය ශ්‍රාවකයන්ගේ ගුණය නොවේ. 'නින්දා' යනු ඒ අටෙන් එකකි. මේ සියළුම කලබලයන්, කෑ මොරයන් දහම අමතකකොට ආත්ම දෘෂ්ඨිය පෙරටුකොට ගැනීම නිසාය​. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ පළමු අංගය 'සම්මා දිට්ඨිය​' යි. සම්මා දිට්ඨියෙන් තොර පුද්ගලයාට දහම තුළ අනාගතයක් නැත​. අඩුම වශයෙන් ඒ සඳහා උත්සහයක්, වැඩපිළිවෙලක් වත් තිබිය යුතුය​. සමාජයට අවශ්‍ය වන්නේ 'කාඩ්බෝඩ් ධර්මපාල​' ලා නොවේ. බුදු සසුන සුරකින්නට සටන් පාඨ ද අවැසි නොවේ. පවතින සමාජ සන්දර්භය තුළ ඒවා හුදු JOKES ය​. බුදු සසුනක් සුරැකෙන්නේ යම් සේ ද​, එය බුදුරජාණන් වහන්සේ මැනැවින් වදාරා ඇති සේක​. (සසුනට හිතැත්තෝ සසුන රැකීමට මඟ දැනගන්න මොහොතක් මෙහි නතර වී යන්න) පහන් සිළක් නිවී යාමට මොහොතකට මත්තෙන් එය දීප්තිමත්ව දැල්වේ. ගෞතම බුදු සසුන මේ පසු කරමින් සිටින්නේ ඒ නිමේෂය යි. එළඹෙන මොහොත අන්ධකාරය යි.

අධර්මය විසින් මුළුමනින්ම ධර්මය යටපත් කොට මුළු ලොවම අධර්මවාදීන් අතට පත්වීම ඉතා නුදුරු දිනෙකදී සිදුවනු ඇත​. මෙය සිදුවන්නේ පෙරහැරක් ගමන් ගන්නා විලසටය​. AKON යනු ඒ මහා අධර්මවාදීන්ගේ පෙරහැරේ මුලින්ම ගමන් ගන්නා කස කරුවෙකි. තවත් කස කරුවන් මෙන්ම ගිනිබෝල කරුවන් ද අපට හෙට අනිද්දා හමුවනු ඇත​. කසකරුවා ගෙනෙනා පණිවුඩයක් තිබේ. එනම් පෙරහැර ළඟ ළඟම එන බවය​. ඒ ‘AKON සංදේශය' යි.

"පින්වත් ආනන්ද​, මා විසින් දේශනා කරන ලද 84000ක් පමණ වූ මහා ධර්මස්කන්ධය එක් වචනයකට කැටිකොට හකුළුවා දැකිවිය හැකියි. එනම් 'අප්‍රමාදය​' යි." - භාග්‍යවතුන් වහන්සේ
-අප්පමාදේන සම්පාදේථ​-

ගෞතම සංදේශය-
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​......


 


නිමල බුදු දහමට පරිබාහිර වූ තම පෞද්ගලික මතවාද පතුරුවා හැරීම සඳහා comments තීරුව තෝතැන්නක් නොකරගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සඳහා ගෞතම බුද්ධ ශාසනයට පිදුම් දුන් DhammaMedicine තුළ ඉඩක් නොමැති බව කරුණාවෙන් සලකන්න​.

Bookmark and Share

Currently have 2 comments:

  1. Anonymous says:

    සියලු දේ අනිත්‍යය යි..

    බුදු දහමට ද එය බලපානු ඇත..

    අනිත්‍යයි යන වදන ද අනිත්‍ය වනු ඇත..

    එය බුද්ධ දේශනාවයි..

  1. Anonymous says:

    සියලු දේ අනිත්‍යය යි..

    බුදු දහමට ද එය බලපානු ඇත..

    අනිත්‍යයි යන වදන ද අනිත්‍ය වනු ඇත..

    එය බුද්ධ දේශනාවයි..

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails