Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Let's Meditate ( part -11)

Sunday, February 7, 2010 , at 2:07 AM

අනුන්ගේ භාවනා සිත් මැන ගැනීමට යෑම

නාවලපිටියේ අරියවංශ හිමි
භාවනා කිරීම කියන්නේ තරගෙට, රේස් එකට කරන එකක් නොවෙයි. අපි දන්නෙ නෑ අපි තුළ මොන ස්වභාවයක්ද තියෙන්නේ කියලා. මොන ස්වභාවයෙන් ද අපි පිරිනිවන් පාන්නෙ කියන එක අපි දන්නව ද? ආරම්භයේදී අපි ඒ කරුණ දන්නේ නෑ. ධර්මයේ තිබෙන දේ පුරුදු කරනවා. එතකොට එයාට ප්‍රතිඵලය ලැබෙනවා. එතකොට ඒ අය තරග කරන්නේ නෑ. රේස් දුවන්න කල්පනා කරන්නේ නෑ. ඒ අය තව කෙනෙකු අනුකරණය කරන්න උත්සාහ දරන්නෙ නෑ. එක්කෙනෙක් පැයක් වාඩිවෙලා ඉන්නකොට මමත් පැයක් සිටිය යුතු යි. කියන තැනට එන්නේ නෑ.
 
භාවනා පුරුදු කරන කෙනකු විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසය ඇති කරගත යුතුයි කියන කාරණය තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අපි ඉගෙනගත් ඒ කාරණා මුල්කරගෙන භාවනා පුහුණුවිය යුත්තේ කොයි ආකාරයටද කියන දේත්, ඒ වගේම ඒ භාවනා පුහුණු වීමෙන් අපිට කෙබඳු ප්‍රතිලාභයක් අත්කර ගත හැකි ද කියන කාරණා ත්, අපි තේරුම් ගත යුතු යි.

ඒ සඳහා අපිට කියවන්න පුළුවන් ලස්සන දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකාය පොත් වහන්සේ ගේ දෙවැනි කොටසේ. ඒ සූත්‍රයේ නම තමයි කිලේස පරිනිබ්බාන සූත්‍රය. ඒ දේශනාවේදී බුදුරදුන් කියා දෙනවා පින්වත් මහණනි, පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකයේ දකින්නට පුළුවන්. ඒ කොයි වගේ පුද්ගලයෝද?...කියා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් මහණනි, සමහර අය ඉන්නවා මහත් උත්සාහයකින්, විශාල උත්සාහයකින් මේ ජීවිතයේ දී ම පිරිනිවන් පානවා.

ඒ වගේ ම තමයි තවත් පුද්ගලයෝ ඉන්නවා, ඒ අය ගොඩාක් උත්සාහ කරනවා, ගොඩාක් උත්සාහ කරල මිය පරලොව ගියාට පස්සෙ ඊළඟ ජීවිතයක දී පිරිනිවන් පානවා.

ඒ වගේ ම තව පුද්ගලයෝ ඉන්නවා ඒ අය ගොඩාක් උත්සාහ කරන්නෙ නෑ. කලින් අය තරම් උත්සාහ කරන්නෙ නෑ. ඒ කියන්නේ උත්සාහ නොකර ද? උත්සාහ නො කර නොවෙයි.

අර කළින් කිව්ව අය තරම් විශාල උත්සාහයක් නෙමේ එයා ගන්නේ. එයාට අර කළින් කෙනාට වඩා යම් සුව පහසුවක් තියෙනවා. ඒ සුව පහසුවෙන් යුක්ත ව ධර්මය පුරුදු කරලා මේ ජීවිතයේදී පිරිනිවන් පානවා. අන්න එබඳු අයත් ඉන්නවා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේම සුව පහසුවෙන් ධර්මය පුරුදු කරමින් කය බිදිලා මිය පරලොව ගියාට පස්සේ ඊළඟ ජීවිතවල දීි පිරිනිවන් පාන පිරිසකුත් ඉන්නවා. එතකොට පුද්ගලයෝ වර්ග හතරක් ගැන එලෙස කියා දෙනවා.

එතකොට බලන්න අපි ඔක්කොම එක වගේ නිවන් දකියි කියලා හිතුවට ඒ දේ වන්නේ නෑ නේද.... එතකොට අපිට මෙතන තරග කරන්න දෙයක් තියෙනවා ද... නෑ නේ ද?, එහෙනම් තරගයට භාවනා කිරීම මුලාවක්, බොරුවක් කියල දැන් තේරෙනව ද? අන්න ඒ නිසයි අපි හැමදාම කියන්නේ රේස් දුවනවා වගේ මේ කටයුත්ත කරන්න බෑ කියලා.

අරයා පැයක් ඉන්නවා නම්, මමත් පැයක් ඉන්න ඕනෑ. එහෙම එකක් නේ ද බොහෝ විට තිබෙන්නේ. හරි වැඩේ අරයා ගොඩක් භාවනා කරනවා. මට බෑ නේ කියල කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැකලා අනෙක් කෙනා දුක් වනවා. ඒ වගේ හැඟීමුත් යම් අයට තියෙනවා නේ ද?

භාවනා කිරීම කියන්නේ තරගෙට, රේස් එකට කරන එකක් නොවෙයි. අපි දන්නෙ නෑ අපි තුළ මොන ස්වභාවයක්ද තියෙන්නේ කියලා. මොන ස්වභාවයෙන් ද අපි පිරිනිවන් පාන්නෙ කියන එක අපි දන්නව ද? ආරම්භයේදී අපි ඒ කරුණ දන්නේ නෑ.

ධර්මයේ තිබෙන දේ පුරුදු කරනවා. එතකොට එයාට ප්‍රතිඵලය ලැබෙනවා. එතකොට ඒ අය තරග කරන්නේ නෑ. රේස් දුවන්න කල්පනා කරන්නේ නෑ. ඒ අය තව කෙනෙකු අනුකරණය කරන්න උත්සාහ දරන්නෙ නෑ. එක්කෙනෙක් පැයක් වාඩිවෙලා ඉන්නකොට මමත් පැයක් සිටිය යුතු යි. කියන තැනට එන්නේ නෑ.

ඊළඟට අරයා මෙහෙම ඇති, මෙයා මෙහෙම ඇති කියල අන් අය ගැන කල්පනා කරන්න යන්නේ නෑ. අහන්න, බලන්න යන්නේ නෑ. ඔයා මොකද කරන්නේ? මම නම් දැන් මේක කරන්නේ ඒ විදියට මොකුත් අහන්න යන්නේ නෑ. මේ ධර්මය දන්න කෙනා පුද්ගලයො ගැන ප්‍රමාණ කරන්න යන්නෙ නෑ.

ඇයි ඒ....? ඒක අපිට කරන්න බෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. හතර ආකාරයකින් තමයි ඒ අය පිරිනිවන් පාන්නෙ. එතකොට අපි මේ කාරණා දැන ගන්න ඕන. දැන ගත්තේ නැත්නම් අපි අප තුළින් නෙමෙයි අන් අය තුළිනුත් ධර්මය බලන්න කල්පනා කරනවා.

අරයා මොනව කරනව ද දන්නේ නෑ කියලා කල්පනා කරලා දැන් ඔයා මොකද කරන්නේ? කියල අහල බලනවා. ඊට පස්සේ මම නම් දැන් කරන්නේ මේක.... එයා කරන්නෙ මේක, එහෙනම් එයාට වඩා මම උසස් කියල ඒ විදියට මැන ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම ප්‍රමාණ කර ගන්න කල්පනා කරන්න එපා. කිසි කෙනෙක් ඒ විදියට තමන් මොකක් ද කරන්නේ, අනිත් අය මොකක් ද කරන්නේ කියලා කරන දේ කථා කර ගන්න එපා.

අනුන් කරන දේ කථාකරල අපිට අර්ථයක් කරා යන්න අමාරු යි. අවබෝධයක් කරා යන්න බෑ. කරන දේ කථා කළොත් එයාට අනර්ථයක් ස;ම් ඉඩක් තිබෙනවා.

කෙනෙක් යම් භාවනාවක් කරනවා. ඉතින් එයා ගිහින් යහළුවෙකුගෙන් අහනවා, දැන් ඔයා මොකක්ද කරන්නේ. (භාවනාවේ) කොතන ද ඉන්නේ... කියල. එතකොට එයා කියනවා මම මේ දේ තමයි කරන්නේ කියල. ඒ විදියට ඒ දෙන්න තමන් කරන දේවල් කථා වෙනවා. එතකොට එක්කෙනෙක් තුළ හට ගන්නවා. මම නම් සමාධියෙන් අඩු යි කියල අදහසක්. අනෙක් එක්කෙනා තුළ හට ගන්නවා. මම නම් සමාධියෙන් වැඩි යි කියල අදහසක්.

එතකොට ඒ ගොල්ලන්ට යහපත වුණාද? එක්කෙනෙක් තුල හීන මානය ඇතිවුණා. අනිත් එක්කෙනා තුළ අධි මානය ඇතිවුණා. යහපතක් වුණේ නෑ. හැබැයි යම් කෙනෙකුගේ අවවාදයක් ගන්නවා නම්, එයාට තමන් ගැන කියන්න සිද්ධ වනවා. මම දැන් මෙහෙම කරනවා, මට එතනින් එහාට කරන්ට තේරෙන්නේ නෑ. අනේ කියලා දෙන්ට කියලා. එන්න එතනදී කියන්ට වෙනවා.

ඒ ඇරුණම භාවනාවේ යෙදෙන විට කථා නො කළ යුතු යි. කථා කිරීමෙන් කාටත් හානියක් වනවා. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් කථා කරගෙන හිතට උල් ඇන ගන්නවා. එහෙම වනවා නේද? අන්තිමට දස අතේ කල්පනා කරනවා. කථාව ඉවර වෙලා දස අතේ කල්පනා කරනවා. අනේ මට වෙච්ච එකක් මට මොකද වුනේ. අරය සමාධිය මෙච්චර වඩල, මට තාම නෑනේ...කියල.

එතකොට බලන්න භග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් පෙන්වා දෙනවා, මේ ජීවිතයේ දී ගොඩක් මහන්සි වෙලා, ගොඩක් වෑයම් කරලා පිරිනිවන් පාන කෙනා ගැන. පින්වත් මහණනි, කෙනෙක් ඉන්නවා, එයා ශරීරය අසුභ වශයෙන් බලනවා ඒ කියන්නේ අසුභ භාවනාව පුරුදු කරනවා. ඊළඟට එයා ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරනවා. ඊළඟට එයා සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිච්ච සඤ්ඤාව, පුරුදු කරනවා. ඊළඟට එයා මරණ සතිය වඩනවා. අර කලින් අපි ඉගෙන ගත්ත භාවනා පහ පුරුදු කරනවා. හැබැයි එයා ඒ භාවනා පුරුදු කරන්නේ පංචසේඛ බල ඇසුරු කර ගනිමින්, සේඛ බල පුරුදු කරමින්, සේඛ බල ඇසුරු කර ගනිමින් තමයි අර භාවනා එයා පුරුදු කරන්නේ. එතකොට අන්න ඒ විදියට ඒ සේඛබල ඇසුරු කර ගනිමින් ම, සේඛ බල දියුණු කර ගනිමින් ම මේ භාවනා පහ පුරුදු කරන කොට එයාට ඉන්ද්‍රිය ධර්ම අධිමාත්‍රව පහළ වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බලවත් ව පහළ වනවා. අන්න එයා මේ ජීවිතයේදී ම පිරිනිවන් පානවා කියල, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, එයා ගොඩාක් මහන්සි වෙනවා, හැබැයි එයා මේ ජීවිතයේ දී ම පිරිනිවන් පානවා. එයා කොහොමද ඒ දේ සිදු කරන්නේ.... සේඛ ධර්ම පුරුදු කරනවා. සේඛ ධර්ම පුරුදු කරගෙන වාසය කරනවා.

මොනවද ඒ සේඛ ධර්ම? සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා මෙන්න මේ පංච සේඛ බල මෙයා පුරුදු කරනවා. නිතර පුරුදු කරනවා. ඒවා ඇසුරු කරගෙන වාසය කරනවා. ඒව අතහරින්නෙ නෑ. ඒ සේඛ ධර්ම පුරුදු කරමින්ම කලින් කිව්ව භාවනා පහ පුරුදු කරනවා. අන්න එයාට පංච ඉන්ද්‍රිය අධිමාත්‍රව පහළ වෙනවා. මොනවද ඒ පංච ඉන්ද්‍රිය? සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම අධිමාත්‍ර ව, ඒ කියන්නේ බලවත් විදියට පහළ වනවා. උපදිනවා. අන්න එබඳු කෙනා මේ ජීවිතයේ දී ම මහත් වෑයමක් කරලා අතිශයින් මහන්සි වෙලා, ගොඩාක් මහන්සි වෙලා පිරිනිවන් පානවා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, තව කෙනෙක් ඉන්නවා, එයත් අර විදියට ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, විර්ය, ප්‍රඥාව, කියන සේඛ බල පුරුදු කරනවා. ඒවා ඇසුරු කරගෙන එයා වාසය කරනවා. ඒ සේඛ ධර්ම පුරුදු කරමින්ම එයා අසුභ භාවනාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බලොකේ අනභිරත සංඥාව, සබ්බසංකාරේසු අනිච්ච සංඥාව, මරණ සතිය කියන ඒ භාවනා පහ පුරුදු කරනවා. හැබැයි එයාට ඉන්ද්‍රිය ධර්ම අධිමාත්‍ර ව පහළ වන්නේ නෑ. ඉන්ද්‍රිය ධර්ම මෘදුවටයි එයාට පහළ වෙන්නේ. අර කලින් කෙනාට ඉන්ද්‍රිය ධර්ම බලවත් ව පහළ වෙනවා. දැන්මේ දෙවෙනි කෙනාට ඉන්ද්‍රිය ධර්ම බලවත් ව පිහිටන්නේ් නෑ. හට ගන්නේ් නෑ. දුබලයි. අන්න එයා මේ ජීවිතයේ දී පිරිනිවන් පාන්නෙ නෑ. එයා පිරිනිවන් පාන්නේ ඊළඟ ජීවිතයේ දී.

එතකොට බලන්න ඒ දෙන්න ම එක ම භාවනා නේද කරන්නේ? එක ම භාවනා ඒ දෙන්න ම කරනවා. වෙනස මොකක් ද? ඉන්ද්‍රිය ධර්මවල වෙනසක් තිබෙනවා. පළමුවන කෙනා ගේ ඉන්ද්‍රිය ධර්ම බලවත්. දෙවන කෙනා ගේ ඉන්ද්‍රිය ධර්ම බලවත් නෑ. දුබලයි. දැන් වැටහෙනවා ද කරන භාවනාවෙන් කෙනෙක් මනින්න බෑ කියලා. ඒ වගේ ම දැන් වැටහුණා ද කෙනකු ගේ සමාධියෙන් කෙනෙක් මනින්න බෑ කියලා. ඒ නිසා කවදාවත් කෙනෙක් කරන භාවනාවෙන් එයා ව මනින්න එපා. මම මෙච්චර කරනවා, අරය වෙච්චර යි. එයා නම් පැයක් කරනවා, මම පැය දෙකක් කරනවා එහෙම මනින්න බෑ. ඒ නිසා කරන දේවල් තුළින් මනින්න බෑ. අනික පුද්ගලයන් ගේ ඉන්ද්‍රිය ධර්ම අපිට කොහෙත් ම මනින්න බෑ. ඒ නිසා ප්‍රමාණ කරලා පුද්ලයන් ගැන තක්සේරුවකට එන්න එපා. එහෙම කළොත් වන්නේ අනවශ්‍ය විදියට තමන් ගේ හිත පිරිහෙන තත්ත්වයට පත්වන එක විතරයි.

(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම්දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)
http://www.lakehouse.lk/budusarana/2010/02/05/tmp.asp?ID=vision02

Bookmark and Share

Currently have 1 comments:

  1. indik says:

    ස්තුතියි මේවගේ ඒව ලියනවට...

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails