'දස බලධාරී අප මහ මුනිරජු' – (03)
'විශාරද' කිව්වම එක පාරට අපේ ඔළුවට එන්නේ සංගීතඥයො. මොකද අපි දන්න ඒ වගේම අහන්න, දකින්න ලැබෙන විශාරදේ ඒකනෙ. ඔබ අපි සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ විශාරද බව ගැන අපේ දැනුම මොන ආකාරද.....? දිව්‍ය, මනුෂ්‍ය, මාර, බ්‍රහ්ම ආදී සකළ විධ පිරිස් ඉදිරියේ අභීතව සිංහනාද කරමින් විශාරදව දම් පෙළහර පෑ ඒ මහා උත්තමයාණන් තමයි අපි මුළු හදින් සරණ ගියේ. ඒ ධර්මරාජයාණන් වහන්සේ මේ සියළු පිරිස් අභිමුවේ ප්‍රාතිහාර්‍ය සහිතව සිදුකරන ලද ධර්ම දේශනා සැබැවින්ම ආශ්චර්‍යයි. ඒවා අසන විට, සිතන විට පවා ලොමු දැහැගැන්වෙන සුළුයි. නෙතඟට කඳුලක් නොඑන්නට බැරි තරම්ම ඒ අසිරිය මහානුභාව සම්පන්නයි. ඒ ශ්‍රද්ධාවෙ පිහිටලා තිසරණ සරණ ගිය බොහොම සුළුතරයක් වූ ශ්‍රාවකයන් හට.
එතකොට බහුතරය.....? බලන්න අවාසනාවක මහත. තමුන්ගේ ශාස්තෘන් වහන්සේ 'සත්ථා දේව මනුස්සානං' කියලා ඒ බහුතරයට අමතක වුනා. මිනිසුන්ගේ විතරක් නෙවෙයි, දෙවියන්ගේත් බ්‍රහ්මයන්ගේත් එකම ශාස්තෘන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. එහෙව් ශාස්තෘන් වහන්සේ නමක්, එහෙව් ධර්මයක් තියෙද්දි බහුතරය වන 'සම හරක්' මේ පුහු ලාමක දේව, බ්‍රහ්ම සංකල්ප සරණ ගිහිල්ලා. අහසට දෑත් දිගු කරමින් මොනවදෝ ඉල්ලා හඬා වැටෙනවා. මේක හරියට පිඟානට බත් බෙදලා තියෙද්දි අනුන්ගෙ ඉඳුල් යදිමින් හිඟමනේ යනවා වගේ වැඩක්නෙ. නොදැනුවත්කම හා අනුවණකම නිසා හටගත් අසරණකමක් හැරෙන්නට වෙන මුකුත්ම ඒ තුළ තියෙනව ද?
ඉතින් අපි කතා කළේ තථාගතයන් වහන්සේගේ විශාරද භාවය ගැනනෙ. උන්වහන්සේ අප කෙරෙහි මහත් සෙනෙහසින්, අනුකම්පාවෙන්, අවබෝධය පිණිසම, සිත් පහදවා ගැනීම පිණිසම තමන් වහන්සේ තුළ වූ අද්විතීය, අසම සම මහා විශාරද ඥාණ හතරක් ගැනත් වදාරනු ලැබුවා.
1. "ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ කියා ප්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ ධර්මයන් අවබෝධ කර නැත" කියා ලෝකයේ කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේය යන්න කිසිසේත්ම සිදු නොවන දෙයකි. එහි නිමිති මාත්‍රයක්වත් නැත. මෙය අවබෝධයෙන්ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්‍ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළය.
2. "ඔබ වහන්සේ නිකෙලෙස් වූ රහතන් වහන්සේ නමක් කියා ප්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ කෙලෙසුන් ප්‍රහාණය කළේ නැත" කියා ලෝකයේ කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේය යන්න කිසිසේත්ම සිදු නොවන දෙයකි. එහි නිමිති මාත්‍රයක්වත් නැත. මෙය අවබෝධයෙන්ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්‍ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළය.
3. "ඔබ වහන්සේ නිවන් මඟට අනතුරු දේ වශයෙන් යම් යම් දේ පෙන්වා දී තිබෙනවාද, ඒ දේ සේවනය කළාට කිසිදු අනතුරක් නැත" කියා ලෝකයේ කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේය යන්න කිසිසේත්ම සිදු නොවන දෙයකි. එහි නිමිති මාත්‍රයක්වත් නැත. මෙය අවබෝධයෙන්ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්‍ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළය.
4. "ඔබ වහන්සේ යම් ජීවිත අවබෝධයක් ඉලක්ක කොට ධර්මය දේශනා කරන නමුත්, එම ධර්මය පුරුදු පුහුණු කරන කෙනෙකුට දුකින් නිදහස් වීම කළ නොහැකිය" කියා ලෝකයේ කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා, කරුණු සහිතව උපවාද කරන්නේය යන්න කිසිසේත්ම සිදු නොවන දෙයකි. එහි නිමිති මාත්‍රයක්වත් නැත. මෙය අවබෝධයෙන්ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්‍ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළය.
බලන්න පින්වත් මිතුරනේ ඔයාලම මොහොතකට හිතලා..... මෙවැනි උදාර ඥාණයන්ගෙන් සපිරි පරිපූර්ණ ශාස්තෘත්වයක් බුදුවරයකුම තුළින් මිස අන් කවරකු තුළින්, කවදා, කෙලෙසක නම් දකින්නද.....? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපගේ සිත් පහදවා ගත යුත්තේ ඒ නිසාමයි.
උන්වහන්සේ විසින් වදාරණ ලද 'දුක', අවබෝධ කළ යුතු ආර්‍ය සත්‍යයක් කියා අප සිත් ඒ කෙරෙහි පැහැදිය යුතුයි. උන්වහන්සේ විසින් වදාරණ ලද අවිද්‍යා, තෘෂ්ණා ආදී වූ දුක හටගැනීමට හේතු හෙවත් 'දුක්ඛ සමුදය', ප්‍රහාණය කළ යුතු ආර්‍ය සත්‍යයක් කියා අප සිත් ඒ කෙරෙහි පැහැදිය යුතුයි. උන්වහන්සේ විසින් වදාරණ ලද 'දුක්ඛ නිරෝධය', විද්‍යා විමුක්ති වශයෙන් සාක්‍ෂාත් කළ යුතු ආර්‍ය සත්‍යයක් කියා අප සිත් ඒ කෙරෙහි පැහැදිය යුතුයි. උන්වහන්සේ විසින් වදාරණ ලද දුක නිරුද්ධ වීම පිණිස පවතින ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු ආර්‍ය සත්‍යයක් කියා අප සිත් ඒ කෙරෙහි පැහැදිය යුතුයි. මෙවැනි ආකාරයේ පැහැදීමක්වත් මේ පුංචි හිත් තුළ ඇතිකරගන්න නොහැකි වුනොත් අපේ 'බෞද්ධ' භාවය ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් පමණක්ම හෙට දවසට ඉතිරි වේවි.
සැම සිත් තෙරුවන කෙරෙහි පැහැදේවා!!!
ශ්‍රද්ධා ලාභය කිසිදු සිතකින් ගිලිහී නොයේවා!!!
(මහමෙව්නාව 2551 වෙසක් සඟරාව 'මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි' වෙත අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත ලිපියක් ඇසුරෙන්)
Currently have 0 comments: