Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

16 Dreams of King Kosala (part 04)

Sunday, November 8, 2009 , at 7:15 PM


ඉතින් කොසොල් රජතුමා තමන් දුටු අට වෙනි සිහිනය ගැනත් කියන්නට පටන් ගත්තා.

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගා වේ දොරකඩ පැන් පිරුණු එක විශාල කලයක් තිබ්බා. ඒ කලේ වටේට තවත් හිස් කල ගොඩක් තබා තිබුණා. ක්‍ෂත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ සතර කුල වල මිනිසුන් අට දිසාවෙන් ම කලවලට වතුර අරගෙන ඇවිත් අර පැන්පිරී තිබුණු විශාල පිරුණු කලය ම පුරවනවා. ඒ විදියට පැන් වත් කර‍නකොට වත් කරන වත් කරන පැන් පිරී ඉතිරි ඉතිරී ගලා ගෙන යනව. ඒත් ආයි ආයිමත් ඒ පිරුණු කලේට ම පැන් වත් කරනවා. හිස් වූ කල දිහා බලන කෙනෙක් වත් නැහැ. මේක තමයි මම දැක්ක අටවෙනි හීනය. ස්වාමීනී, මේ හීනයට විපාක මොනවා ද?"

"මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ ම යි. අනා‍ගතයේ ලෝකය පිරිහිලා යනවා. රටරාජ්‍ය දුප්පත් වෙනවා. රජදරුවනුත් දුප්පත් වෙලා අකුසලයට බර වෙනවා. යම් රජ කෙනෙක් ඉසුරුමත් ව වාසය කරනවා නම් ඔහු ගේ භාණ්ඩාගාරයේ පවා කහවණු ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ රජවරු මේ විදියට දුප්පත් වුනා ම ගම් රට වාසී මිනිසුන් ලවා තමන් ගේ ම වැඩකටයුතු කර්මාන්ත ආදිය කරවනවා. රාජකාරි වලින් මිනිසුන් පීඩාවට පත් වෙනවා. ඒ විදියට පීඩාවට පත් වෙලා තමන් ගේ කර්මාන්ත අත්හැර දමලා රජ දරුවන් උදේසා ම වී, මුං, තල ආදී දේ ත් අනෙකු ත් වන ආරාම මල් ඵල වැල ආදියත් වගාදිගා කරනවා. රජ දරුවන් වෙනුවෙන් ම සේවය කරනවා. ගොවිතැන් බත් වලින් ලැබෙන වී ආදී දේ අරගෙන ගොස් රජ්ජුරුවන් ගේ ම භාණ්ඩාගාරය ‍පුරවනවා. තමන් ගේ ගෙදර හිස් වී ගිය කොටුගුල් ආදිය දිහා බලන්නෙවත් නැහැ. ඒක හරියට හිස් වූ කල දිහා නො බලා, පැන් පිරුණු කලයට ම පැන් පුරවනවා වගෙ යි. මේ සිහිනය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා නව වෙනි හීනය ත් කියන්න. "

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පඤ්ච වර්ණ නෙලුම් වලින් යුක්ත ගැඹුරු හැම පැත්තෙන් ම තොටුපල තිබෙන පොකුණක් දැක්කා. ඒ පොකුණට හැම පැත්තකින් ම සිව් පා දෙපා සතුන් බැහැලා පැන් බොනවා. ඒ විලේ ගැඹුරු වූ මැද වතුර කැළඹිලා මඩ වෙලා තිබුණා. නමුත් ඒ විලේ සතුන් බහින ඉවුර හරියේ වතුර නො කැළඹී, හොඳට පෑදිලා තිබුණා. මේක තමයි මම දැක්ක නව වෙනි හීනය. ස්වාමීනි, මේ හීනයේ විපාක මොනවා ද?"

" මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. සතර අගතියට ගොස් රාජ්‍යපාලනය සිදු කරනවා. ධාර්මික ව කටයුතු විසඳන්නේ නැහැ. අල්ලස් ගන්නවා. ධන ලෝලී වෙනවා. රට වැසියන් කෙරෙහි ශාන්තියක් දයානුකම්පාවක් දක්වන්නේ නැහැ. සැඩ ඵරුස විදියට මිනිසුන්ව පීඩාවට පත් කරමින් අය බදු ගනිමින් මිනිසුන් ගේ ධනය ලබා ගන්නවා. මිනිසුන් අය බදු ගෙවා ගන්නට නො හැකි ව ගම් නියම් ගම් ආදිය හැර දමා දුර ඈත ප්‍රදේශවලට ගොස් ජීවත් වෙන්නට පටන් ගන්නවා. මධ්‍යම ජනපද ශූන්‍ය වී යනවා. ප්‍රත්‍යන්ත දුර ඈත ජනපද මිනිසුන් ගෙන් පිරී යනවා. ඒක හරියට පොකුණේ මැද වතුර මඩ වී ඉවුරු සමීපයේ පෑදී පවතිනවා වගෙ යි. මේ හේතුවෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා දස වෙනි සිහිනය ත් ප්‍රකාශ කරන්න."

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එක ම හැලියේ ඉදෙන බත අපාක වෙනවා දැක්කා. අපාක වෙනවා කියන්නේ පලා බෙදා තැබුවාක් වගේ බත ඉදෙන්නේ තුන් විදියකට යි. ඒ කියන්නේ එක කොටසක් හොඳට ම බෙරි වෙනවා. තවත් කොටසක් නො තැම්බුණු සහල් වලින් යුක්ත යි. අනෙක් කොටස හොඳට ඉදෙනවා. එක ම බත් හැලියේ බෙරි වුණ බතු යි, හාලු යි, හොඳට ඉදුනු බතු යි කියන තුන් කොටස ම තියෙන විදියට තමයි ඉදෙන්නේ. මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?"

"මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. රජවරු අධාර්මික වූ විට රාජකාරිවල යෙදී සිටින පුද්ගලයින් ද, බ්‍රාහ්මණ ගෘහපතිවරු ද, ගම් නියම් ගම් වැසියන් ද, ශ්‍රමණබ්‍රාහ්මණයින් ද ඇතුළු මේ සියලු මිනිසුන් අධාර්මික වෙනවා. එතකොට ඒ පිරිස් වලට අරක්ගත් දේවතාවන්, බලි බිලි පිලිගන්නා දේවතාවන්, වෘක්ෂ දේවතාවන්, ආකාසවාසී දේවතාවන්, ඇතුළු දේවිවරුද අධාර්මික වෙනවා. අධාර්මික රජවරුන් ගේ ගේ රටවල් වල විශම වූ මහා සුළං හමා යනවා. ඒ සුළං ආකාසයේ පවතින දේවතා විමාන කම්පා කරනවනවා. එම විමාන කම්පා වූ විට ඒ විමන් වැසි දෙවියන් කුපිත වෙනවා. කුපිත වී වැසි වසින්නට නො දෙනවා. වසින් වැස්සක් වුණත් මුලු රටට ම එක වගේ වහින්නේ නැහැ. වැස්සක් වැස්සත්, ගොවිතැන් ආදියට උපකාර වන විදියට වහින්නේ නැහැ. නගරයේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම පිටිසර ත්, වැව් පොකුණු විල් වලටත් එක වගේ වහින්නේ නැහැ. වැව් ඉස්මත්තට වහිනවා නම් වැව යට ප්‍රදේශයට වසින්නේ නැහැ. යට ප්‍රදේශයට වසිනවා නම් වැව් ඉස්මත්තට වහින්නේ නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් අධික වර්ෂාව නිසා විනාශ වී යනවා. සමහර ප්‍රදේශවල ගොයම් වැස්ස නැති නිසා මැරී යනවා. සමහර ප්‍රදේශවල පමණක් සම වර්ෂාව ඇති වී හොඳින් අස්වනු ලැබෙනවා. මේ විදියට එක ම රජ ‍කෙනෙකුගේ රාජ්‍යයේ වපුරණ ලද ගොයම් එක හැලියේ පැහෙන බත් තුන් කොටසක් වූවා ක් වගේ තුන් විදියකට තමයි පැහෙන්නේ. මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා එකොළොස් වන හීනය ත් කියන්න.

(මතු සම්බන්ධ යි..)
(This article is written with the assistance of jathakakatha.org and tipitaka.org)

Bookmark and Share

Currently have 2 comments:

  1. Senanayaka says:

    ithuru heena tikath danna mekata godak pin

  1. Rukshan Fernando says:

    පින්වත් කලන මිතුරනි,
    හැකියාවක් ඇත් නම් ඉතුරු සිහිනද අප හට කියවීම පිණිස මෙහි පල කරන්න.
    ඔබ සැමට බොහෝ පින්!
    තෙරුවන් සරණයි!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails