Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

look at yourself..

Friday, October 9, 2009 , at 6:16 PM


බලන් දිවියේ අරුමය..

1. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

2. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඩුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

3. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

4. කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුව ම හරි ම ලස්සන යි. ලමුත් දැන් ජරාව විසින් ඒ ගෙස් ගලවල දාල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

5. ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සන යි. දක්ෂ චිත්ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

6. ඉස්සර මගේ ඇස් දෙක ලොකු යි, දිග යි. නිල් මැණික් දෙකක් වගේ බැබලූනා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

7. ඉස්සර මගේ නැහැය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නැහැයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

8. මගේ මේ කන්පෙති ඉස්සර හරි ම ලස්සන යි. ලස්සනට හදාපු රත්තරන් වළලූ වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

9. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

10. ඉස්සර මගේ කටහඩ හරි ම මිහිරි යි. වනාන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. දැන් මගේ කටහඩ තැනින් තැන පැකිලෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

11. ඉස්සර මගේ ඛෙල්ලල ලස්සනට ඔප දමාපු රත්තරන් ඛෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සන නැතිවෙලා ගිහින්, ඛෙල්ල නැමිල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

12. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා, පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

13. ඉස්සර මගේ අත්වල ඇගිලි රත්තරන්වලින් කරපු රූපයක් වගෙයි. රන් වළලූ, මුදු දාල ලස්සන වැඩිවෙලා තිබුණ. නමුත් දැන් ඒ ඇගිලි ජරාවට පත් වෙලාල පේන්නෙ මුල් ගොඩක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

14. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා, වතුර හිඳිච්ච පෙරහන්කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

15. ඉස්සර මගේ ශරීරය හොඳට මැදල ඔපදාපු රත්තරන් රූපයක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලාල ඇග පුරා ම රැළි එල්ලා වැටෙනවා. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

16. ඉස්සර මගේ කළවා දෙක ලස්සන ඇතෙකු ගේ හොඩවැල වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා, උණ බට දෙකක් වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

17. ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපුරවලින් සරසල හරි ම ලස්සන යි. නමුත් දැන් ජරාවට පත්වෙලා, තලපිති දෙකක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

18. ඉස්සර මගේ දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවල තියෙනව වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. යටිපතුල් පැලිල රැළි ගැහිල තියෙන්නෙ. සත්යවාදී බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

19. ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්වෙ. ජරාවෙන් දෙදරලා යනව. බොහෝ දුකට වාසස්ථානය යි. දැන් මේ ශරීරය පිළිසකර කර ගන්ට බැරි තරමට කඩා වැටෙන්ට ළං වුන දිරාපු ගෙයක් වගෙයි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

මේ වනාහී අම්බපාලී රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

(පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ග්රන්ථය ඇසුරිනි.)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails