Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු සසුන වනසන්නෝ කවරහු ද...?

Saturday, October 10, 2009 , at 1:21 PM


බුදු සසුන වනසන්නෝ කවරහු ද...?


(01 කොටස)


පූර්විකාව..

ජරා මරණයන් ගෙන් දුක් විඳින ලෝක සත්වයා ව සංසාර දුකින් නිදහස් කරගැනීම උදෙසා ම මෙළොව පහළ වී වදාළ සත්ය නාම ඇති අලාමක ප්රඥා ඇති අප ගේ ශාස්තෘ වූ ඒ ගෞතම සම්බුදු සමිඳුන් අනුපාදිශේෂ වශයෙන් පිරිනිවන් පා වසර 2553 කුත් ගත වී ගිය සමයකි මේ.

මෑත ඉතිහාසයේ වෙන කවරදාකට ත් වඩා බුදු සමිඳුන් ගේ දහම ගැන කථා කරන, සසර දුකින් එතෙර වීම පිණිස වෙර වීරිය වඩන පිරිසක්, මේ වත්මන තුළ බිහිව සිටීම බුදු සසුනේ අභිවෘද්ධියකි, ලොවට යහපත සලසන්නකි.

යහපත් දෙයක් සිදු වෙමින් පවතින විට එය වළකාලන්නට ලොව පෙනෙන නො පෙනෙන සියලු පවිටු බලවේග ක්රියාත්මක වීම එදා සිට අද දක්වා සේ ම සැම කල්හි ම ලෝකයේ පවතින ධර්මතාවයක් ය. සැබෑ බුදු සසුන ඉස්මතු කිරීම උදෙසා දැවැත්ත කාර්යභාරයකට උරදී සිටින උත්තමයන් ට සහ ආයතනයන් ට දිගින් දිගට ම එල්ල වන බාධක කරදර තුළින් ඒ ධර්මතාවය වත්මන තුළ ද ක්රියාත්මක වන ආකාරය මනාව දැක ගත හැකි ය.

යම් කිසි වටිනා භාණ්ඩයක් වෙළඳ පොළට පැමිණි විට ඒ හා සමාන ව්යාජ භාණ්ඩ ද එහි තැන ගැනීම සඳහා ඉදිරිපත් වීම සාමාන්ය වෙළඳපොල රටා ව යි. එය ඒ අයුරින් ම ආදේශ වෙමින්, සැබෑ බුදු දහම ඉස්මතු වෙද්දී, විවිධ නම් වලින්, විවිධ අර්ථකතන වලින් බුදු දහමේ නාමයෙන් නොයෙක් මත වාද ඉදිරිපත් වීම ද අද සුලභව දක්නට ලැබේ..

එම ඉමිටේෂන් අර්ථ කථන හා මතවාදයන් ඉදිරිපත් කරන්නේ උගත් යැ යි බුද්ධිමත් යැ යි සමාජයෙන් නාමික ලෙස සාධු සම්මත පිරිස් විසින් වීම ඉතාමත් ඛේද ජනක ය. මන්ද ඔවුන් ගේ චතුර වාග් විලාශය, භාෂා හැසිරවීම හා සාමාන්ය ජනයාට නො තේරෙන වචන භාවිතා කිරීම ආදී භාෂාවේ අවයවයන්ට බොහෝ පිරිසක් ගොදුරු වී යා ම යි.

එවන් වාතාවරණයක් තුළ සැබෑ බුදු දහම ඉස්මතු කරන්නේ කවුද යන්න ත් බුදු සසුන රකින්නට යැ යි කියා ගොයුම් ගොත් සසුන වනසන්නේ කවුරුන් ද යන්න ගැන ත් දැනුවත් වී සිටීම සැබෑ අවශ්යතාවයකි.

පළමුවෙන් ම කිව යුත්තේ මෙම ලිපිය, කුණු වී ගිය ලබු කට්ටක ඌරු වසුරු දැමුවාක් මෙන්’, ලොවෙහි ඇති සියළු හිස් මතවාදයක් ගෙන් හිස් මොල පුරවා ගෙන එය ම හිස දැරූ රන් ඔටුන්නකැ යි සිතා හිස උදුම්මවා ගෙන, එනමුත් එයින් ම තමන් සේ ම ලෝකය ද ගඳ ගස්වන, බුද්ධිමත් යැ යි සම්මත මිනිසුන්ට ලියනු ලබන එකක් නො වේ. මෙය ප්රඥාවන්තයින්ට ලියනු ලබන්නකි.

ප්රඥාවන්තයා යනු කවරෙක් ද..?

කුසලය හා අකුසලය බුදු සමිඳුන් ගේ ධර්මය තුළින් වෙන් කොට හඳුනාගෙන කුසල් වඩන්නට ත් අකුසලය දුරු කරන්නට සිත මෙහෙයවිය හැකි තැනැත්තා ය ප්රඥාවන්තයා වන්නේ. වෙනත් විදියකින් පවසනවා නම් ජීවිතයේ සැබෑ තත්වය තේරුම් ගත හැකි තැනැත්තා ය ප්රඥාවන්තයා වන්නේ. නො එසේ නම් සිව්සස් දහම් පිළිබඳ වැටහීමක් අතිකරගත හැකි තැන්තාය ප්රඥාවන්තයා වන්නේ. එසේ නො මැති ව සියලු හිස් මතවාද වලින් හිස් ගෙඩිය පුරවා ගෙන හර බර යැයි පෙනෙන සම්ප්රප්ඵලාප ඇද බා ලෝකය මුලා කරන්නා නො වේ.

ලෝක සම්මතයෙන් ආචාර්ය ප්රාචාර්ය හෝ මහාචාර්ය වේවා, ඔහුට බුදු සමිඳුන් ගේ වචනය කෙරෙහි ශ්රද්ධාව පිහිටුවා ගත නො හැකි නම්, ඉරිසියා මද මාන ගුණමකුකම් ආදියෙන් ඔලුව පුරවා ගෙන සිටී නම්, ඔහු ‛ටොප් ක්ලාස්’ මෝඩයෙකි.

තමා රාග ගින්නෙන් දැවෙද්දී, ද්වේශ මෝහ, මද මාන ආදී ගිනි වලින් දැවෙද්දී එය නිවා ගන්නට නො දන්නේ නම්, ඔහු ගේ ඇති ප්රඥාවන්තකම කුමක් ද...? අනුන් ගේ ගුණ මැකීම, ඉරිසියා කිරීම, මානයෙන් ඔලුව උදුම්මවාගෙන සිටීම ආදිය ඔහු ගේ ආධ්යාත්මික නිරුවත නම්, උගත්කම-බුද්ධිය යනුවෙන් සමාජයෙන් ලැබූ සිංහසම ඔහුට ගෙන දෙන්නේ කවර තේජසක් ද? එම නිසා සිය සැබෑ ප්රඥාව මෙහෙයවා තමා ට සේ ම අන් අයට ද යහපත ඇති කළ හැකි සත්පුරුෂයින් ගේ දැනුවත් වීම උදෙසා ය මෙය ලියනු ලබන්නේ.

බුදු සසුන යනු කුමක් ද...?

බුදු සමිඳුන් ගේ අනුශාසනාව යම් තැනක ඒ අයුරින් ක්රියාත්මක වන්නේ නම්, එය බුද්ධ ශාසනය යි. බුදු සමිඳුන් ජීවමාන ව වැඩසිටි අවදියේ දී සසුන් මග හැඳින්වීමට බහුල වශයෙන් යොදා ගනු ලැබූයේ ශාසනය යන වචනය නො වේ, ධම්ම විනය යන වචනය යි. එය ‛ඉමස්මිං ධම්මවිනයේ - මේ ධර්මවිනයෙහි’ යනුවෙන් බොහෝ සූත්ර දේශනාවල දී අපට මුණ ගැසෙන්නේ ය. ඒ අනුව බුදු සමිඳුන් ගේ ධර්ම විනයෙහි ඇත්තේ යමක් ද එය ක්රියාත්මක වන තැන ය බුදු දහම ජීවමාන ව, සක්රීය ව පවතින්නේ.

යම් තැනක බුදු සමිඳුන් ගේ අනුශාසනාව, නො එසේ නම් ධර්ම විනය ක්රියාත්මක නො වේ නම්, එතැන බුදු දහම මලගම් ගොස් ය. කෙතරම් ගොඩනැගිලි තිබුණ ද, උත්සව තිබුණ ද, පිරිස එක් රැස් වී ‛අපි බුදු දහම රකින්නෙමු යි’ කියා මොරගෑව ද, එතැන බුදු සමය ජීවමාන නැත. ඔවුන් ගේ ඒ කෑගැසීම්, මලගම් ගිය බුදු සසුනේ ශෝකී පසුබිම් ස්වරය යි. ඔවුන්ගේ සැරසීම්, ඉදිකිරීම් මලගම් ගිය බුදු සසුනේ ගරාවැටීමට ආසන්න සොහොන් කොත හා ඒ වටා දැවටූ සැරසිලි යි.

බුදු සසුනේ ප්රබේධ තිබේ ද..?

බුදු සමිඳුන් ගේ ධර්ම විනය යනු එකකි. එය විශ්ව සාධාරණ එකකි. දෙව් මිනිසුන්ට ඇත්තේ එකම ධර්මය කි. ඉඳින් බුදු සමිඳුන් ගේ ධර්ම විනය යනු එකක් නම් එහි ප්රබේධ තිබිය නො හැකි ය. ඒ අනුව බුදු සසුනේ ප්රබේධ නැත්තේ ය. එනමුත් ශාසන පරිහාන කාලවල දී විවිධ මත වාද ශාසන බ්රෂ්ටයින් නිසා එය බෙදී ගියේ ය. වර්ථමාන යේ ද එවැනි විවිධ වශයෙන් වර්ගීකරණය වූ පිරිස් දක්නට ලැබේ. සමහර පිරිස් තමන් ‛සිංහල බුද්ධාගමට’ අයත් බව ප්රකාශ කිරීම උදාහරණයක් ලෙස ගත හැකි ය.

බුදු සසුන එක් විශේෂිත කොටසකට හෝ සංස්කෘතියකට අදාළ ද..?

‛සිංහල බුද්ධාගම, අර බුද්ධාගම, මේ බුද්ධාගම’ යනුවෙන් වෙන ම දේවල් තිබිය හැකි ද..? කණ්ඩායම් වාදය යනු මිනිසුන් ගේ චිත්තනය පටු වූ විට, චින්තනයට වැට සීමා සහ නියර ඇති වූ විට ගොඩ නැගෙන්නා වූ දෙයකි. නමුත් බුදු දහම වනාහී කෙලෙසුන් නිසා පටු වී ගිය සිමා මායිම් සුණුවිසුනු කොට මිනිසුන් ගේ මනස සැබෑ නිදහස කරා රැගෙන යන එකකි. සිත අප්රමාණ තත්වයට පත් වූ විට එහි කෙලෙස් මර්යාදා නො මැත. එහෙයින් සිංහල බුද්ධාගම, තායි බුද්ධාගම, ආදී වශයෙන් ජාති ආගම් සංස්කෘතීන් වශයෙන් බුදු දහම බෙදා කථා කිරීම උත්තම දහමකට කරන අපහාසයකි, අවමානයකි, නිකෙලෙස් දහමක් පෘතග්ජන තත්වයට ඇද දැමීමකි.

බුදු සසුනේ ඇති ආශ්චර්යවත් කරුණක් ගැන බුදු සමිඳුන් වදාළ මේ සූත්ර පාටය බලන්න.

මහණෙනි, ගංඟා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ මහා නදීහු වෙත් ද, ඒවා මහමුහුදට පැමිණ පළමු නම්ගොත් අත්හරිත්, මහමුහුද ම යන ව්යවහාරයට පැමිණෙත්. එසේ ම මහණෙනි, ක්ෂත්රීය බ්රාහ්මණ වෛශ්ය ශූද්ර යන මේ සතර කුලයන් ගේ පිරිස් වෙත් නම්, ඔවුහු ගිහිගෙයින් නික්ම තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනයේ (තථාගතප්පවේදිතේ ධම්මවිනයේ) පැවිද්ද ලබා, පළමු නම් ගොත් අත්හරිති. ‛ශ්රමණ ශාක්ය’ පුත්රයෝ යන ව්යවහාරයට ම යෙත්.

(උපෝසථ සූත්රය)

මෙම ප්රකාශය එදාට පමණක් වළංගු වූ එකක් නො වේ. එක් පිරිසකට පමණක් වළංගු වූ එකක් ද නො වේ. බුදු දහම වනාහී ස්වාක්ඛාත එකකි. මනා කොට දේශනා කළ එකකි. මෙය සැමදාට ම වළංගුවන්නේ ය. සැමදා ට ම වළංගු නො වන දේවල් බුදු සමිඳුන් ගේ දේශනා නොවේ. මෙහි වළංගු භාවය ගැන ප්රකාශ කරන්නට සිදු වූයේ්, “සූත්ර දේශනාවල තිබෙනුයේ, එක් එක් අයට වෙන් වෙන් ව ප්රකාශ කළ ඒ ඒ තැනට පමණක් යෙදිය හැකි දහම් කොට්ටාස විනා, සැමට සාධාරණ ඒවා නො වේ, එ නිසා ඒවා තියරි ලෙස යොදා ගැනීමෙන් වැළකී, අපට අදාළ ලෙස යොදා ගත යුතු යැ යි” කියා හරබර ලෙස පෙනෙන එනමුත් හිස් මත පවසන, (බක)පණ්ඩිතයින් පිරිසක් බිහි වී ඇති නිසා ය. ඒ පිළිබඳ ව අපි වෙනම කථා කරන්නෙමු.

බුදු සමිඳුන් ජීවමාන ව වැඩ සිටි සමයේ භාරතයේ විවිධ සංස්කෘතීන් තිබුණි, විවිධ ප්රදේශ රාජ්ය තිබුණි. විවිධ රජවරු යටතේ පාලනය වූ ජන කොට්ඨාස සිටියහ. ඒ වෙන වෙන පිරිස් වලට වෙන වෙන ම ධර්මයක් දේශනා කළ බව සඳහන් ව ඇත්තේ කොහි ද..? ගිහිගෙයින් නික්ම පැවිදි වූ උතුමන් පසෙකින් තබමු. බුදු සමිඳුන් ගේ ගිහි ශ්රාවකයින් උපාසක උපාසිකා යනුවෙන් දෙකොටසකට අයිති වූවා විනා, ‛අපි ක්ෂත්රීය බෞද්ධයෝ වෙමු, අපි බ්රාහ්මණ බෞද්ධයෝ වෙමු, අපි වෛශ්ය බෞද්ධයෝ වෙමු, අපි ශුද්ර බෞද්ධයෝ වෙමු’, යනුවෙන් බෙදීමක් තිබුණේ කොහි ද?.. ඔවුන් සියල්ලෝ ම භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවකයෝ නො වූහු ද..?

ඔවුනොවුන්ට ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ අනුගමනය කිරීම වෙන ම දෙයකි. එය බුදු දහම හා පටලවා ගෙන බුදු දහමට හිස් අර්ථකථන ලබා දීම තවත් දෙයකි. සිංහල බුද්ධාගම, අර බුද්ධාගම මේ බුද්ධාගම, ආදී වශයෙන් අවුල් ඇති කර ගෙන ඇත්තේ බුදු දහමේ ඇති සර්වීයභාවය තේරුම් ගත නො හැකි වී ඇති හෙයින් ම ය.

(මතු සම්බන්ධ යි...)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails