'ගෞතම සංදේශය'
ශාක්‍ය පුත්‍ර වූ, අංගීරස වූ, තුන්ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පෙරවදන:
පුරා පන්සාළිස් වසක් දඹදිව් තළය සිසාරා දම් සුවඳ විහිදාළමින්, දම්සක් හඬින් තුන්ලොව ඒකාත්මික කළ ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය තුළ කැටිවූ පරමෝත්තම, සත්‍යවාදී ලෝ දහම සියළු දෙව්-මිනිසුන්ගේ යහපත, හිතසුව පිණිස පැහැදිලි, සරළ, ප්‍රායෝගික සිංහලෙන් විවිධාකාර සමාජ පැතිකඩයන් හා කාලීන මාතෘකා ඔස්සේ මෙලෙස කොටස් වශයෙන් ඔබ අතට පත්වේ.
මේ සියළු වෑයම් එකම එක කරුණක් අරභයාම වන්නේම ය.
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....
උතුම් ගෞතම සසුනේ සුවඳ විඳින පින්වත් මිතුරනේ,
අවබෝධය හා මුලාව කියන්නේ එකිනෙකට පරස්පර, විරුද්ධ, අහසයි පොළොවයි වගේ වචන දෙකක් නෙ. නමුත් අද අපේ වෑයම මේ සුන්දර හෙළ බසත් එක්ක ගැටෙන්න නම් නෙවෙයි...... අපි හැමෝටම බලපාන, නමුත් බහුතරයකට නොතේරෙන, පිරිසක් නොදන්නා, තවත් පිරිසක් තමුන් නොදන්නා බවවත් නොදන්නා ඉසව්වක් වෙත ගෞතම සංදේශය තුළින් ඔබ කැන්දාගෙන යන්නයි. බයවෙන්න එපා...... අපි පාර පෙන්නන්නම්.
“වයසට යාම ඔබටත් ප්‍රශ්නයක් ද? හිසකෙස් සුදු වීම, කෙස් හැලී යාම, සම රැලි වැටීම, දත් හැලීම, හතලිස් ඇඳිරිය ආදී මෙකී නොකී සියළු වයසට යාම්, ජරා-ජීර්න වීම් සතියෙන් නවතාලන, ඔබේ නැති වී ගිය තරුණ පෙනුම, ජවය නැවත ලබාදෙන, ඔබ කිසිදා වයසට නොයන යුරෝපාකරයේ අති ජනප්‍රිය, විශ්වාසදායී අත්දුටු ප්‍රතිකාරය......
ප්‍රමාද වී පසු තැවෙන්න එපා!
අඩංගු දෑ: මිනිස් මළ, බලු මුත්‍රා, උක් පැණි, අනුමත සුවඳ වර්ග හා රසකාරක
…… මොකද හිතන්නේ? ට්‍රයි එක දීල බලමු ද? නැති වෙන්න දෙකුත් නැහැනෙ. මොනව දාල කොහොම හැදුව උනත් බිව්වොත් ගොඩනෙ. හැමදාම කොල්ලො-කෙල්ලො වගේ ඉන්න පුළුවන් වයසට නොයා.….. නිකමට හිතල බලන්න. ඔබ මොනව කරයි ද? හැබැයි ඔයාගෙ හැඟීම කාටවත් කියන්න යන්න එපා. මොකද ඒ අය හිනාවෙන්න පුළුවනි. අමතක කරන්න එපා....... ඒ හිනාවෙන බහුතරයක් කරන්නෙත් ඔය දේම තමයි. මේ ජීවිතේ යථා ස්වභාවය දන්නෙ නැති කෙනා, ලෝ දහමට අනුව උපන් සත්වයාට නිතැතින්ම උරුම වූ ජරා, මරණ ගැන නොදන්න, නොඅදහන කෙනා අර අසූචි සිරප් එක බොන්නෙ නැද්ද???? හොරෙන්, අමාරුවෙන්, නහයත් වහගෙන ලස්සන වෙන්න කියල වදකහ බීපු අපේ කට්ටිය (පස්සෙ වමනෙ ගිය එක වෙනම කතාවකි) ඔය හොඳ රහට-සුවඳට එන සිරප් එක නොබී ඉඳී ද???? ඕක තමා තිත්ත ඇත්ත. ඔන්න ඕක තමයි 'මුලාව'....
මතු සබැඳි.
Currently have 0 comments: