Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

හුදෙකලාව සුන්දර යි...! (5 කොටස)

Thursday, October 29, 2009 , at 1:31 PM


හුදෙකලාව සුන්දර යි...!
(3 කොටස )


ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි

දයාබර පින්වත් යාලුවේ,

ඔයාගෙ ත් මගෙ ත් ජීවිත වලට දුක-සැප, සිනහව-කඳුල කියන්නෙ ආගන්තුක දේවල් නෙමේ. හැම කෙනෙකු ගෙ ම ජීවිතේ ඒ දේවල් අතර දෝලනය වෙනව. ඉතින් අන්න ඒ ජීවිතේ ට දුක වගේ ම සැපත් සිනහව වගේ ම කඳුල ත් කැන්ඳගෙන එන්න පුලුවන් පිරිසක් මේ ලෝකෙ ඉන්නව. දන්නව ද කවුද කියල. ඒ තමයි අපි ඇසුරු කරන යාලුවො.

යාලුවො නිසා අපේ ජීවිත වලට සතුට ලැබෙනවා. ඒ වගේ ම දුක ලැබුණු අවස්ථාත් ඔයාට මතක ඇති. මේ ලෝකයේ විවිධාකාර යාලුවො ඉන්නවා. හැබැයි ඒ යාලු මිත්‍රයින් අතරින් බුදු රජාණන් වහන්සේ අනුමත කළේ කළ්‍යාණ මිත්‍ර ඇසුර විතර යි. කළ්‍යාණ මිත්‍රය කියන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඔයාටත් මටත් කියල දීල අපිව යහමගට යොමු කරන කෙනාට යි. ඒ කෙනා අපිට අනුකම්පා කරනවා.

හැබැයි ඉතින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොන යාලුව ගැන උනත් කෙළෙස් සහගත බැඳීමක්, කෙළෙස් සහගත අනුකම්පාවක් ඇති කරගත්තොත් ඒ දේ මුල් කරගෙන අපිට උපදින්නේ දුක ම විතර යි. ඒක සනාතන ධර්මයක්. කෙළෙස් සහගත අනුකම්පාවෙන් යාලුවන්ට උදව් කරන්න යෑම නිසා දුක උපදින බව හොඳින් ම තේරුම් අරගෙන, තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවපු තවත් එක පසේ බුදු රජාණන් වහන්සේ නමක් ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. දැන් ඔයා දන්නව නෙ අපි මේ පසේ බුදු රජාණන් වහන්සේලා ගැන ඉගෙන ගන්නේ මොන සූත්‍ර දේශනාව ඇසුරින් ද කියල. ඒක මම ආයිමත් ඔයාට මතක් කරලා දෙන්නම්. ඒ සූත්‍ර දේශනාවේ නම ඛග්ගවිසාණ සූත්‍රය. අද අපි ඉගෙන ගන්නෙ ඒ සූත්‍රයේ තුන් වැනි ගාථාව.

තුන්වැනි ගාථාව
මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධචිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ

මිත්‍රයින්ට ත් සුහෘදයින්ට ත් බැඳුනු සිතින් යුතු ව අනුකම්පා කරන කෙනා, යහපත විනාශ කරගන්නවා. මිතුරුකමේ තිබෙන මෙන්න මේ බිය දකිමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.



මේ ගාථාවේ අතීත සිදුවීම:-

දයාබර යාලුවේ,

අපි මේ ඉපදිලා ඉන්න කල්පයට කියන්නේ මහා භද්‍රකල්පය කියල යි. ඔයා ඒක දන්නව නෙ නේද? එහෙම කියන්න හේතුව තමයි මේ කල්පය අසිරිමත් බුදු රජාණන් වහන්සේලා පස් නමකගෙන් ම ශෝභමාන වීම. ඉතින් මේ කල්පයේ තෙවැනි සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැටියට ලොව්තුරා බුද්ධත්වයට පත් වී වදාළේ කාශ්‍යප නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. අපි කථා කරන මේ ඛග්ගවිසාණ සූත්‍ර දේශනාවට පදනම සැකසුනේ අන්න ඒ කාශ්‍යප නම් වූ බුදු රජාණන් වහන්සේ ගේ සම්බුදු සසුන ලෝකයේ බැබලුනු ඈත අතීතයේ දී යි.

ඉතින් කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ සම්බුදු සසුන තුළ තවත් එක්තරා පින්වත් දරුවෙක් පැවිදි බිමට පත් වුනා. පැවිදි බිමට පත්වෙලා බොහෝම හොඳින් ශීලාදී ගුණ ධර්ම පූර්ණය කරගනිමින් බොහෝ කාලයක් පැවිදි සුවයෙන් කල්ගත කළා. කලුරිය කළායින් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තමන් සිදු කරගන්නට යෙදුනු කුසල කර්මයන් ගේ බලයෙන් සුගති ලෝකයක ඉපදුනා. ඒ ලෝකයේ ආයුෂ නිමා වුනායින් පස්සේ බරණැස් නුවර රජතුමා ගේ අග මෙහෙසිය ගේ කුසේ පිළිසිඳ ගත්තා. දස මාසයකට පස්සේ ලෝකය සුන්දර කරන්න පුංචි කුමාරයෙක් බිහි වුනා.

සමහර විට ඔයාට මෙතන දී පුංචි ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්.

මොකද අපි කලින් කථා කරපු පසේ බුදු රජාණන් වහන්සේලා ඉපදුනෙත් බරණැස් රජ පවුලෙ ම යි. හැබැයි ඒ එක ම බරණැස් රජතුමා නෙමෙයි. බරණැස් රජ පරපුරක්. දැන් ඔයාට තේරෙනව නෙ එක ම නම තියෙන පිය රජවරු ඇති ව උපදින්න හේතුව. ඉතින් අන්න ඒ කුමාරයා, ක්‍රමයෙන් වැඩි වියට පත් වෙලා බරණැස් නුවර රජතුමා හැටියට අභිෂේක ලැබුවා. රජකම් කළත් මේ රජතුමා හොඳින් බණ භාවනා කරලා පළමු වැනි ධ්‍යානය උපදවා ගත්තා. ශ්‍රමණ ගුණධර්ම රජකමට වඩා ඉතා උසස් බව නුවණින් තේරුම් ගත්ත මේ පින්වත් රජතුමා පසු කලෙක දී ඇමතිවරුන් හතර දෙනෙකුට තමන් ගේ රාජ්‍ය භාර දීල, මුලුමණින් ම භාවනා කරන්ට පටන් ගත්තා. හැබැයි ඇමතිවරුන්ට රාජ්‍ය භාරදුන්නේ එක පොරොන්දුවක් ඇතු ව යි. ඒ තමයි, දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය ගෙනියනවා කියන පොරොන්දුව.

නමුත් ඒ ඇමතිවරු පොරොන්දුව රැක්කේ නැහැ. නොයෙකුත් අධාර්මික කටයුතු කරන්ට පටන් ගත්තා. අල්ලස් අරගෙන හිමිකරුවන් ගේ හිමිකම් අහිමි කළා. අයිති නැති මිනිස්සුන්ට බඩු බාහිරාදිය පවරලා දුන්නා.

(මතු සම්බන්ධ යි..)

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    meka ithama watina lipi pelak. Haki ikmanin ithiriyada pala karanna.Theruwan Saranai!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails