Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

16 Dreams of King Kosala (part 01)

Friday, October 16, 2009 , at 12:14 PM


කොසොල් රජු දුටු සිහින දහසය (පළමු කොටස)

ඒ දවස් වල දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ යි. එහි දී මහා සිහින දහසය මුල් කොටගෙන මේ ජාතක කථාව දේශනා කොට වදාළ සේක.

එක දවසක් කොසොල් රජතුමා රාත්‍රියේ නිදාගත් පසුව, පාන්දර ජාමයේ සිහින දහසයක් දැක්කා. ඒ සිහින දැකල භයින් තැති අරගෙන අවදි වුණා. 'මේ සිහින දැක්ක නිසා මට මොකක් වෙයි දෝ..?' කියල මරණ භයෙන් බයට පත්වෙලා, නිදා නො ගෙන ඇ‍ඳේ ඉඳගෙන ම එළිය වැටෙනතෙක් කාලය ගෙව්වා.

ඉර උදාවුනායින් පස්සේ ශාන්ති බ්‍රාහමණයා සහ පුරෝහිත බ්‍රාහමණයා රජ්ජුරුවන් ළගට ඇවිල්ලා, 'ස්වාමීනි රජ්ජුරුවන් වහන්ස, රාත්‍රියෙහි සැපසේ කායල ගත කළා ද?' කියා ඇහුවා.

එතකොට රජ්ජුරුවො කියනවා, 'ආචාර්යයෙනි, මට කොහෙන් ද සැපක්..? මම අද පාන්දර හීන දාසයක් දැක්කා. ඒව දැකපු වෙලේ ඉඳන් මම මේ බයෙන් ඉන්නෙ. ඒව ගෙ දෝෂය මට කියන්න..'

'එහෙනම් රජතුමනි අපට දැකපු හීන ගැන කියන්න', කියා ඒ බමුණෝ රජතුමාට කිව්වා. රජතුමා ත් ඉතින් තමන් දැකපු හීන ගැන බමුණන්ට කිව්වා. කියල ඇහුවා මේ වගේ හීන පේන්න හේතුව මොකක් ද කියලා.

ඒ වෙලාවේ ඒ බමුණෝ තමන් ගේ අත් එහාට මෙහාට වැනුවා. රජතුමා ඇහුවා ඒ මොකද කියලා. එතකොට බමුණෝ කියනවා, "මහරජතුමනි ‍මේවා බොහෝම කර්කෂ හීන" කියලා. ඉතින් රජතුමා නැවත ඇහුවා ඒ හීන වල විපාක මොනවා ද කියා. ඉතින් බමුණෝ කිව්වා, 'රජතුමනි මේ හීන වලින් පෙන්වන්නේ ඔබ වහන්සේට රාජඅන්තරාය, භෝග අන්තරාය, ජීවිත අන්තරාය කියන මේ තුන් අන්තරායන් අතරින් එක්තරා අන්තරායයක් වෙනවා' කියන එක යි.

කොසොල් රජතුමා හොඳට ම භය වුණා. භය වෙලා ඇහුවා මේ විපත්ති වලින් ගැලවෙන්නට ක්‍රමයක් තිබෙනවා ද කියලා. ඒ වෙලාවේ ඒ පුරෝහිත බමුණන් කියනවා 'රජතුමනි මේ හීන ඉතා ම තද බල ඒවා. ඒ නිසා පිළියම් කරන්නට බැහැ, නමුත් අපි ඒවා පිළියම් කළ හැකි ස්වභාවයට පත් කරන්නම්, ඒ වගේ දෙයක් කරන්නට බැරි නම් අපි ඉගෙන ගත්ත දේවල් වලින් ඇති ප්‍රයොජ‍නේ මොකක් ද?'

"එහෙනම් ආචාර්ය වරුනි මොකක් ද ඒ සදහා කළ යුත්තේ..?"

"මහරජතුමනි ඒ සඳහා හැම දේකින් ම හතර ගානෙ අරගෙන කරන සර්ව චතුස්ක කියන යාගය කරන්ට ඕන."

මේ වෙනකොට කොසොල් රජතුමා හොඳට ම භය වෙලයි හිටියෙ, ඉතින් රජතුමා කිව්වා, 'අනේ ආචාරීනි, දැන් ඉතින් මගේ ජීවිතය තිබෙන්නේ ඔබලා අ‍තෙයි. ඉක්මණට ම මට යහපත වෙන දෙයක් කරන්න.'

ඉතින් රජතුමා කියපු මේ වචනය අහල ඒ බමුණො ටික, 'දැන් අපිට බොහෝ වස්තුව ත් ලබා ගන්නට පුලුවන්, කන බොන දේවලුත් ගෙන්වා ගන්ට පුලුවන්' කියල හරි ම සතුටෙන් රජතුමා ව සනසල මාලිගාවෙන් පිටත් වෙලා ගියා. ගිහින් නුවරින් පිටත යාග ආවාටයක් හැදුවා. ඊ ළගට, හරක්, එලුවො, බැටලුවො වගේ ගොඩාක් සිව් පා සත්තු ගෙනල්ලා යාග කනුවේ බැන්ඳා. ඊට පස්සේ විවිධ කුරුල්ලො ජාතිත් ගෙනල්ලා ගැටගැහුවා. දැන් 'මේක ගෙන්න.. මේක ගේන්න' කිය කියා එහාට මෙහාට ඇවිදිනවා.

මේ බමුණො කෑ කොස්සන් ගසමින් එහාට මෙහාට යනව මල්ලිකා දේවිය දැක්කා. දැකල රජතුමා ගාවට ගිහිල්ලා අහනවා, 'මහ රජතුමනි මේ බමුණෝ නැවත නැවත එහාට මෙහාට ඇවිදින්නේ ඇයි...?'

"අනේ හැබෑට ම මල්ලිකා.. ඔයා නම් හොඳ සැපෙන් ඉන්නවා.. ඒත් මගේ කම්මු‍ලේ සර්පයෝ ඇවිද්දත් ඔහේ දන්නෙ නැහැ නෙව.."

"මහ රජ්ජුරුවන් වහන්ස ඇයි එහෙම දෙයක් කියන්නේ...?" මල්ලිකා දේවිය ඇසුවා.

එතකොට රජතුමා සිදු වූ දේ කියා සිටියා. දැන් මේ බමුණන් යාගයකට ලක ලෑස්ති වෙන බවත් පැවසුවා.

මල්ලිකා දේවිය හරි ශ්‍රද්ධාවන්ත යි . ඒ වගේ ම බුද්ධිමත්. ඉතින් මල්ලිකා දේවිය රජතුමාට මෙහෙම කිව්වා..

"මහ රජ්ජුරුවන් වහන්ස, මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ අග්‍රබ්‍රාහ්මණයාණන් වහන්සේ ගෙන් ඔබ මේ සිහින වලට කළ යුතු දේ ගැන ඇහුව ද?"

"සොඳුර ඒ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ අග්‍රබ්‍රාහමණ වුණ කෙනා කවුද..?"

"අහෝ ස්වාමීනි දෙවියන් මිනිසුන් සහිත වූ ලෝකයේ අග්‍රපුද්ගලයන් වහන්සේ වූ, හැම ධර්මයක් ම හැම ආකාරයෙන් ම විශේෂයෙන් දන්නා වූ, පරම පිරිසිදු චිත්ත සන්තානයක් ඇති, නික්ලේශී වූ මහාබ්‍රහමයාණන් වහන්සේව ඔබ අඳුනනේ නැති ද? ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මේ සිහින වල ‍තොරතුරු ඒකාන්තයෙන් ම දන්නවා. වඩින්න මහරජ්ජුරුවන් වහන්ස ඒ සර්‍වඥයන් වහන්සේ අතින් මේ කාරණය අසා දැනගන්න."

මල්ලිකා දේවිය මෙහෙම කිව්වා ම රජතුමා ත් 'හොඳයි දේවිනි'කියල විහාරයට ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරල එකත් පසෙකින් ඉඳ ගත්තා. සර්‍වඥයන්වහන්සේ තමන් වහන්සේ ගේ මිහිරි ස්වරය විහිදුවලා, "මහරජ්ජතුමනි මොකද මේ උදෑසන ම පැමිණියේ..?" කියා අසා වදාළා.

එතකොට රජතුමා කියනවා, "ස්වාමීනි මම අද පාන්දර සිහින දහසයක් දැක්කා. දැකල හොඳට ම භය වුනා. ඒ ගැන බමුණන්ට කිවවා. ඒ බමුණෝ ඒක අහල 'මහරජ්ජුරුවන් වහන්ස, ඒ හීන නම් ඉතාම දරුණු යි, ඉතා රූක්‍ෂ යි, ඒ හීන වල විපාක විනාශ කිරීමට අපි චතුෂ්කයෙන් යාගයක් කරමු', කියලා යාගය සරසනවා. ඒක නිසා ගොඩාක් සත්තු මරණභයින් බයවෙලයි ඉන්නෙ.

ඔබවහන්සේ මේ දෙව්මිනිසන් සහිත ලෝකයේ අග්‍රපුද්ගලයාණන් වහන්සේ. ඔබවහන්සේ ගේ ඥානයට අසු නො වන කිසි ම දෙයක් අතීත අනාගත වර්‍තමානයේ කොහෙත් ම නැහැ. ඒ නිසා ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මේ හීන වල විපාක දේශනා කරන සේක්වා.."

"මහ රජ්ජුරුවනි, එය එසේ ම යි. දෙව් මිනිසුන් සහිත වූ ලෝකයෙහි මේ සිහින වල තොරතුරු විපාක දකින්නට හැකියාව ඇති කෙනෙක්, මා හැරුනු විට ඇත්තේ නැහැ. ඒ නිසා මම ඔබට දේශනා කරන්නම්.. එසේ වුවත් ඔබ දුටු ආකාරයෙන් ම එම හීන ප්‍රකාශ කරන්න."

"එහෙම යි, ස්වාමීනි" කියල රජ්ජුරුවෝ තමන් දැකපු පළවෙනි හීනය ගැන ගාථාවකින් මෙහෙම කිව්වා.

‘‘උසභා රුක්‌ඛා ගාවියො ගවා ච,
අස්‌සො කංසො සිඞ්‌ගාලී ච කුම්‌භො;
පොක්‌ඛරණී ච අපාකචන්‌දනං.

ලාබූනි සීදන්‌ති සිලා ප්‌ලවන්‌ති, මණ්‌ඩූකියො කණ්‌හසප්‌පෙ ගිලන්‌ති;
කාකං සුවණ්‌ණා පරිවාරයන්‌ති, තසා වකා එළකානං භයා හී’’ති.

ස්වාමීනී, මම පළවෙනි හීනෙ දැක්කෙ මෙන්න මේ විදියට යි.

ස්වාමීනි, අඤ්ජන වර්ණයෙන් යුක්ත කළු පාට ගොන්නු හතර දෙනෙක් යුද්ධ කරන්නට කියල හතර දිශාවෙන් රාජාංගනයට ආවා. මහජනයා ත් 'මේ වෘසභ යුද්ධය බලමු'කියල එක් රැස් වුණා. ඒ විදියට එක් රැස් වුනා ම ඒ ගොනුන් හතර දෙනා යුද්ධ කරනවා වගේ ස්වභාවයක් පෙන්වලා, ගර්ජනා කරල ඒ ඒ පැත්තට පැනල ගියා. මේක තමයි මම දැකපු පළමුවෙනි හීනය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මේ සිහිනයේ විපාක ය මොකක් ද?"

"මහ රජතුමනි, මේ සිහිනයේ කරුණු සිද්ද වෙන්නේ ඔබ ගේ කාලයේ වත් අප ගේ කාලයෙන් වත් නො වෙයි. අනාගයේ අධර්මිෂ්ඨ වූ අයහපත් වූ රජවරුන් හා මිනිසුන් ලෝකයේ බිහි වෙනවා. ඒ කාලයේ තමයි මෙහි විපාක සිදු වන්නේ. ඒ කාලයේ මිනිසුන් ලෝකයේ යහපත පෙරලන්ට පටන් ගන්නවා. කුසලය පසුබැස යනවා. අකුසලය උත්සන්නව යනවා. කුසලය යට යනවා. අකුසලය මතුව එනවා. ලෝකය පිරිහෙන ඒ කාලයේ වර්‍ෂාව යහපත් විදියට හොඳින් වසින්නේ නැහැ. වැසි ඇතිකරන කරුණු සිඳී යනවා. භව භෝග මලානික වී යනවා. ඒ නිසා දුර්භික්‍ෂ ඇතිවෙනවා. වැසි වසින්නට මෙන් කලු වළාකුළු සතර දිගින් නැගී එනවා. ස්ත්‍රීන් අව්වෙහි වැනූ වී ආදිය තෙමෙයි යන භ‍යෙන් ගෙවල් ඇතුළට ගන්නවා. පුරුෂයන් උදළු ආදිය ගෙන අමුනු නියර බඳින්ට නික්මෙණවා. එවිට වසින ස්වභාවයක් දක්වා, ‍ගර්ජනා කොට විදුලි කොටා, වර්ෂාව ඇති නො වීම වළාකුළු පහව යනවා. ඒක හරියට අඳුන් පැහැති කළු ගොන් හතර දෙනා ගොන් පොරයකට මෙන් රාජංගනයට පැමිණ, මිනිසුන් එය බලන්නට රැස් වූ විට, පොර කන ස්වභාවයක් දක්වා, ගර්ජනා කොට ඒ ඒ තැන පලා යනවා වගෙයි.

මේ සිහිනයෙන් කියවෙන්නේ එය යි. ඔබට මේ සිහියන දැකීමෙන් කිසි අන්තරායක් ඇති වන්නේ නැහැ. අනාගයේ සිදු වන දෙයක් පිළිබඳ ව යි මේ සිහිනයෙන් දැක්වෙන්නේ. ඔබ ගේ බමුණෝ තමන් ගේ ජීවිකාව නිසා, යාග කිරීමෙන් සංසිඳී යන බව පැවසුවා."

මේ විදියට බුදු රජාණන් වහන්සේ පළමු වැනි සිහිනයේ කරුණු විස්තර කොට කොසොල් රජතුමාට දෙවැනි සිහිනය පවසන ලෙස වදාළා.

(මතු සම්බන්ධ යි -)

(This article is written with the assistance of jathakakatha.org and tipitaka.org )

Bookmark and Share

Currently have 1 comments:

  1. තුන් කල් දක්නා න​ුවණ අැත​ි බුද​ුවරැන් මිස ෙමවන් සිහින කවුරැන් නම් ෙත​ා‍්‍රන්නද​!
    එ් බුදුවරැන් හට නමස්කාර ෙව්වා !!!!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails