Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

හුදෙකලාව සුන්දර යි...! (1 කොටස)

Saturday, October 17, 2009 , at 4:24 PM


හුදෙකලාව සුන්දර යි...! (1 කොටස)

...ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි...



දයාබර පින්වත් යාලුවේ...

මං ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්, හැබැයි හොඳට හිතල උත්තර දෙන්න ඕනි. ජීවිතේ යම් කිසි දවසක දි ඔයාට කාත් කවුරුවත් නැති ව හුදෙකලා වෙන්න සිද්ද වුනොත්, එතකොට ඔයාට මොකක් හිතේ වි ද?

සමහර විට ඔයාට දුක හිතේවි.... ලොකු අසරණ කමකුත් දැනේවි.... එහෙම නේ ද? ඔයාට විතරක් නෙමේ, අපි අතර ජීවත් වෙන හුඟක් දෙනෙකුට එහෙම යි.

නෑ හිත මිතුරන් අහිමි වුන හින්ද, තමන් ආදරය කරන අය අහිමි වුන හින්ද හුදෙකලා වුන හිත් වලට දැනුන දුක, කවි පද වෙලා කොයි තරම් නම් ලියවිලා තියෙනව ද? ඒ පදවැල් ම ගීත බවට පත් වෙලා කොයි තරම් නම් ගායනා වෙලා තියෙනව ද?

එත් දයාබර යාලුවේ,
හුදෙකලා භාවය සුන්දර ම සුන්දර ම අත්දැකීමක් කර ගත්තු මහා ශ්‍රේෂ්ඨ පිරිසකුත් මේ මිහිතලය මත ම වැඩ සිටියා. අන්න ඒ උත්තමයන් වහන්සේලා හුදෙකලා භාවයේ තියෙන උත්තරීතර සුන්දරත්වය හදවතේ රුවාගෙන ගම් දනව් සිසාරා වැඩම කළා.

සමහර විට ඔයා කියයි, “අප්පෝ... හුදෙකලාවෙ ඉන්න එක කොහොම ද සුන්දර අත්දැකීමක් වෙන්නේ” කියල.

ඇත්තට ම හුදෙකලා භාවය අපිට දුකක් කැන්ඳගෙන එන්නේ අපේ හිතේ කෙළෙස් තියෙන නිස යි. නමුත් වීතරාගී නිකෙළෙස් උත්තමයන්ට නම් හුදෙකලාව කියන්නේ පුදුම සුන්දර දෙයක්. ඉතින් ඔයා දන්නව ද සොඳුරු හුදෙකලාවේ අසිරිය වින්ඳ ඒ නිකෙළෙස් උත්තමයන් වහ්නසේලාට කියන නම මොකක් ද කියල? උන්වහන්සේලාට තමයි පසේ බුදු රජාණන්
වහන්සේලා කියල කියන්නේ.

ධර්මය ඉගෙන ගන්න ඔයා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගැන ත් රහතන් වහන්සේලා ගැන ත් කරුණු කාරණා ගොඩක් අහල තිබුණට සමහර විට පසේ බුදු රජාණන් වහන්සේලා ගැන එච්චර විස්තර ඉගෙන ගෙන නැතුව ඇති.

මේ හදන්නේ ඒ උත්තමයන් වහ්නසේලා ගැන කරුණු ටිකක් ඔයාට කියල දෙන්න යි. මේ කරුණු ඇතුළත් වෙලා තියෙන්නෙ සුත්ත නිපාතය කියන පරම ගම්භීර දහම් ග්‍රන්ථයේ ඛග්ගවිසාණ කියන සූත්‍ර දේශනාවෙ. ඇත්තට ම කියනව නම් සුත්ත නිපාතය කියල කියන්නේ ගොඩාක් ගැඹුරු දහම් කරුණු ඇතුළත් වෙන උතුම් ග්‍රන්ථ රත්නයක්. සුත්ත නිපාතයේ තියෙන
එක ම එක ගාථාවක්ින් වුනත් නුවණැති කෙනෙකුට සදහම් සාගරයේ පතුලට ම කිමිදෙන්න පුලුවන්.

ඉතින් අන්න ඒ සදහම් මංජුසාවේ අඩංගුවෙන ඛග්ගවිසාණ කියන මේ සූත්‍රය හුදෙකලාවේ අනුසස් ප්‍රකාශ වන ලස්සන දේශනාවක්. මේ දේශනාව ගොඩාක් දිග යි. ගාථා හැට ගණනක් මේ දේශනාවට ඇතුළත් වෙනවා. එක එක ගාථාව ප්‍රකාශ කරපු පසේ බුදු රජාණන් වහන්සේට අදාළව සුන්දර නිදාන කථාවකුත් තියෙනවා. ඒ නිසා එක වතාවකට එක ගාථාව ගානේ නිදාන කථාවත් එක්ක ම ඔයාට කියල දෙන්න යි මේ හදන්නේ. මේ ටික එකතු කරල පුංචි පොතක්
හදා ගත්තොත් හුදෙකලා වෙච්ච වෙලාවකට ඒ හුදෙකලාවේ මිහිර විඳින්න ඔයාට ත් පුලුවන් වේවි. එය එසේ ම වේවා !

ඛග්ගවිසාණ සූත්‍රය

සූත්‍රයට කෙටි හැඳින්වීමක්

පාළි භාෂාවෙන් ඛග්ග කියලා කියන්නේ කඩුවට. විසාණ කියලා කියන්නේ අඟට. කඩුවක් වැනි අඟක් තිබෙන නිසා කඟවේණාට ඛග්ගවිසාණ කියල කියනවා. කඟවේණා කියන්නේ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණෙක් වගේ හුදෙකලාවේ හැසිරීම ගැන තමයි මේ ඛග්ගවිසාණ සූත්‍රයෙන් බුදු සමිඳුන් අපිට කියලා දෙන්නේ.

ඒ දවස්වල මගේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන අසපුවේ. එදා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්න කොට උන්වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇතිවුණා.

“අපේ බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ ජීවිත ගැනත්, තථාගත ශ්‍රාවකයින් වහන්සේලා ගේ ජීවිත ගැනත් ගොඩක් දහම් කරුණු කියා දීල තිබෙනවා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන කරුණු අසන්නට ලැබෙනවා අඩුයි. ඒ නිසා මම භාග්‍යවතුන් වහන්සේගෙන් පසේ බුදු රජාණන් වහන්සේලා ගැන විමසන්ට ඕනෙ”

මෙහෙම හිතපු ආනන්ද ස්වාමීන් වහන්සේ භාවනාවෙන් අනතුරුව බුදු රජාණන් වහන්සේ වෙත වැඩම කළා. ඉන්පස්සේ තමන් වහන්සේට ඇතිවුනු ප්‍රශ්නය භාග්‍යවතුන් වහ්නසේ ගෙන් විමසා සිටියා. අන්න ඒ වෙලාවේ තමයි කාලයෙන් වැසී තිබුණු පසේ බුදු රජාණන් වහන්සේලා ගැන මේ විස්තර බුදු මුවින් අපිට අසන්ට ලැබුනේ.

පළමු වැනි ගාථාව.
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්තමිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ.

හැම සතෙක් කෙරෙහි ම දඬු බැහැර කරනවා. ඒ සතුන් අතරින් කිසිවෙක් වත් වෙහෙසට පත් කරන්නෙත් නෑ. තමන් ගේ ම පුතෙකුට හෝ කැමතිවෙන්නෙත් නෑ. ඉතින් යහළුවෙකුට කැමති වෙනවා කියන එක ගැන කවර කථා ද, එක් අඟක් ඇති කඟ වේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.

පළමුවෙනි ගාථාවේ අතීත සිදු වීම.

මේ සිදු වීම සිදු වුනේ බොහෝ ම ඈත අතීතයේ. ඒ දවස්වල මේ ලෝකයට දහම් අමා වැසි වස්වමින් දෙමින් සිටියේ කාශ්‍යප කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. ඉතින් එක්තරා තරුණයෙක් කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ආරඤ්ඤිකාංගය කියන දුතාංගය සමාදන් වුනා. ඈත හුදෙකලා වනන්තර වල අවුරුදු විසි දහසක් සිල් ගුණදම් රකිමින් වාසය කරල කලුරිය කළා. කලුරිය කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉපදුනේ කාමාවචර දිව්‍ය ලෝකයක. පසු කාලයක ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බරණැස් රජතුමා ගේ අග මෙහෙසිය ගේ කුසේ පිළිසිඳ ගත්තා.

තමන් ගේ දේවිය ගැබ් ගත් බව දැනගත් බරණැස් රජතුමා ඇයට හැම සැප පහසුකමක් ම සළසා දුන්නා. ගැබ් පෙරහරකුත් පැවැත්වුවා. ඇය දසමසක් ඇවෑමෙන් රන් රුවක් වැනි සුන්දර රූපයක් ඇති පුංචි පුත් කුමරෙක් බිහිකළා. ඉතින් මේ පුංචි කුමාරයා රාජ සම්පත් භුක්ති විඳිමින් ක්‍රමයෙන් වැඩිවියට පැමිණුනා. කුමාරයාට අවුරුදු දාසයක් වෙනකොට පිය රජ තුමා මේ කුමාරයාව රජකමට පත් කළා. ඉතින් දැන් මේ කුමාරයා තමයි බරණැස් නුවර රජතුමා.

මේ රජතුමා යටතේ නගර විසිදහසක් තිබුණා. ඒ වගේ ම ඉතා විශාල ඇත් අස් සේනා, පිරිවර සේනා මේ රජකුමාරයාට උරුම වුණා. ඔහුගේ අන්තඃපුරයේ පමණක් ස්ත්‍රීන් විසිදහසක් සිටියා. මේ කුමාරයාට සැප සම්පත් වලින් අංශුමාත්‍රයක වත් අඩුවක් තිබුණේ නැහැ. නමුත් සංසාර පුරුද්දක් වශයෙන් ම මේ රජකුමරා ගේ සිත ඒ කාම සැප සම්පත්වල තදින්
ඇලුණේ නැහැ. මේ පින්වත් රජකුමාරයා රජකම කරන අතරතුර දීම සමථ භාවනාවන් දියුණු කිරීම තුළින් පංච අභිඤ්ඤාවන් (ඉද්ධිවිධඥාන, දිබ්බසෝත, පරචිත්තවිජානන, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත) වගේ ම අෂ්ඨ සමාපත්තිත් (රූප ධ්‍යාන හතර හා අරූප ධ්‍යාන හතර) උපදවා ගත්තා.

ඉතින් රජකෙනෙක් වුනාම නඩුවිසඳන්නත් ඕනි නෙ. දවසක් මේ රජතුමා නඩු විසඳන්න කියලා අධිකරණ ශාලාවට ගිහිල්ලා් රාජාසනයේ ඉඳගත්තා. නඬු විසඳගන්න ඇවිල්ලා හිටපු මිනිස්සු එතැන මහ ගෝෂාවක් ඇති කළා. ශබ්දය කියන්නේ ධ්‍යාන සමාපත්ති වලට කටුවක් වගේ කියල යි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ රජතුමා ත් ශබ්දය සමාපත්ති වලට බාධාවක් කියල දැනගෙන අධිකරණ ශාලාවෙන් නැගිටලා මතුමහල් තලයට ගියා. ගිහිල්ලා
සමාපත්තිවලට සමවදින්නට උත්සාහ කළත් පුලුවන් වුනේ නැහැ. රාජ්‍ය කටයුතු නිසා සිත විසිරිල යි තිබුනේ.

ඉතින් මේ නුවණැති රජතුමා මෙහෙම කල්පනා කළා. “රජකම ද උතුම් වෙන්නේ නැත්නම් ශ්‍රමණ ධර්ම උතුම් වෙන්නේ?”

එතකොට රජතුමාට තේරුණා රජකම කියන්නේ බොහෝ ආදීනව තිබෙන ළාමක දෙයක් කියල. නමුත් ශ්‍රමණ ධර්ම කියන්නේ බොහෝ ආනිසංස තිබෙන, මහා සැපතක් ලබා දෙන, උත්තම පුරුෂයින් ම සේවනය කරන උතුම් දෙයක් බවත් එතුමාට පැහැදිලි වුනා.

ඉතින් ඊට පස්සෙ රජතුමා ඇමතිවරුන්ට කතා කරලා දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලන කටයුතු සිදු කරන ලෙස ත් අධාර්මික කටයුතු කිසිවක් සිදු නො කරන ලෙසත් අණ කළා. එහෙම අණ කරලා තමන් ගේ මාලිගාවට ගිහිල්ලා සමාපත්ති සැපයෙන් ම කල් ගෙවන්නට පටන් ගත්තා. ආහාර පාන ආදී අවශ්‍ය දේවල් රැගෙන එන අයෙකුට මිසක් වෙන කෙනෙකුට රජතුමා ව
මුණ ගැසෙන්නට ඉඩ ලබා දුන්නෙත් නැහැ. ඉතින් මේ විදියට සති දෙකක කාලයක් ගත වුනා. ඉතින් මේ රජතුමාට අග මෙහෙසියකුත් හිටියනේ. අන්න ඒ අග බිසවට මෙහෙම හිතුන.

“මොකද මේ අපේ රජතුමා පේනෙන්න නැත්තේ. වෙනද නම්, උයනට යනව. සේනා බලන්ටත් යනව. නාට්‍ය බලන්නත් යනව. රජතුමා කොහෙ හරි ගිහිල්ලවත් ද?”

ඒ විදිවට හිතපු දේවිය ඒ ගැන විමසල බැලුව. එතකොට දැනගන්ට ලැබුණා රජතුමා එක දිගට භාවනා කරන බව. ඉතින් ඇය මොක ද දන්නව ද කළේ, එක්තරා ඇමතියෙකුට පණිවිඩයක් යැව්වා. ඒ පණිවිඩයෙන් කියවුනේ, “රජතුමා රජකම ප්‍රතික්ෂේප කළා නම්, මාවත් ප්‍රතික්ෂේප කළා වගේ තමයි. ඇවිල්ලා මාත් එක්ක වාසය කරන්න,” කියල යි.

ඉතින් මේ පණිවිඩේ අහපු ඇමතියා හොඳට ම භය වුනා. “නො ඇසිය යුතු දෙයක් නෙ මට මේ අහන්න ලැබුනෙ” කියල කණ් දෙක වහගෙන පණිවිඩේ ප්‍රතික්ෂේප කළා. දේවියත් වැඩේ අත් හැරියේ නැහැ. තව දෙපාරක් ම පණිවිඩ යැව්වා. ඒ දෙපාරම ත් ප්‍රතික්ෂේප කළා ම මේ විදියට තර්ජනය කළා.

“ඉතින් මං කියන විදියට කළේ නැත්නම්, ඔබ ව ඇමති කමිනුත් නෙරපනවා. ඔබව මරණයට හරි පත්කරනවා.”

එතකොට ඇමතිතුමා තදින් ම භය වෙලා මෙහෙම හිතුවා, “මේ කාන්තාවො කියන්නේ නම් තද අදහස් තිබෙන උදවියක්. සමහර විට මේ දේ කරන්න වුනත් බැරි නෑ”

ඉතින් ඇමතිතුමා එක දවසක් හොරෙන් ම ගිහින් දේවියත් සමඟ කාලය ගත කළා. අග මෙහෙසිය පෙර ජීවිතයේ බොහොම පින් කරපු තැනැත්තියක්. ඒ නිසා ඇගේ ශරීර ස්ඵර්ෂය බොහොම සැප දායකයි. ඇමතිය ඒ ශරීර පහසට තදින් ම ඇලුණා. ඒ නිසා නිතර නිතර ඇය හමුවෙන්නට ගියා. කල් යනකොට තමන් ගේ ම ගෙදර වගේ බිය සැක නැතිව හැසිරෙන්නට පටන් ගත්තා. මේ සිදු වීම දැකපු රාජ පුරුෂයෝ ඒ බව රජතුමාට දැනුම් දුන්නා. රජතුමා පිළිගත්තේ නැහැ. දෙවෙනි තුන්වෙනි වතාවට ත් දැනුම් දුන්නා. එතකොට රජතුමා මොක ද කළේ සැඟ වී මේ සිදු වීම බලා සිටියා. ඉතින් එය ඇත්තක් බව ඔහුට තමන් ගේ දෑසින් දැක ගන්නට ලැබුණා.


{මතු සම්බන්ධ යි}

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    wadi denek meme lipi dakinne na. mokada eka etharam penenne na web site eke. matath ahamben dakinna labune. ekata monawahari karanna.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails