Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මේ සෙල්ලම නවත්වන්නේ කවදා ද..?

Saturday, March 19, 2011 , at 5:39 PM


පංච උපාදානස්කන්ධ ජීවිතය වනාහි අවිද්‍යාව නිසා බාල බවට පත් වූ සංසාර ගත ළදරුවා ගේ සෙල්ලම් ගෙය යි.

එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ රාධ ස්වාමීන් වහන්සේ අමතා මෙසේ දේශනා කළ සේක..


‘‘සෙය්‍යථාපි, රාධ, කුමාරකා වා කුමාරිකායෝ වා පංස්‌වාගාරකේහි කීළන්‌ති, යාවකීවඤ්‌ච තේසු පංස්‌වාගාරකේසු අවිගතරාගා හොන්‌ති අවිගතච්‌ඡන්‌දා අවිගතපේමා අවිගතපිපාසා අවිගතපරිළාහා අවිගතතණ්‌හා, තාව තානි පංස්‌වාගාරකානි අල්‌ලීයන්‌ති කේළායන්‌ති ධනායන්‌ති මමායන්‌ති.


යම් සේ රාධ, කුඩා දරුවන් හෝ දැරියන් වැළි ගෙවල් වල සෙල්ලම් කරත් ද, යම්තාක් ඔවුනට එම වැලි ගෙවල් කෙරෙහි රාගය දුරු නො වූයේ ද, කැමැත්ත දුරු නො වූයේ ද, ප්‍රේමය දුරු නො වූයේ ද, පිපාසය දුරු නො වූයේ ද, දාහය දුරු නො වූයේ ද, තණ්හාව දුරු නො වූයේ ද, ඒතාක් ඔවුහු එම වැලි ගෙවල් වලට ඇලෙති. ඒවා සමග සෙල්ලම් කරති. තමන් ගේ ධනයක් මෙන් සළකති. මගේ යැයි සිතති.



යතෝ ච ඛෝ, රාධ, කුමාරකා වා කුමාරිකායෝ වා තේසු පංස්‌වාගාරකේසු විගතරාගා හොන්‌ති විගතච්‌ඡන්‌දා විගතපේමා විගතපිපාසා විගතපරිළාහා විගතතණ්‌හා, අථ ඛෝ තානි පංස්‌වාගාරකානි හත්ථේහි ච පාදේහි ච විකිරන්‌ති විධමන්‌ති විද්‌ධංසෙන්‌ති විකීළනිකං කරොන්‌ති.

යම් කලෙක රාධ, එම දරුවන් හෝ දැරියන් හෝ එම වැලි ගෙවල් කෙරෙහි ඇති රාගයෙන් දුරු වෙත් ද, කැමැත්තෙන් තොර වෙත් ද, ප්‍රේමයෙන් තොර වෙත් ද, පිපාසයෙන් තොර වෙත් ද, දාහයෙන් තොර වෙත් ද, තණ්හාවෙන් තොර වෙත් ද, එකල්හි එම පස්ගෙවල් අත්වලින් ද පාවලින් ද විසුරුවා දමත්. විනාශ කරත්. කඩා බිඳ දමත්. සෙල්ලම් කළ නො හැකි බවට පත් කරත්.

-----

මේ සිදු වීම අප සියල්ලන් ගේ ම පාහේ අනුභූතියකි (අත්දැකීමකි). කුඩා කාලයේ දී අපිදු සෙල්ලම් ගෙවල් තනා ගෙන සෙල්ලම් කළෙමු. තවත් නොයෙකුත් සෙල්ලම් බඩු ආදියෙන් ද සෙල්ලම් කළෙමු. ඒ අප ගේ සෙල්ලම් ගෙවල් ආදිය අපට සැබෑ ඒවා ම වූයේ ය. සෙල්ලම් යාන වාහන සැබෑ යාන-වාහන ම වූයේ ය. ඒවා අපට අප ගේ ධනය විය. වස්තුව විය. ඒවා අපි, අපට අයත් යැයි සිතුවෙමු. මමායනය කළෙමු.

ඇත්තෙන් ම එය අප ගේ ළදරු බව යි. නොදන්නාකම නොහොත් ඒවා කෙරෙහි අප තුළ ඇති අවිද්‍යාව යි.

ලෝක සම්මතයෙන් ළදරුවන් වූ අපට එම සෙල්ලම් ගෙවල්, සෙල්ලම් බඩු - යාන වාහන ආදිය කෙරෙහි ඇති කැමැත්ත දුරු වූ විට, ආශාව අඩු වූ විට, අපි ඒවා විසුරුවා දැමුවෙමු. විනාශ කළෙමු. සෙල්ලම් කළ නො හැකි බවට පත් කළෙමු.

----------

රූප වේදනා සඤ්ඤා සංස්කාර සහ විඤ්ඤාණයෙන් පරිමිත මේ ජීවිතය ද සෙල්ලම් ගෙයක් වැනි ය. සත්වයෝ එයට අතිශයින් මුලාවී සිටිති. එනිසා ම එය සත්‍යයක් වශයෙන් ගනිති. එයට දැඩි ලෙස ආදරය කරති. එය 'මම' යැයි ද, 'මම' යැයි ගනු ලැබූ දෙය ම නැවත 'මගේ' යැ යි ද, එසේ ම 'මාගේ ආත්මය' යැයි ද සළකති. උපන්දා සිට මිය යන තෙක් ම ත් ඉන්පසු වත්, එම සෙල්ලම් ගෙය සමග විකාර ක්‍රීඩාවක නිරත වෙති.

පංච උපාදානස්කන්ධ සෙල්ලම් ගෙය අතුරින් රූපය සමග සත්වයින් සිදු කරන සෙල්ලම ඉතා පැහැදිලි එකකි. සත්වයෝ ඒ රූපය හැඩ කරති. පාට කරති. සරසති. සුවඳවත් කරති. කඩා වැටෙන්නට යන විට තාවකාලික නමුත් සදාකාලික යැයි සිතා ගත් මුක්කු ගසති.

එසේ ම ජීවන සෙල්ලම් ගෙය තුළ සත්වයෝ හඩති වැළපෙති, සිනාසෙති, යළි සුසුම් හෙළති. සත්‍ය යැයි සිතා නොයෙකුත් දේ සිදු කරති. ඒ කිසිවක ඇති ව්‍යජභාවය හෝ හිස්භාවය තේරුම් ගන්නට තරම් ඔවුහු මුහුකුරා ගොස් නැත්තෝ ය.

මේ සංසාරික සෙල්ලම් ගෙයට අප කෙතරම් ආදරය කරන්නමෝ ද යත්, එය බිඳ වැටෙන්නට යන විට අපට මහත් බියක් දැනේ. දුකක් සන්තාපයක් දැනේ. එය කෙසේ හෝ රැක ගන්නට කෙළවර නො වන මානසික ප්‍රයත්නයක් අප තුළ තිබේ.

ලෝක සම්මතයේ ළදරුවන් නම් වැඩි වියට පත් වීමත් සමග සෙල්ලම් ගෙවල් පිළිබඳ ඇති ආශාව දුරු කොට දමති. ඒ ඒවා සෙල්ලම් ගෙවල් ම බව ඔවුන් අවබෝධ කර ගන්නා නිසා ය. නමුත් ලෝක සම්මතයෙන් වැඩි වියට පත් වුවද, සංසාර ගත බාළ බව දුරු නො වන හෙයින්, ජීවිතය සමග සිදු කරනු ලබන සෙල්ලම නතර කර ගැනීමට ඔවුනට නොහැකි වේ. බොහෝ විට සිදු වන්නේ මුළාව වඩාත් වර්ධනය වී, සිදු කරනු ලබන සෙල්ල ම උග්‍ර එකක් බවට පත් වීම යි.

එසේ ම ලෝක සම්මතයේ වැඩිහිටියන් දරුවන් ගේ සෙල්ලම් ගෙවල් සත්‍ය ඒවා නොව, ව්‍යාජ ඒවා බව තේරුම් ගත්ත ද, ඔවුනට තමන් ගොඩ නගා ගෙන සිටින ජීවිත සෙල්ලම් ගෙය ව්‍යාජ එකක් බව තේරුම් ගන්නට නො හැකි වේ. එනිසා ම ජීවිතය නම් වූ සෙල්ලම් ගෙය සත්‍ය එකක් වශයෙන් ගෙන සිදු කරනු ලබන ක්‍රීඩාව නතර කර ගැනීමට ද ඔවුනට නො හැකි වේ. එහි ආවසානික ප්‍රතිඵලය වන්නේ එක් ජීවිත සෙල්ලම් ගෙයක් බිඳ වැටුණු විට තවත් තැනක හට ගන්නා සෙල්ලම් ගෙයක් තුළ නැවත නැවතත් ක්‍රීඩාව පටන් ගැනීමට සිදු වීම යි. දිගින් දිගට ම කෙළවරක් නො පෙනන සසරක අප විසින් සිදු කරන්නට යෙදුනේ එයයි. එය නවතින්නේ කවදා ද..? කෙසේ ද..?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක..


එවමේව ඛෝ, රාධ, තුම්‌හේපි රූපං විකිරථ විධමථ විද්‌ධංසේථ විකීළනියං කරෝථ තණ්‌හාක්‌ඛයාය පටිපජ්‌ජථ. වේදනං විකිරථ විධමථ විද්‌ධංසේථ විකීළනිකං කරෝථ තණ්‌හාක්‌ඛයාය පටිපජ්‌ජථ. සඤ්‌ඤං… සඞ්‌ඛාරේ විකිරථ විධමථ විද්‌ධංසේථ විකීළනිකං කරොථ තණ්‌හාක්‌ඛයාය පටිපජ්‌ජථ. විඤ්‌ඤාණං විකිරථ විධමථ විද්‌ධංසේථ විකීළනිකං කරෝථ තණ්‌හාක්‌ඛයාය පටිපජ්‌ජථ.

තණ්‌හාක්‌ඛයෝ හි, රාධ, නිබ්‌බානං..


එසේ ම රාධ ඔබ ද, රූපය විසුරුවන්න, විනාශ කර දමන්න. කඩා බිඳ දමන්න. සෙල්ලම් කළ නො හැක්කක් බවට පත් කරන්න. තණ්හාව ක්ෂය කිරීම පිණිස කටයුතු කරන්න. වේදනාව විසුරුවන්න. විනාශ කර දමන්න...... සඤ්ඤාව විසුරුවන්න. විනාශ කර දමන්න........ සංස්කාර විසුරුවන්න. විනාශ කර දමන්න....... විඤ්ඤාණය විසුරුවන්න. විනාශ කර දමන්න. කඩා බිඳ දමන්න. සෙල්ලම් කළ නො හැක්කක් බවට පත් කරන්න. තණ්හාව ක්ෂය වීම පිණිස කටයුතු කරන්න.

තණ්හාව ක්ෂයවීම ම යි රාධ නිවන වන්නේ...


රූපය විසුරුවා දමනවා, විනාශ කොට දමනවා යනු සිය දිවි නසා ගැනීම නොවේ. ඇත්ත වශයෙන් ම යමෙක් රූපය නැති කර ගැනීමට යැ යි සිතා සිය දිවි නසාගත්ත ද, සංසාරගත ව උරුම වන රූපය හිමි නො වී පවතින්නේ නොවේ. එය කුමන හෝ ස්වරූපයකින් නැවත හට ගන්නේ ය. එ නිසා දිගින් දිගට ම පංච උපාදානස්කන්ධයන් හිමි වීම භෞතික ක්‍රමයකින් කිසිදු ලෙස නවතා ලිය නො හැකි ය.

සංසාරික සෙල්ලම් ගෙය නැවත නැවත හට ගන්නේ එම සෙල්ලම් ගෙයට ඇති තණ්හාව නිසා ය. ඒ නිසා එය නැවත හට නො ගන්නට නම්, කළ යුත්තේ තණ්හාව දුරු කර දැමීම යි.

තණ්හාව නිරුද්ධ කළ උතුමෝ සංසාරික ළදරු භාවයෙන් නිදහස් වී, සැබෑ වැඩිහිටි බවට පත් වූහ. ලෝක සම්මතයෙන් වැඩිහිටියන් ලෙස සළකනු ලබන මිනිසුන්, ජීවිත සෙල්ලම් ගෙය තුළ සිදු කරන හාස්‍ය ජනක සහ අනුකම්පා උපදවන ක්‍රීඩාව සැබැවින් ම දැකිය හැකි වන්නේ ඒ උතුමන්ට ය. එනිසා ම, ජීවිත සෙල්ලම් ගෙය තුළ ක්‍රීඩා කරන සාමාන්‍ය මිනිසුන්හට එකිනෙකා කෙරෙහි රාගය, ද්වේශය, මෝහය, ඉරිසියාව ආදිය ඇති වද්දී, උන්වහන්සේලාට හට ලෝකයා කෙරෙහි ඇතිවන්නේ, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී උතුම් ධර්මයන් පමණි.

ඒ උතුමන් වහන්සේලා පියවර තැබූ මග යමින්, තණ්හාව ඉතුරු නැතිව නිරුද්ධ කර දමා, සංසාරික සෙල්ලම් ගෙය සදහට ම විනාශ කර දමන්නට අප සියලු දෙනාට ද වාසනාව ලැබේවා..!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails