අකුසල් දුරු කරන්න ඔබත් කැමැති වෙන්න
Sunday, February 27, 2011
, at 5:14 AM
භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා කුසල් ධර්මයන් පිළිබඳව සොයල බලන එක, ප්‍රත්‍යවේක්‍ෂා කරන එක කුසල් ධර්මයන් දියුණු කර ගැනීම පිණිස බොහෝ උපකාර වන දෙයක් කියල.
යම් කෙනෙකුට තමන්ගේ සිතේ ස්වභාවය හොයල බලන්න තේරෙන්නේ නැත්නම්, ඒක පුරුදු කරගෙන නැත්නම්, එයාට ධර්මයේ පිහිටක් ලබා ගන්න බෑ, එයාට ධර්මය හුරු කර ගන්ට බෑ. යම් කෙනෙක් තමන්ගේ සිතේ ස්වභාවය, අකුසල් වලින් තමාගේ සිත යටවෙලා තියෙනව ද? අකුසලයන්ගෙන් තමාගේ සිත යටවෙලා නැද්ද? කියල හොයල බලනවා නම්, එයා සිහියෙන් නේද වාසය කරන්නෙ? ඒ විදිහට යමෙක් පිරිසක් සමඟ වාසය කරන කොට අර්බුධ ඇති වෙයිද? අමනාපකම්, එහෙම නැත්නම් අනවශ්‍ය විදියට කථා කර කර ඉන්න ස්වභාවයන් තියෙයිද? නෑ නේද? ඇයි ඒ? එයා තමාගේ ස්වභාවය තමන් ම හොයා බලමින් ඉන්නවා. තමන්ගේ සිත ගැන තමන් සෝදිසියෙන් ඉන්නවා. තමාගේ ජීවිතයට නැඹුරු වෙලා වාසය කරනවා. එයාට එතකොට බාහිර දෙයක් ගැන අනවශ්‍ය විදිහට සිතන්න කාලයක් තියෙනවද? “අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා”. ඒ වගේ බාහිර දෙයක් ගැන හිතන්න කාලයක් තියෙනවද එයාට? නෑ එයා තමාගේ ජීවිතයට නැඹුරු වෙලයි වාසය කරන්නේ.
ඉතින්, මේ විදිහට ප්‍රත්‍යවේක්‍ෂා කිරීම අපිට කරන්න පුළුවන් නේද? මේක වෙන කෙනෙකුට කරල දෙන්න පුළුවන්ද? තමාගේ සිතේ තියෙන ස්වභාවය තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්ද? හොයල පෙන්නන්න බෑ. එතකොට කවුද කළ යුත්තේ? තමා ම කළ යුතුයි. කවද සිටද මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පටන්ගත යුත්තේ? මේ මොහොතේ පටන් කළ යුතුයි, ඒ ඒ මොහොතේ කළ යුතුයි,, නිරන්තරයෙන් කළ යුතුයි. මේක අපි නොකර ඉන්නවා නම් නොකර ඉන්න තියෙන්නේ තද නින්දේ දී විතරයි. අනික් හැම වෙලාවෙ ම තමාගේ ස්වභාවය තමා තේරුම් ගනිමින් වාසය කළ යුතුය.
ඒ විදිහට තමාගේ ස්වභාවය තමා තේරුම් ගනිමින් වාසය කරනවා නම්, එයාට පු‍්‍රළුවන්කමක් තිබෙනවා ධර්මයට එන්න. එයාට පුළුවන්කමක් තියෙනවා පිරිසක් සමඟ අපහසුවක් නැතුව වාසය කරන්න. ඇයි එයාට කරන්න කටයුත්තක් තියෙනවා. හැබැයි එයාට සිහිය උපදවා ගන්න බැරුව යන වෙලාවක් එනවා, එයාට තෝරා බේරා ගන්න බැරුව යන වෙලාව එනවා, එයාගේ දහම් දැනුම ප්‍රමාණවත් නොවන කලක් එනවා. අන්න එතකොට එයාට උපකාරය පිණිස සිටින්නේ කල්‍යාණ මිත්‍රයා පමණයි. කල්‍යාණ මිත්‍ර ඇසුර බහුල වශයෙන් තිබිය යුතුම යි. එහෙනම් මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් අපි නිතරම කළ යුතුයි. කල්‍යාණ මිත්‍ර ඇසුරේ සිට ම. ඒ දෙක වරද්ද ගන්න එපා.
කෙනෙක් සිතන්න පුළුවන් “දැන් ඉතින් මට ලේසියි, මට තියෙන්නේ මේ ප්‍රත්‍යවේක්‍ෂා කර කර ඉන්න එක නේද?” කියල, “දැන් මොකටද තව කෙනෙක්” කියල. නෑ, කල්‍යාණ මිත්‍ර ඇසුර වුවමනාමයි. කල්‍යාණ මිත්‍ර ඇසුරෙදි තමයි එයාට දහම් දැනුම ලැබෙන්නේ. නොදත් ධර්මය කියා දෙන්නේ, ඒ ධර්මය ඒ ඒ තැන දී හුරුකර ගත යුතු ආකාරය කියා දෙන්නේ කල්‍යාණ මිත්‍රයා, මඟ පෙන්වන්නේ කල්‍යාණ මිත්‍රයා, තමාට තේරෙන්නේ නැත්නම්, තමා සිතිය යුතු රටාව කියා දෙන්නේ, සිතන විදිය, ගමන් කළ යුතු විදිය කියා දෙන්නෙ කල්‍යාණ මිත්‍රයා, සිහිය උපද්දවා දෙන්නේ කල්‍යාණ මිත්‍රයා, වීර්ය උපද්දවා දෙන්නට කටයුතු කරන්නේ කල්‍යාණ මිත්‍රයා, විශේෂයෙන් සිහිය උපද්දලා දෙන්න කල්‍යාණ මිත්‍රයාගේ උපකාරය වුවමනා කරනවා. නොදත් ධර්මය අහන්න ලැබෙන්නේ, දැනගත් ධර්මය පිරිසුදු කරගන්න ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරින්. ඒ නිසා හොඳට මතක තියා ගන්න, කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉඳගෙන තමාගේ සිත තමා ම ප්‍රත්‍යවේක්‍ෂා කරනවා නම් එයාට කුසල් ධර්මයන් වල හොඳ දියුණුවක් ඇති කර ගන්ට පුළුවන්කම තියෙනවා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, තමාගේ සිතේ තියන ස්වභාවය යම් කෙනෙක් නුවණින් කල්පනා කරන කොට එයාට තේරුණොත් එහෙම “මගේ සිත බහුල වශයෙන්, බොහෝ වේලාවට දැඩි ආශාවෙන් යට වෙලා තිබෙන්නේ, දැඩි තරහෙන් යටවෙලා තිබෙන්නේ”, කම්මැලි කමින්, අලසකමින් යටවෙලා තියෙනවා. කායික දුබලතාවයන්ගෙන් මගේ සිත යට වෙලා තිබෙන්නේ. මේ විදියට යම් කෙනෙකුට තේරෙනවා නම්, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අන්න ඒ අකුසලයන් දුරුකර ගැනීම පිණිස මහත් වූ කැමැත්තක් උපදවාගෙන වාසය කරන්න කියල. ඒ කැමැත්ත උපදවාගෙන වීරිය ඇති කරගෙන ඒ අකුසලයන් දුරු කරගන්න කල්පනා කරන්න කියල අපට කියා දෙනවා.
ඉතින් යම් කෙනෙක් මේ විදියට ප්‍රත්‍යවේක්‍ෂා කරනකොට එයාට තේරෙනව නම්, මගේ සිත බහුල වශයෙන් දැඩි ආශාවට යට වෙලා නෑ, මගේ සිත බොහෝ වෙලාවක් දැඩි තරහෙන් යට වෙලා නෑ, කම්මැලිකමෙන්, ථිනමිද්ධයෙන් මගේ සිත යට වෙලා නෑ, කුසීතකමින් මගෙ සිත යට වෙලා නෑ, කායික අපහසුතා වලින් මා පීඩා විඳින්නෙ නෑ, මේ විදියට යම් කෙනෙකුට තේරෙනව නම්, ආන්න එයාට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනවා”, මේ උපදවා ගත්තා වූ යම් කුසල් ධර්මයන් තියෙනවා නම් අන්න කුසල් වල ඉඳලා ආශ්‍රව ක්‍ෂය කර ගැනීම දක්වා වීරිය කරන්න මහන්සි වෙන්න, කැමති වෙන්න” කියලා.
එතකොට බලන්න, අප මේ ධර්මය පුරුදු කරගත්තොත් අපට භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. එහෙනම්, අපි ආරම්භයේ දී මොකක්ද ඇති කර ගත යුතු දේ? “මම කුසල් ධර්මයන්වල දියුණුවට කැමැති වෙන්න ඕනෑ” කියන අදහස ඇති කර ගන්න. මොනවද ඒ දියුණු කළයුතු කුසල් ධර්මයන් ? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව, පටිභාන. මෙන්න මේ කුසල ධර්මයන්වල දියුණුවකට අප කැමැති වෙන්න ඕන. දැන් ඒ කුසල ධර්මයන්වල දියුණුව කියන්නේ මොකක්ද? පිරිහීම කියන්නේ මොකක්ද? එකම තත්ත්වයේ තියෙනව කියන්නෙ මොකක්ද කියලත් දන්නවා. එතකොට ඒ කුසල ධර්මයන් වල පිරිහීමට, එකම මට්ටමේ තිබීමට භාග්‍යවතුන් වහන්සේ කැමැති නෑ. කැමැති වන්නේ කුසල ධර්මයන්වල වැඩි දියුණු වීමකට වර්ධනය වීමකටයි. එහෙනම් අපත් කැමැති වෙන්න ඕන අන්න ඒකට.
එතකොට ඒ කුසල් ධර්මයන් වල වැඩි දියුණු වීමේ රටාව කොහොමද සිදු වන්නේ කියන කාරණාව තමයි මේ කියා දෙන්නේ. කොහොමද මේ කුසල ධර්මයන් වැඩි දියුණු වෙන්නේ? ප්‍රත්‍යවේක්‍ෂා කිරීම තුළ. තමාගේ සිත දකින ක්‍රමවේදය පුරුදු වීමෙන් තමයි කුසල ධර්මයන් වැඩි දියුණු කරගන්ට පුළුවන්කම තියෙන්නෙ. එහෙනම් අන්න ඒ කාරණාව අප හොඳින් ඉගෙන ගන්න ඕන. හොඳින් ඉගෙන ගත්තොත් අපට පුළුවන්කම තිබෙනවා ඒ ධර්මය පුරුදු කර ගන්න. ඒ නිසා අද ඉගෙන ගත්ත කාරණා මං හිතන්නෙ අප කාටත් මේ ජීවිතය අතිශයින් ම භාග්‍ය සම්පන්න කර ගන්න උපකාර වෙයි. මේ ඉගෙන ගන්නා කරුණු අදට පමණක් නෙවෙයි ආශ්‍රව ක්‍ෂය වන තෙක් අපට උපකාරය පිණිස පවතිනවා. ඒ නිසා මේ ධර්මය අද කියවල අමතක කර ගන්න එපා.
ඒ නිසා අද දවසේ දී මේ කියවූ ධර්මය ඔබ කාගේත් ජීවිත පරිපූර්ණ වූ සැපයක් කරා දියුණු කරගැනීම පිණිස බලවත් සේ උපකාර වේවා! කියල, අපි ආශිර්වාද කරමු.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2011/02/24/tmp.asp?ID=fea02
Currently have 0 comments: