Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සිත දැකීමට දක්ෂ වෙමු

Tuesday, February 15, 2011 , at 1:19 AM


අපි පසුගිය සති කිහිපයේ බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න කැමැති කෙනෙක්, ආරම්භයේ සිට ම පුරුදු කළයුතු ඉතාමත් ම වැදගත් කාරණාවක් පිළිබඳව කතා කළෙමු. ප්‍රත්‍යවේක්‍ෂා කරන්න පුරුදුවීම. යම් කෙනෙක් ප්‍රත්‍යවේක්‍ෂා කරන්න දන්නේ නැත්නම් ඒ වගේම ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නැත්නම්, එයාට බණ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගන්න ලැබෙන්නේ නෑ.

එයාට භාවනාව දියුණු කරගන්න ලැබෙන්නේ නෑ. ඊළඟට ධර්මය වැඩි දියුණු කරගන්න එයාට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. ඒ ගැන තවදුරටත් අපට තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තමයි අප ඉගෙන ගන්න සූදානම් වෙන්නේ.

අංගුත්තර නිකායේ 6 වන පොත් වහන්සේගේ තියෙනවා ‘සචිත්ත සූත්‍රය කියල සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ විදියට. පින්වත් මහණෙනි, ඔබට අනුන්ගේ සිත දැකීමේ හැකියාව නැත්නමි. ඔබ තමන්ගේ සිත දැකීමේ කුසලතාව උපදවා ගන්නම කියල. යම් කෙනෙකුට අනුන්ගේ සිත දැකීමේ කුසලතාව තියෙනව නම් එයාට තමන්ගේ සිත දැකීම අපහසු වෙන්නේ නෑ.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා තමන්ගේ සිත දැකීමේ කුසලතාව දියුණු කරගන්න කියල. ඒක මේ වගෙයි කියල උදාහරණයක් පෙන්වා දෙනවා. තරුණ වයසේ ඉන්න පිරිමියෙක් එහෙම නැත්නම් කාන්තාවක් කණ්ණාඩියකින් මුහුණ බලනවා. මුහුණ බලනකොට එයාට පේනවා මුහුණේ දූවිලි එහෙම නැත්නම්, කැළලක් ඒ වේලාවේදී එයා කල්පනා කරනවා, මේ කැළල නැත්නම්, දූවිලි නැත්නම් ඒක මට බොහෝ ලාභයක්. එතකොට මගේ මුහුණ පරිපූර්ණයි ම කියලා. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඒ වගේ යම් කෙනෙක් තමන්ගේ සිත හොඳින් තේරුම් අරගෙන , මේ සිතේ යම් කිලුටක් තියෙනවා නම් ඒක නැතිකර ගැනීම පිණිස, කුසල් දහම් දියුණු කරගැනීම පිණිස ,මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ සෙයින් උපකාර වෙනවා කියලා.

තරුණයෙක් හෝ තරුණියක් තමන්ගේ මුහුණ කණ්ණාඩියකින් බලා පිරිසුදු කරගන්ට කල්පනා කරන්නේ යම්සේද, අන්න ඒ වගේ සිත පිරිසුදු කරගන්න කල්පනා කරන්න කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා. කණ්ණාඩියකින් මුහුණ බලපුවහ ම එයාගේ මුහුණේ කැළලක් තිබුණොත්, නැත්නම් කිළිටි තිබුණොත් දූවිලි තිබුණොත් එයා ඉක්මණින්ම ඒක පිරිසුදු කර ගන්න මහන්සි වෙනවා නේද? පස්සේ බැරියැ කියල ඉන්නවාද? නෑ එයා ඉක්මනින්ම ඒක පිරිසුදු කරගන්න වෑයම් කරනවා. අන්න ඒ වගේ කුසල් දහම් දියුණු කරගන්න වුවමනාව ඇති කෙනාට, මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ උපකාර වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලබනවා.

ඒක කොහොමද කරන්නේ කියල මෙ විදිහට අපට කියා දෙනවා. තම තමා තම තමා ගැන කල්පනා කළ යුතුයි. දැන් තමන්ගේ සිත දකින්නට තමයි මේ මහන්සි වෙන්න කියන්නේ. අනුන්ගේ් සිත දකින්න නෙවෙයි. තමන් ම තමා ගැන කල්පනා කරලා හොඳට සෝදිසියෙන් බලන්න කියලා කියනවා. මගේ සිතේ දැඩි ආශාව තියෙනවා ද? එහෙම නැත්නම් දැඩි ආශාව නැද්ද? ම කියල සෝදිසි කරල බලන්න කියලා කියනවා. ඒ වගේම මගේ සිතේ දැඩි තරහ තියෙනවාද? දැඩි තරහ නැද්ද? මා දැඩි තරහෙන්ද වාසය කරන්නේ? එහෙම නැත්නම් දැඩි තරහ නැතුවද මා වාසය කරන්නේ කියල බලන්න කියනවා. ඊළඟට මා ථීනමිද්ධයෙන් යටවෙලාද වාසය කරන්නේ?. එහෙම නැත්නම් ථීනමිද්ධය නැතුවද වාසය කරන්නේ? කියල සෝදිසි කරල බලන්න කියනවා. ඊළඟට මේ සිතේ විසිරුණු ගතිය තියෙනවාද? ඒ විසිරුණු ගතියට යටවෙලාද මං වාසය කරන්නේද? එහෙම නැත්නම් මගේ සිතේ ඒ විසිරුණු ගතිය නැද්ද? ම කියල සෝදිසි කරල බලන්න කියනවා. ඊළඟට මගේ සිතේ සැකය තියෙනවාද? සැකය නැද්ද? සැකය පහවෙලා ද? ම කියල සෝදිසි කරල බලන්න කියල කියනවා. මට කේන්ති යන ගතිය තියෙනවාද? කේන්ති යන ගතිය නැද්ද? ඒ විදියට බලන්න කියල කියනවා. ඊළඟට මගේ සිත කිළිටි වෙන ස්වභාවයෙන් යුක්තයි ද?එහෙම නැත්නම් මගේ සිත කිළටි නැද්ද? පිරිසුදුයි කියල සෝදිසි කරල බලන්නම කියල කියනවා. ඊළඟට අපට කියා දෙනවා හොඳට බලන්න කියල. මගේ ශරීරය ගිලන් ස්වභාවයෙන්ද තියෙන්නේ, මගේ ශරීරයට මහන්සියිද? මෙතන ගිලන් කියල කියන්නේ ලෙඩ වෙලා කියන එක නෙවෙයි. දැන් ඔන්න සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙනවා.

එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. බණ භාවනා කරගන්න බැරි විදියට කායික අපහසුකම් ඇතිවෙලා තියෙනවද? වෙහෙස, මහන්සිය ඇඟ රිදෙන ගතිය, මේ වගේ බණ භාවනා කරන කෙනෙකුට ශරීරයේ අපහසුකම එන්න පුළුවන්. අන්න ඒ වගේ ශරීරයේ ගිලන් ස්වාභාවයෙන් යුක්තව ද මං වාසය කරන්නේ. දැන් මා ශරීරයේ ගිලන් ස්වභාවය දුරු කරගෙන වාසය කරනවාද? කියල සෝදිසි කරල බලන්න කියල කියනවා. ඊළඟට බලන්න කියනවා මගේ සිතේ කම්මැලිකම බහුල වශයෙන් තියෙනවද? කම්මැලිකම දුරු කරගෙන මං වාසය කරනවාද? මේ විදිහට සෝදිසිකරල බලන්න කියනවා. ඊළඟට කියා දෙනවා. සමාහිත සිතකින් වාසය කරනවාද? . එහෙම නැත්නම් මා ආසමාහිත සිතින්ද වාසය කරන්නේම මේ විදිහට තමා ගේ සිත ගැන තමාම සෝදිසි කරල බලන්න කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

එතකොට බලන්න, මේ විදියට බලන කෙනාගේ සිතේ ඒ කුසල ස්වාභාවයන් තියෙනවාද? නැද්ද? තියෙනවා මේ සිතේ අකුසල ස්වාභාවයන් තියෙන කෙනා ඒවට යටවෙලා, බයවෙලා නේද ගොඩක් වෙලාවට වාසය කරන්නේ? අපි මේ විදියට සෝදිසි කරල බලනවා නම්, අකුසලය තිබුණා කියල එයා ධර්මය තුළද? ධර්මයෙන් බැහැරද? ධර්මය තුළ එනිසා මං ළඟ රාගය තියෙනවා. තරහ එන ගතිය තියෙනවාම කියලා අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා.

ඒ අකුසලය තියෙනවා කියලා දැනගැනීම පිණිස මොකක්ද එයාට කරන්න තියෙන්නේ? එයා හොඳට නුවණින් කල්පනා කරල බලන්ට ඕන. මා තුළ මේ තරහ එන ගතිය තියෙනවද. නැද්ද? මම තරහ එන ගතියෙන් යුතුව බොහෝ සෙයින් වාසය කරනවාද? එහෙම නැත්නම් මා බොහෝ වාසය කරන්නේ තරහ යන ගතිය නැතුවද? මා කාමච්ඡන්දයෙන් බොහෝ වාසය කරනවාද? කාමච්ඡන්දය නැතුව බොහෝ වාසය කරනවාද? ම කියල තමා ගැන තමාම සෝදිසි කරල බලන්ට ඕන. මා බොහෝ සෙයින් ථීනමිද්ධයෙන් යුතුව වාසය කරනවාද? එහෙම නැත්නම් මා බොහෝ ථීනමිද්ධය නැතුව වාසය කරනවාද? කියල තමා ගැන තමා ම සෝදිසි කරල බලන්න ඕන. ඊළඟට මා කම්මැලිකමින් යුක්තව බොහෝ වාසය කරනවාද? කම්මැලිකම නැතුව බොහෝ වාසය කරනවාද? කියල තමා ගැන තමා ම හොයල බලන්නට ඕන. ඊළඟට මා මගේ ශාරිරික අපහසුකම් තුළ ද බොහෝ සෙයින් වාසය කරන්නේද? ශාරීරික අපහසුකම් දුරු කරගෙන ද මං වාසය කරන්නේ? කියල තමා ම තමා ගැන සෝදිසි කරල බලන්න ඕන. ආන්න ඒකට කියනවා ප්‍රත්‍යවේක්‍ෂා කරනවා කියලා.

මෙහෙම එකක් අප පුරුදු වෙලා තියෙනවද? පුරුදු වෙලා නෑ නේද? මේක පුරුදු නොකර අපිට මේ අකුසලය අඳුරගන්න බෑ. ඒ අකුසලය දුරු කර ගන්න අපේ සිත පිහිටුව ගන්න ලැබෙන්නෙත් නෑ. ඇයි ඒ? හොයල බලන්නේ නැති නිසා වෙන්නෙ ඒ අකුසලය ආවහම ඒකට යට වෙනවා. ථීනමිද්ධය එනවා.

අප නිදා ගන්නවා. තරහ එන ගතිය තියෙනවා. අප තරහ පවත්ව පවත්වා ඉන්නවා. එයා බලන්න ඕන. මගේ සිතේ තරහ ස්වභාවය බහුල වශයෙන් තියෙනවාද? කම්මැලිකම බහුල වශයෙන් තියෙනවද? මේ ආදී වශයෙන් තමාගේ සිතේ තියෙන මේ ස්වභාවය තමන්ම තේරුම් ගන්න ඕන. මේකට කියනවා ප්‍රත්‍යවේක්‍ෂා කරනවා කියල.

ඉතින් අන්න ඒ විදියට හොයල බලනකොට, ඒ විදියට ප්‍රත්‍යවේක්‍ෂා කරනකොට, එයාට තේරෙනවා නම්, මම දැඩි ආශාවන්ගෙන් යුක්තවයි බහුල වශයෙන් වාසය කරන්නේ.

දැඩි තරහ සිතින් යුක්තවයි බහුල වශයෙන් වාසය කරන්නේ? මා මේ විදියට එයාට තේරෙනව නමි, එහෙම නැත්නම් එයාට තේරෙනවානම් ථීනමිද්ධයෙන් යටවෙලා මා බොහෝවිට වාසය කරන්නේ.

කම්මැලිකමින් යටවෙලා මා වාසය කරන්නේ. මා ගිලන් කයෙන් යුක්තවයි බොහෝ වාසය කරන්නේ. ඒ කියන්නේ ඇඟපත අමාරුයි. ඇඟපතේ අපහසුකම් තියෙනවා එයාට. එයා බහුල වශයෙන් ඒ විදිහටයි ඉන්නේ. ඉතින් එයා තේරුම් ගන්නවා. මා බහුල වශයෙන් ඇඟපතේ අමාරු සහිතව තමා වාසය කරන්නේ.

මා කුසීතකමින් යුක්තවයි බහුල වශයෙන් වාසය කරන්නේම කියලා එයා තේරුම් ගත්තොත්. ආන්න ඒ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

තරුණයෙක් හෝ තරුණියක් කණ්ණාඩියකින් මුහුණ බලනකොට, ඒ වෙලාවේදී එයා දැක්කොත් තමන්ගෙ මුහුන යම් කිළිටි දෙයක් තැවරිලා තියෙනවා, එයා කොහොමද කැමැති වෙන්නේ? ඉක්මණින් ඒක පිරිසුදු කරගන්න කැමැති වෙනවා.අන්න ඒ වගේ තමාගේ සිත ගැන ප්‍රත්‍යවේක්‍ෂා කරන කෙනා ඉක්මනින්ම ඒ අකුසලයන් දුරු කරගන්න කැමැතිවෙන්නම කියලා භාග්‍යවතුන්වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එක බහුල වශයෙන් නිතර කළ යුතුයි. නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැත්නම් එයාට අඳුනගන්න බෑ. මගේ සිතේ මෙහෙම අකුසලයක් තියෙනවා කියලාම එයා අකුසලයට යටවුණු සිතින් වාසය කරනවා. එතකොට අපට අකුසලය දුරු කරගන්න බැරි නිසාම කුසල් දහම් දියුණු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති පරිදි ආන්න ඒ විදියට අකුසල් ස්වභාවයන් බහුල වශයෙන් සිතේ තියෙනවා නම්, එයා ඉක්මනින්ම ඒ ලාමක වූ අකුසලයන් දුරු කිරීම පිණිස බලවත් කැමැත්තක් උපදවාගන්න කියලා.

ඒ වගේම එයාට වීරිය කරන්න කියලා කියනවා. ඒ අකුසල දුරු කිරීම පිණිස සිහි නුවණ උපද්දවගෙන වාසය කරන්න කියලා කියනවා. අන්න එතකොට එයාට යම් කලකදී ඒවා දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා.

ඉතින් ඒ විදිහට එයා ප්‍රත්‍යවේක්‍ෂා කරල බලන කොට, එයාට යම් කලකදී තේරෙනවා. දැන් මගේ සිතේ මේ දැඩි ආශාව නෑ. දුරුවෙලා ගිහිල්ලා. දැන් මගේ සිතේ මේ තරහ යන එන ගතිය දුරුවෙලා ගිහිල්ලා. දැන් මගේ සිතේ මේ අලසකම, ථීනමිද්ධය, දුරුවෙලා ගිහිල්ලාම කියලා. ඊළඟට දැන් මගේ මේ කයේ අපහසුකම් දුරුවෙලා ගිහිල්ලා. දැන් මගේ කයට සුව පහසුව තියෙනවා කියලා තේරෙන කලක් එනවා කියල භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබෙනවා.

මේ උපදවාගත්තු කුසල් දහම් තුළ පිහිටලා අනාගතයේදී ආශ්‍රව ක්‍ෂය කරගැනීම පිණිස මහන්සි වෙන්න කියලා. අපේ මේ වෑයම ආශ්‍රව ක්‍ෂය වීමෙන් අවසන් වෙනවා. එහෙනම් අපිට ආශ්‍රව ක්‍ෂය කරගැනීම පිණිස, මේ ගමන ආරම්භ වෙන්නේ කොතනින්ද, ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්,අපි ප්‍රත්‍යවේක්‍ෂා කරන්න පුරුදුවෙන්න ඕන. දඬ වෙන්න ඕන.

තමන්ගේ සිතේ අකුසල ස්වභාවයක් තියෙනවාද? .අකුසල ස්වාභාවයන්ට යට වූ සිතින්ද බහුල වශයෙන් වාසය කරන්නේ කියලා හොයල බලන්න. එහෙම හොයල බලන කෙනා. බලවත් කැමැත්තක් උපදවා ගත යුතුයි.

නාවලපිටියේ අරියවංශ හිමි

'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්

http://www.lakehouse.lk/budusarana/2011/02/11/tmp.asp?ID=vision03

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails