Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

කෙලෙස් සංග්‍රාමය දිනූ සංගාමජී මහරහතුන් වහන්සේ

Sunday, December 26, 2010 , at 6:28 PM


බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

සංගාමජී සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාවට, “ සංගාමජී ආර්යයන් වහන්සේ සැවැත්නුවරට පැමිණියේ ය“ යන මෙය අසන්නට ලැබුණි. ඇය දරුවා ද රැගෙන ජේතවනාරාමයට ගියා ය.

එසමයේ ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ එක්තරා ගසක් මුල දිවා විහරණයෙන් වැඩ සිටි සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියා ය. පැමිණ ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේට මෙසේ කීවා ය. “ශ්‍රමණයන් වහන්ස, මට කුඩා පුතෙක් සිටිනවා. මාව පෝෂණය කරන්න“. එසේ පැවසූ විට ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ නිහඬව ම වැඩ සිටිසේක.

දෙවැනි වතාවට ද ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේට මෙසේ කීවා ය. “ශ්‍රමණයන් වහන්ස, මට කුඩා පුතෙක් සිටිනවා. මාව පෝෂණය කරන්න“. දෙවැනි වතාවටත් ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ නිහඬව ම වැඩ සිටි සේක.

තෙවැනි වතාවට ද ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේට මෙසේ කීවා ය. “ශ්‍රමණයන් වහන්ස, මට කුඩා පුතෙක් සිටිනවා. මාව පෝෂණය කරන්න“. තෙවැනි වතාවටත් ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ නිහඬව ම වැඩ සිටි සේක.

එවිට සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව ඒ කුඩා දරුවා ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ඉදිරියේ දමා, “ශ්‍රමණයන් වහන්ස, මේ ඔබේ දරුවා ය, මොහුව පෝෂණය කරන්නැ“ යි කියා පිටත්ව ගියා ය.

එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ඒ දරුවා දෙස නො බැලූ සේක. දරුවා සමග කථා ද නො කළ සේක. එවිට ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව මදක් දුර ගොස් ආපසු බලන විට ඒ දරුවා දෙස නො බලන, දරුවා සමග කථා ද නො කරන ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ව දුටුවා ය. දැක ඇයට මෙසේ සිතිනි.

“මේ ශ්‍රමණයන් වහන්සේ පුත්‍රයාගෙනුත් ප්‍රයෝජනයක් නැති අයෙකි“ කියා ය.. ඉන්පසු ඇය ආපසු පැමිණ දරුවා ද රැගෙන පිටත්ව ගියා ය.

භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින්, ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව ගේ මේබඳු වූ ඒ විකාරය දුටු සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.


ආයන්තිං නාභිනන්දති පක්කමන්තිං න සෝචති,
සංගා සංගාමජිං මුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

තේරුම »»»

“එන තැනැත්තිය දැක සතුටු ද නො වෙයි, යන තැනැත්තිය දැක ශෝක ද නො කරයි. සියලු කෙලෙසුන් ගෙන් මිදුණු සංගාමජී භික්ෂුව මම බ්‍රාහ්මණයෙක් යැයි කියමි.“


භාවය »»»

ආයන්තිං- එන තැනැත්තිය
නාභිනන්දති - සතුටු නො වෙයි.
පක්කමන්තිං - යන තැනැත්තිය
න සෝචති - ශෝක නොකරයි
සංගා - රාග ද්වේශ මෝහ මාන දිට්ඨි යන කෙලෙස්,
මුත්තං - මිදුණා වූ,
තං - ඒ,
සංගාමජිං - සංගාමජී භික්ෂුව,
අහං- මම,
බ්‍රාහ්මණං - බ්‍රාහ්මණයෙකැ යි,
බ්‍රෑමි - කියමි.




සටහන..

සංග යනු පාළියෙන් කෙලෙස් හඳුන්වන වචනයකි. සංගාම යනු යුද්ධය යි. සංගාම ජී යන්නෙන් සංග්‍රාමය දිනූ යන්න අර්ථවත් වේ.

තමන් ගේ නාමය අර්ථවත් කරමින් සියලු කෙලෙස් පරාජය කළ මේ උතුම් රහතන් වහන්සේ ගේ ජීවිතය සැබැවින් ම අසිරිමත් එකකි.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වදාළේ යදම් ආදියෙන් සිදු කරන බැඳීම මහත් බන්ධනයක් නො වන බව යි. නමුත් දරු බුණුපුරන් කෙරෙහි, ස්වාමි භාර්යාවන් කෙරෙහි ඇති බැදීම සිඳලන්නට දුෂ්කර ම බන්ධනයක් බව බුදු රජාණන් වහන්සේ වදාළ සේක.

කෙළෙස් වැගිරෙන ජීවිතයක් ගත කරන අයෙකුට නම්, තමන් ගේ භාර්යාව හෝ ස්වාමියා දකින විට සතුටක් ද, ඔවුන් ගෙන් දුරස් වන විට දුකක් ද ඇති වේ. නමුත් සියලු කෙලෙසුන් නසා දැමූ මේ සංගාමජී මහරහතුන් වහන්සේට ඒ කිසිවක් සතුට හෝ ශෝකය ජනිත නො කරවයි. උන්වහන්සේ ඒ සියල්ල ඉක්මවා ගිය සේක.

ස්ත්‍රියක් සිදු කරනු ලැබූ විප්‍රකාරය ඉදිරියේ, සිය ලයෙන් උපන් පුත්‍රයාගේ නිකෙළෙස් හැසිරීම දිවැසින් දුටු ශාස්තෘන් වහන්සේ ගේ මුවින් නිකුත් වූ ප්‍රීති වාක්‍යය සැබැවින් ම සුන්දර එකකි.

සාදු සාදු සාදු!!!

Bookmark and Share

Currently have 1 comments:

  1. Sachintha says:

    bohoma sthuthiyi

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails