Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකියි

Sunday, November 21, 2010 , at 11:27 AM

ගොයුම් ගොත් මුනිරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් ව බෝධි වෘක්ෂ මූල‍යේ වැඩ වෙසෙමින් පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් අනුලෝමප්‍රතිලෝම වශයෙනුත් ඉතා හොඳින් මෙනෙහි කළ අයුරු අප විසින් කියවන්නට යෙදුනා. ඒ වගේ ම ඉන්පසු උන්වහන්සේ විසින් පළ කරන්නට යෙදුනු සොඳුරු උදාන ගාථාවනුත් අපි ඉගෙන ගත්තා. එම උදාන ගාථා තුනට ම මුල් වූයේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම යි.

ඇත්ත වශ‍යෙන් ම පවසනවා නම් මුලු මහත් සංසාරයේ ම රහස ගැබ් වී ඇත්තේ මේ පටිච්ච සමුප්පාදය තුළ බව කිවහොත් එය නිවැරදි යි. එනිසා ම පටිච්චසමුප්පාදය තේරුම් නොගත් සත්වයින් අවුලෙන් අවුලට පත්ව සිටිනවා. භාග්‍යවතුන්වහන්සේ වදාළේ, මිනිසුන් මුදු තණ, බබුස් තණ මෙන්-නූල් කැටියක් මෙන්, අවුල් ජාලාවකට පත් ව සිටින්නේ මේ හෙතුඵල දහම ගැන පවතින අනවබෝධය නිසා බව යි.

පටිච්ච සමුප්පාදය යනු ඉතා ම ගම්භීර ධර්මයක්. එනිසා ම එය දැකීමට ඉතා දුෂ්කර එකක් බවත්, තර්කයට ගෝචර නොවන, සියුම් නුවණින් යුතු ප්‍රඥාවන්තයින් විසින් ම අවබෝධ කරගනු ලබන ධර්මතාවයක් බවත් බුදු සමිඳුන් වදාළා. සියලු බෝධිසත්වයින් වහන්සේලා සම්බෝධියට මාර්ගය විවර කර ගනු ලබන්නේ මෙම පටිච්චසමුප්පාදය මනාකොට යෝනිසෝ මනසිකාරයට බඳුන් කිරීමෙනුයි. සම්බෝධිමූලයේ විමුක්ති සුවය විඳිමින් පුරා සතියක් එක ම පළඟින් වැඩ සිටි භාග්‍යවතුන්වහන්සේ ඉන් නැගී සිට රාත්‍රියේ පළමු යාම‍යේ දී සිදු කළේ හේතු ඵල දහම අනුලෝම වශයෙන් මෙනෙහි කිරීම යි‍.

හේතුඵල දහමේ සකස් වීම යනු මුලු මහත් සංසා‍රයේ ම සකස් වීම යි‍‍. ලෝකයේ සමුදය යි. සියලු දුක් දොම්නස් සුසුම් හෙළීම්වල උපත යි. මුලු මහත් ජීවිත පැවැත්ම ම පටිච්ච සමුප්පාදයට අනුව සකස් වන අයුරු නො දන්නා ලෝක සත්වයා, ඒ නිසා ම නොයෙකුත් දෘෂ්ටි මතවාද තුළ පැටලෙනවා. දුක යනු හේතුවක ඵලයක් ලෙස නොදකින නිසාම, එක්කෝ එය මමෙකු විසින් සිදු කළ දෙයක් ලෙස ලෝකයා කල්පනා කරනවා. ‍නො එසේ නම් නොපෙනෙන කිසියම් පුද්ගලයෙකු විසින් හෝ බලවේගයක් විසින් දුක ඇති කරනු ලබන බව සිතනවා. එසේ ත් නැතිනම් මේ ජීවිත පැවැත්ම යනු ඉබේ හටගත් දෙයක් ලෙස දෘෂ්ටි ඇති කර ගැනීමට සත්වයා පෙළඹෙනවා. එපමණක් නොවේ, සංසාර පැවැත්ම පිළිබඳව පවා පටිච්චසමුප්පාදය තේරුම් නොගත් පුද්ගලයා තුළපවතින්නේ සැක සංකා සමූහයක් පමණ යි.

"මම අතීතයේ සිටියා ද නැද්ද, අනාගතයේ මම සිටිනවා ද නැද්ද, මේ සත්වයා පැමිණියේ කොහේ සිට ද., ලෝකයේ ආරම්භය කෙසේ සිදුවීද" ආදී වශයෙන් නොයෙකුත් සැක සංකා සමූහයක් සේ ම අන්තගාමී දෘෂ්ටි සමූහයක් ද සත්වයා ගේ සන්තානය තුළ හොල්මන් කරන්නට පටන් ගන්නේ පටිච්චසමුප්පාදය නො දැකීම නිසා ම යි.

නමුත් පටිච්චසමුප්පාදය අනුව කේවල දුක්ඛස්කන්ධය වූ පුද්ගල ලෝකය ගොඩ නැගෙන අයුරු දකින ශ්‍රාවකයා තුළින් සියලු දෘෂ්ටි සැක සංකා දුරු වී යනවා. දුක තමා විසින් කළ දෙයක්, අනුන්විසින් කළ දෙයක් හෝ ඉබේ හට ගත් දෙයක් ආදී වශයෙන් ගොඩ නැගෙන සියලු අන්තවාදී අදහස් ද ඔහු තුළින් නැවත ඇති නොවන ලෙස ම දුරු වී යනවා.

ඒ නිසා ම යි භාග්‍යවතුන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙන් මෙනෙහි කිරීමෙන් අනතුරුව මේ උදානය වදාළේ..

"කෙලෙස් තවන වීරියෙන් යුතු, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට යම් කලෙක ඒකාන්ත වශයෙන් ධර්මයෝ පහළ වෙත් ද, එකල් හි ඔහු ගේ සියලු සැක දුරු වේ. යම්හෙයකින් හේතු සහිත ධර්මයන් දැනගන්නේ ද එ‍හෙයිනි."

හේතු සහිත ධර්ම (සහේතුධම්මා) පටිච්චසමුප්පාදයට අනුව දැන ගැනීම නිසා ම සියලු සැක සංකා දුරු වී යන බව යි බුදු සමිඳුන් මෙහි දී වදාළේ. ඇත්ත වශයෙන් ම ‍හේතු සහිත ධර්ම දැක ගැනීමට ශ්‍රාවකයාට අවකාශ සැලසෙන්නේ ‍බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම නිස සි. කෙසෙල් තවන වීරියෙන් යුතු ව ධ්‍යාන වඩමින් උතුම් ජීවිතයක් ගත කරන ශ්‍රාවකයා තුළ තමයි බෝධි පාක්ෂික ධර්මයන් ගේ පහළ වීමසිදු වන්නේ.

බෝධිපාක්ෂික ධර්ම වඩමින් පටිච්ච සමුප්පාදයේ සමුදය දැක ගන්නා උත්තමයා එහි නිරෝධයත් දැක ගන්නවා. හේතුන් නිසා හට ගත් සියල්ල ඒ හේතූන් ගේ නිරෝධයෙන් නිරුද්ධ වී යන අයුරු දැකගත් විට ඔහු සංසාරයේ නිරෝධය දකිනවා. ගොඩනගා ගත් දුක නම් වූ ලෝකයේ නිරෝධය එය ම බවත් ඔහු ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂය ම දුකෙහි නිරෝධයට මාර්ගය විවර කර දෙනු ලබනවා.

පටිච්චසමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට දෙවැනි උදානය පළ කළ භාග්‍යවතුන් වහන්සේ, ප්‍රත්‍යයයන් ගේ ක්ෂය වීයෑම නුවණින් දැන ගන්නා බ්‍රාහ්මණයා ගේ සියලුසැක නිරුද්ධ වී යන බව වදාළේ ඒ නිසයි.

මේ අයුරින් පටිච්චසමුප්පාදය මනා කොට දැන ගන්නා ශ්‍රාවකයා බුදු සමිඳුන් වදාළ ධර්මය දැකගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ශ්‍රීමුඛ පාඨයක් උපටා දක්වමින් වදාළේ, "යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකියි. යමෙක් ධර්මය දකියි ද ඔහු පටිච්චසමුප්පාදය දකියි" යනුවෙනු යි.

කාම මායාජාලයක හිරවී, කෙමන මුවට හසු වූ මාලු රැලක් මෙන් මාර වසඟයට හසු වී සිටින සත්වයාට එම වසඟයෙන් ගැලවීමේ අවකාශ සැලසෙන්නේ සංසාර රහස වූ පටිච්චසමුප්පාදය අවබෝධ කර ගැනීමෙන් මයි‍. බෝධිපාක්ෂික ධර්ම පහළ කරගත් ශ්‍රාවකයා, අඳුර දුරුකරමින් අහස බබුළුවන හිරු මෙන්, මාර සේනා කම්පා කරමින් සිටින බව බුදු රජුන් තෙවන උදානය ලෙස වදාළේ ඒ නිසයි.

සංසාර සාගරයෙන් එතෙර වනු කැමති අප විසිනුත් මේ පටිච්ච සමුප්පාදය මනා කොට නුවණින් මෙනෙහි කිරීම සිදු කළ යුතු වෙනවා. එය අපහට ඒකාන්තයෙන් ම සියලු දුකින් නිදහස් වීම පිණිස හේතු වනු ඇති. නිකෙලෙස් හදමඩලක් දරා ලෝකය සුවපත් කරමින් වැඩම කළ පළමු රහතන් වහන්සේලා සැට නම, සම්බුදු සමිඳුන් ගේ සාම සන්දේශය රැගෙන දඹදිව් තලය පුරා පිටත් ව වැඩි මේ උතුම් ඉල්පොහෝ දිනය, භාග්‍යවතුන් වහන්සේ ගේ දහම දකින්නට ම වෙන් කළ දිනයක් බවට පත් කර ගනිමු. බෝධි පාක්ෂික ධර්මයන් වඩා සහේතුක ධර්මයන් දැකීම තුළිනුත්, ප්‍රත්‍යයන් ගේ ක්ෂයවී යෑම නුවණින් දැනගැනීම තුළිනුත් දහම කෙරෙහි පවතින සියලු සැකසංකා දුරු කර ගැනීමේ භාග්‍ය උදාවේවා.

තෙරුවන් සරණ යි!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails