Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

හිතවත​....,

Wednesday, November 3, 2010 , at 9:12 AM

හිතවත…., අපි මත්වී සිටින බව අපි නොදන්නෙමු. මත්වීම අපේ ජීවිතයට සාපයක් වී ඇති බව අපි නොදන්නෙමු. එනිසා අපට අපගේ ජීවිතයේ සැබෑ අරුත හඳුනා ගන්නට නොහැකිව ප්‍රමාද වී සිටින්නෙමු.

හිතවත, රෝහලක ඇඳක් අප වෙනුවෙන් සුදානම් කරලයි තියෙන්නේ. පැත්තක සේලයින්, පැත්තක ඔක්සිජන්, පැත්තක නාසයට දමා බට….. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ ඒ ඇඳ වෙතටයි. ඒකාන්තයෙන්ම අප දරුණු ලෙස රෝගාතුර වන දිනයක් ලඟ එනවා. නමුත් ආරෝග්‍ය මදයෙන් මත්වී සිටින අපට ඒක වැටහෙන්නේ නෑ.
හිතවත, තව නොබෝ දිනකින් අප හැරමිටියේ වාරුවෙන් ඇවිදින, දරුවන්ගේ උපකාරයෙන් කන-බොන, වැසිකිලි-කැසිකිලි කරන්නට ඔසවාගෙන යන මහල්ලන් බවට පත් වෙනවා. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ ඒ මහලු ජීවිතය වෙතයි. නමුත් තරුණ මදයෙන් මත්වූ අපට ඒක තේරෙන්නේ නෑ.

හිතවත, අප වෙනුවෙන් ලස්සනට තීන්ත කරපු, වටේ මල් සැරසිලි අහුරපු පෙට්ටියක් සූදානම් කරලයි තියෙන්නේ. අකමැත්තෙන් වුවත් බඩවැල් බොකු අයින් කරගෙන සුදු ඇදගෙන අපට ඒ පෙට්ටියේ වැතිරෙන්න වෙනවා. දිනෙන් දින මොහොතින් මොහොත අප ගමන් කරමින් සිටින්නේ ඒ පෙට්ටිය වෙතයි. නමුත් ජීවිත මදයෙන් මත් වූ අපට ඒක තෙරෙන්නේ නෑ.

අපගේ ජීවිත තුල පවතින මේ ස්වාභාවයන් අපට පෙන්වා දෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි. මේ ත්‍රිවිධ මදයෙන් මත්වූ අපට අපගේ ජීවිතයේ සැබෑ ප්‍රශ්නය හඳුනා ගන්න බැරිවෙලා. හිතවත, අපගේ සැබෑ ප්‍රශ්නය නම් මේ ලෙඩ වීමයි…. වයසට යාමයි…. මරණයට පත්වීමයි. ඇත්තටම මේ ජරා මරණම උරුම කරගත් ඉපදීමෙන් නිදහසක් ඇත්තේම නැද්ද...?
ආරෝග්‍ය මදයෙන්, තරුණ මදයෙන්, ජීවිත මදයෙන් මත් වූ ලෝක සත්වයා කයින්, වචනයෙන්, සිතින් දුසිරිතේ හැසිරිලා නිරයේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.

හිතවත, ඔබ හිතන්න පුලුවන් අපි මේව ඔක්කොම දන්නවා. අපි යමක් කරගෙන ඉන්නේ. අපි අනතුරින් බේරිල ඉන්නේ කියලා. ඒ සිතුවිල්ලත් මේ ජීවිතයට ශාපයක්….! අපි හිතන්න ඕන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා.

"අහන් න ජානාමි, භගවා ජානාති"
(භාග්‍යවතුන් වහන්සේ දන්න සේක. මම වනාහී නොදනිමි.)

හිතවත, ඔබේ වාසනාව ඔබ හදුනා ගන්න. මිනිස් ලොව බුද්ධිමත් මිනිසෙකු ලෙස ඉපදීමේ භාග්‍ය ඔබට උදාවී ඇත. බෞද්ධ මවකගේ කුසේ පිලිසිඳ ගත් නිසා උපතින්ම බෞද්ධයෙකු වීමේ භාග්‍ය ද ඔබට උදාවී ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල නිර්මල පිවිතුරු චතුරාර්‍ය සත්‍ය ධර්මය ඒ අයුරින්ම ලෝකයට දේශනා කරන කළ්‍යාණ මිත්‍ර සම්පත්තියත් ඔබට හිමි වෙලා. මේ කළණ මිතුරන් ඇසුරු කර බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඔබේ ජීවිතයට එකතු කරගතහොත් මෙලොව ජීවිතයද සැපවත් කරගෙන මතු මත්තේ උපදින ජීවිත ප්‍රනීත සැපවත් ජීවිත බවට පත් කරගත හැකියි.

ලෝකයේ අතිශයින්ම දුර්ලභ කළණ මිතුරු ඇසුර ඔබට හිමි වී, නිවී සැනහුන ජීවිතයක් වෙනුවෙන් දහම් ඇස පහළ වේවා....!

ඔබ සැමට තෙරුවන් සරණයි!!!

වෙල්ලස්සේ දම් සභාවෙන්....

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails