Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 7 ෴ පාවා සූත්‍රය

Thursday, November 25, 2010 , at 11:11 AM


බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

පාවා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, පාවා නුවර අජකලාපක නම් චෛත්‍යස්ථානයේ, අජකලාපක නම් යක්ෂයා ගේ වාස භවනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරෙහි එළිමහනේ වැඩ හුන් සේක. වැස්සද එක එක පොද හෙළයි.

එකල්හි අජකලාපක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේව බයට පත් කරුණු කැමති ව, භාග්‍යවතුන් වහන්සේට තැති ගැනීම්, ලොමු දහගැනීම් ඇති කරනු කැමැති ව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙන්, “අක්කුල, පක්කුල“ යනුවෙන් තුන්වරක් (අනුකරණ) ශබ්ද කළේ ය. ‘ශ්‍රමණය, ඔබ වෙත පිසාචයෙක් පැමිණියේ යැ‘යි කීවේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.


යදා සකේසු ධම්මේසු පාරගූ හෝති බ්‍රාහ්මණෝ
අථ ඒතං පිසාචඤ්ච පක්කුලඤ්චාතිවත්තති..

තේරුම »»»

යම් කලක (පව් බැහැර කළ) බ්‍රාහ්මණයා, ස්වකීය ධර්මයන් හි පරතෙරට ගියේ වේ ද, එකල්හි මේ පිසාචයා ද, පක්කුල ශබ්දය ද ඉක්මවා සිටියි.


භාවය »»»

යදා - යම් කෙලක,
බ්‍රාහ්මණෝ - බ්‍රාහ්මණයා,
සකේසු ධම්මේසු - ස්වකීය ධර්මයන් හි,
පාරගූ හෝති - පරතෙරට ගියේ වේ ද,
අථ - එකල්හි,
ඒතං - මේ,
පිසාචං ච - පිසාචයා ද,
පක්කුලං ච- පක්කුල ශබ්දය ද,
අතිවත්තති - ඉක්මවායයි.




සටහන »»»

භාග්‍යවතුන් වහන්සේ යනු මේ මුළු තුන් ලොවෙහි ම පහළ වූ නිර්භීතම මනුෂ්‍යයාණෝ යි. උන්වහන්සේ තුළ බිය තැතැගැනීම් ලොමුදහගැනීම් ඇති කිරීමට, දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුටත් නො හැකිය. සිතීම් මාත්‍රයෙන් පවා බිය තැතිගැනීම් ඇතිවන සුළු අතිභයානක ස්ථානයන් හි භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාව ම වැඩහුන් සේක. එසේ ඝන අන්ධකාරයේ වැඩ සිටි බොහෝ අවස්ථාවල මාරයා ද නොයෙකුත් අමනුෂ්‍ය පිරිස් ද භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැනීම් ඇති කිරීමේ අරමුණින් විවිධ වේශ ගෙන පැමිණි නමුත්, ප්‍රඥා ආලෝකයෙන් ඒකාලෝක වී ගිය පිවිතුරු සිත් මඞලක් සහිත වූ උන්වහන්සේ තුළ අංශුමාත්‍ර බියක් හෝ ඇති කිරීමට ඒ කිසිවෙකුත් සමත් නො වීය.

මෙදින භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අජකලාපක නම් යක්ෂයා ගේ භවනෙහි යි. රාත්‍රී ඝන අන්ධකාරයේ වැස්සද එක එක පොද හෙළන මොහොතක, යක්ෂයෙකු ගේ භවනෙහි එළිමහනේ හුදෙකලාව ම බුදු රජුන් වැඩ සිටින ඒ දර්ශනය පිළිබඳව මොහොතක් සිතන්න. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් එවන් අවස්ථාවක් කෙතරම් බිය ගෙන දෙන්නේ ද..?

තමන් ගේ භවනට පැමිණ මෙසේ නිහඩව ම වැඩ සිටිනා ආශ්චර්ය අද්භූත උත්තමයාට බිය තැතිගැනීම් ඇති කිරීම පිණිස නුනුවණින් සිත මෙහෙයවූ අජකලාපක යකු, භාග්‍යවතුන් වහන්සේට නුදුරේ අති බිහිසුණු ‘අක්කුල පක්කුල‘ නම් අනුකරණ හඩක් නැගීය.

එනමුත් ස්කන්ධ ධාතු ආයතන ආදී ස්වකීය ධර්මයන් හි පරතෙරට වැඩි තථාගතයන් වහන්සේ ගේ ලෝමයකුදු එයින් නො සැලිනි. අරමුණුත්, අරමුණු හට ගන්නා ආකාරයත්, ඒවා ඔස්සේ වේදනා සඤ්ඤා චේතනා, විතර්ක ප්‍රපංච බිය තැතිගැනීම් ආදිය ගොඩ නැගෙන ආකාරයත් මහා ප්‍රඥාවෙන් දැක, ඒ සියල්ලෙන් නිදහස් වී සිටි භාග්‍යවතුන් වහන්සේට එම හඞ තවත් එක් අනිත්‍ය වී යන ශබ්දයක් පමණක් ම වීය.

සාමාන්‍ය පුද්ගලයෙක් සිහි සුන් කිරීමට තරම් භයානක එම ශබ්දය ශ්‍රවණය කිරීමෙන් පසු තථාගතයන් වහන්සේ ගේ නො සැලෙන හද මඩලින් පැන නැංගේ දහම් රසය කැටිවුණු තවත් එක් ප්‍රීති වාක්‍යයක් පමණි. සාමාන්‍ය ලෝක සත්වයාත් ඒ අසම සම නිකෙලෙස් මුණි රජුන් ගේත් ඇත්තේ කෙතරම් නම් සුවිශාල වෙනසක් ද..? ඒ මහා මුණින්ද්‍රයාණන් වහන්සේ සරණ යන්නට ලැබීම සැබෑම වාසනාවක් නො වන්නේ ද..?

සාදු සාදු සාදු!!!

Bookmark and Share

Currently have 1 comments:

  1. Chandrika says:

    sadu...sadu....sadu........godak pin.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails