Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

භගවත් මුනිරජුන් ගේ ප්‍රීති වාක්‍ය - 5 ෴ ථේර සූත්‍රය

Tuesday, November 23, 2010 , at 10:59 AM


බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොඳුරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

ථේර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා ගේ ජේතවන නම් ආරාමයේ වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකච්චායනයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පිනයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවතයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ, එසේ පැමිණෙන ඒ ආයුෂ්මතුන් වහන්සේලා ව දුරදීම දුටු සේක. දැක භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.

“මහණෙනි, මේ බ්‍රාහ්මණයෝ එති, මහණෙනි මේ බ්‍රාහ්මණයෝ එති“

භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළ විට, එක්තරා බ්‍රාහ්මණ ජාතික භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේ ය.

“ස්වාමීනි, බ්‍රාහ්මණයෙක් වන්නේ කොපමණකින් ද.? බ්‍රාහ්මණ භාවය ඇති කරන ධර්ම මොනවා ද..?“

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.


බාහිත්වා පාපකේ ධම්මේ යේ චරන්ති සදා සතා
ඛීණසංයෝජනා බුද්ධා තේ වේ ලෝකස්මිං බ්‍රාහ්මණා‘ති.

තේරුම »»»
යම් කෙනෙක් ලාමක අකුසල් දහම් බැහැර කොට දමා, සැම කල්හි ම සතියෙන් යුතු ව ජීවිතය ගත කරයි ද, ක්ෂය කරන ලද සංයෝජන ඇති, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ, ඔවුහු ඒකාන්තයෙන් ම ලෝකයේ බ්‍රාහ්මණයෝ වෙත්.


භාවය »»»

යේ - යමෙක්,
පාපකේ ධම්මේ - පාපී ධර්මයන්,
බාහිත්වා - බැහැර කොට දමා,
සදා - හැම කල්හි,
සතා - සිහියෙන් යුතු ව,
චරන්ති - හැසිරෙත් ද,
ඛීණ සංයෝජනා - ක්ෂණ කරන ලද සංයෝජන ඇති,
බුද්ධා - චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ,
තේ - ඔවුහු,
වේ - ඒකාන්තයෙන්,
ලෝකස්මිං - ලෝකයෙහි,
බ්‍රාහ්මණා ඉති - බ්‍රාහ්මණයෝ වෙති යි.




සටහන »»»

සැබැවින් ම මේ සූත්‍ර ධර්මය ඉතා අසිරිමත් එකකි. මුළු සිරුරම ලොමු දැහැගන්වන තරම් අසිරිමත් එකකි. සාරිපුත්ත, මහාමොග්ගල්ලාන, මහාකාශ්‍යප, මහා කච්චායන ආදී නික්ලේෂී හදමඬලක් දැරූ මහමුනිවරන් වහන්සේලා ශාන්ත ඉදුරන් ඇතිව, සංසුන් ගමනින්, සිය ශාස්තෘන් වහන්සේ වූ මුනිවරුන් අතර රජුවූ මහඉසිවර බුදු සමිඳුන් බැහැ දැකීම පිණිස වැඩම කරන ඒ දසුන කෙතරම් සුන්දර වන්නට ඇද්ද, කෙතරම් ආශ්චර්ය අද්භූත වන්නට ඇද්ද.?

එදා භාග්‍යවතුන් වහන්සේ රක්තවර්ණ තිරයකින් වටකරන ලද්දාක් මෙන්, ස්වර්ණ ප්‍රාසාදයක් මිනිවන් පබළු ධජ වලින් වට කරන ලද්දාක් මෙන්, මහත් හංස සේනාවක් පිරිවරාගත් හංසරාජයෙකු මෙන්, චතුරංගිනී සේනාව පිරිවරාගත් සක්විති රජිඳෙකු මෙන්, මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන, අහස් තලයෙහි ඔසවා තැබූ පුන් සඳ මෙන්, උපමා විශය ඉක්මවාලමින්, සිවු වනක් පිරිස මැද ධර්ම දේශනා කරමින් වැඩහුන් සේක. අග්‍රශ්‍රාවකයින් වහන්සේලා ඇතුළු ඒ මහා බ්‍රාහ්මණවරු භාග්‍යවතුන් වහන්සේ ගේ පා කමල් වන්දනා කරන්නට පැමිණියේ ඒ අසිරිමත් මොහොතේ ය. එසේ වැඩම කරනු ලබන මහා ශ්‍රමණයන් වහන්සේලා ගේ ගුණ සිව්වනක් පිරිස මැද ප්‍රකාශ කරන්නට කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි මේ බ්‍රාහ්මණයෝ එති, මහණෙනි මේ බ්‍රාහ්මණයෝ එති“යි කියා පැවසූ සේක. අනතුරුව බ්‍රාහ්මණ ජාතික භික්ෂූන් වහන්සේ නමක් විසින් විමසන ලද පැණයට පිළිතුරු වශයෙන් සැබෑ බ්‍රාහ්මණ ධර්මයන් දේශනා කොට වදාළ සේක..

සාදු! සාදු!! සාදු!!!

Bookmark and Share

Currently have 1 comments:

  1. ඒ නිකෙලෙස් මුනිවරු සැබැවින්ම ආශ්චර්‍යයයි...!!!
    සාදු! සාදු!! සාදු!!!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails