Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බොදුනුවන්ගේ 'මලකඩ' සෝදා හැරීම පිණිසයි...! ~ 'බුදු දහම සහ භාව සෞන්දර්‍යාත්මක රසවින්දනය​'

Monday, September 6, 2010 , at 3:55 PM

බුදු දහම,සෞන්දර්ය ඇගැයීමට ලක් නොකරන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය මත පදනම් වූ දහමකැයි ඇතැම් බටහිර විචාරකයෝ පවසති. එසේ වූවද බුදු දහම සෑම විටම නිරාමිස සෞන්දර්යය අගය කළ දහමක් බවට වටහා දීමට වුවමනා තරම් සාධක බෞද්ධ සාහිත්‍යයෙන්ම පෙන්වා දිය හැකි වේ. බුදු දහම පෙන්වාදෙන ආකාරයට මෙලෙස සතර ආකාරයකින් ඒ බැව් ඉස්මතු කළ හැකි වේ.

1-බුදුරදුන් සෞන්දර්ය අගය කළ බව
2-රහතන් වහන්සේලාගේ සොබා සෞන්දර්ය ඇගයීම
3-රහත් මෙහෙණින් වහන්සේලා ස්වභාව සෞන්දර්ය හා ජීවිත යථාර්ථය කුළුගන්වමින් ඉදිරිපත් කර ඇති සෞන්දර්ය ඇගයීම්
4-බුදු දහම ආරම්භ වූ වකවානුවේම සෑම දේශයකම විහාරස්ථාන මුල්කරගෙන කලා ශිල්ප සහ නිර්මාණ බිහි වී ඇති බව

බුදුරජාණන් වහන්සේ සෞන්දර්ය පි‍්‍රයකළ බවට සාධක සූත්‍ර හා විනය පිටකයෙහි දක්නට ලැබේ. ගිහිගෙහි සිටියදී රජකුමරකු ලෙස අසීමිත සුඛවිහරණයක් ලබන්නට සිදුහත් කුමරුන්ට හැකියාව නිරතුරුවම නැටුම්, ගැයුම්, වැයුම් සහිත රජමැදුරේ සෞන්දර්ය හා බද්ධව දිවි ගෙවූ තුරුණුවියක් සිදුහත් චරිතය විමසා බලන කළ අපට හමුවේ. එනිසාම ගිහිගෙය අතැර ගිය නිරාමිස සෞන්දර්යකාමීත්වය අමතක නොකළ බවට ද සාධක ‘මහා පධාන’ හා ‘පබ්බජ්ජා’ යන සූත්‍රවල සඳහන්ව ඇත.

ගිහිගෙයින් නික්මී භාවනාවට සුදුසු ස්ථානයක් සොයමින් ඇවිද ගිය සිදුහත් බෝසතාණන් වහන්සේට ඇසගැටුනේ ඉතා සුන්දර වනඅරණකි. එනම් උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ය. හාත්පස රමණීය බව වන අරණේ චමත්කාරය දැඩිව දැනවූයේ ය. එහි සුන්දරත්වයෙන් චිත්ත පී‍්‍රතියට පත් බෝසතාණන් වහන්සේ කළ වර්ණනාව තුළ අතිශය තියුණු පරිසර වැනුමක් දක්නට ඇත. මජ්ඣිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රයේ ද මේ බව සඳහන් වේ.

“මේ භූමි භාගය ඉතා රමණීයයි. වන අරණ ප්‍රසාද ජනකයි. මනා වූ තොටුපල ඇති සුදුවැලි තලා මැදින් ගලායන නදිය ද සිත් සනසවන සුළු ය. පදං වීර්යය වඩනු කැමැති කුල පුත්‍රයකුට මීට වඩා සුදුසු ස්ථානයක් තවත් කොයින් ද?..." යනා දී වශයෙනි.

බුදුරදුන් නිතර ඇසුරු කළා වූද, බුද්ධ චාරිකාවේ ඉතා වැඩිකලක් ගත කළා වූ ද, විශාලා මහනුවර හා රජගහනුවර පිහිටි සෞන්දර්ය අතින් අනූන බොහෝ තැන් බුදුරදුන්ගේ සෞන්දර්යකාමී නෙතට ග්‍රහණය වී ඇති අයුරු පෙනේ. ඒ අයුරින් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී වර්ණනාවට ලක්කරයි. රජගහනුවර නීග්‍රෝධාරාමය, චෝර ප්‍රපාතය පාණ්ඩව හා වේහාර පර්වතයන් විශාලා මහනුවර පිහිටි උදේන, ගෝතමක, බහුපුත්තක, සාරානන්ද, චාපාල ආදී චෛත්‍යයද මනරම් බව බුදුරදුන් වර්ණනා කොට ඇත.

බුදුරදුන්ගේ සෞන්දර්ය රසාඥතාව කෙතෙක් ද යන්න දීඝ නිකායේ සක්කපඤ්ඤ, මහා පරිනිබ්බාන හා ආටානාටිය යන සූත්‍ර විමසීමෙන් ද තහවුරු කරගත හැකි ය. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය, මාර සංයුක්තය ආදියෙන් ද මෙයට නිදසුන් ලබාගත හැකි ය. දිනක් ශක්‍රදේවේන්ද්‍රයා බුදුරදුන් බැහැදැකීමට යාමට පිටත් වූයේ දෙව්ලොව වීණාවාදකයා වූ පංචශීඛද කැටිවය. සිය ‘බේළුවපණ්ඩු’ වීණාවද රැගෙන ශක්‍රදේවේන්ද්‍රයා හා පසුපස ගිය පංචශිඛට ‘ඉන්ද්‍රශාලා’ ගුහාවෙහි ධ්‍යාන පරවශව වැඩසිටින බුදුන්වහන්සේ දැක ගන්නට ලැබිණි. බුදුරදුන්ට බාධා කිරීම නොමැනවැයි සිතූ දෙදෙන අතරින් පංඛශිඛ බුදුරදුන් පී‍්‍රති ප්‍රමෝධයට පත්වන අයුරින් වීණාව හඬවමින් ගීතයක් ගයන්නට විය.

“වන්දේ පිතරං වන්දේ
තිබරුං සූරිය වච්චසේ
යේන ඡායාසි කල්‍යාණි
ආනන්ද ජනනී මම”

යනුවෙන් ගායනා කරමින් බුදුරදුන් ප්‍රසාදයට පත් කරවූහ.

පළමුව බුද්ධ, ධම්ම, සංඝ යන ගුණයන් ද වර්ණනා කරමින් සිය පෙර පෙම්වතියගේ රූපශ්‍රීය පිළිබඳව වර්ණනා කළහ. සූරියවච්චසා නමැති මෙවන් රූපශ්‍රීයෙන් යුතු දියණියක දායාද කළ පියතුමන්ට ද ආශිර්වාද කළේ ය. මෙම ගායනය ශ්‍රවණය කළ බුදුරදුන් ‘පංචශිඛ’ අමතා ප්‍රසංශා කළහ. කාමුපසංහිත, බුද්ධසංහිත, ධම්මූසසංහිත, අරහංතුපසංහිත ගුණයන් අඩංගුව පැවැති බවත් තත්තීස්වරය හා ගීතස්වරය මනාලෙස සංකලනය වී තිබූ බවත් ‘පංචශිඛ’ අමතමින් කියා සිටියහ. මේ බව දීඝ නිකායේ සක්කඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ. තවද, බුදුන් වහන්සේ ආටානාටිය සූත්‍රයේ දී කුවේරගේ ආලකමන්දාව පිහිටි රමණීය භූමි භාගය ද වර්ණනාවට ලක් කරන්නේ මෙලෙස ය.

“කුකුත්තකා කුලීරකා - වනේ පොක්කර සාටකා
සුඛ සාලිත සද්දෙත්ථ – දණ්ඩ මානව කානිච" ආදී වශයෙනි.

මෙලෙස නිරාමිස සෞන්දර්ය බුදුරජාණන් වහන්සේ කිසිකලෙකත් පිළිකෙව් කළේ නැත.

බුදුරදුන් මෙන්ම විරාගික රහතන් වහන්සේලා හා රහත් මෙහෙණින් වහන්සේලාගේ සෞන්දර්ය ඇගයීම් ද අවධානයට ලක් කිරීම වැදගත් ය. ථෙර ගාථාවන්හි රහතන්වහන්සේලාගේ උදානයන්ද ථෙරිගාථාවල එන සෞන්දර්ය ඉදිරිපත් කිරීම් ආධ්‍යාත්මික විමුක්තිය එකට කැටිකරයි.

‘අජකරණී’ නදිය අසබඩ බවුන් වැඩූ සප්පක හිමියන්, සන්ධ්‍යා කාලයේ අහස් කුස වලා කුළුවලින් බරව අකුණුසර නැඟෙද්දී ඉන්බියට පත් වූ සුදු කොකුන් රෑන අහසට නැඟී පියඹා ගිය මනරම් දසුනින් ප්‍රමුදිතව එය පියකරු දසුනකැයි ප්‍රකාශ කළහ.

“යදා බාලකා ප්‍රවිපණ්ඩ රච්ඡදා
කලස්ස ටෙඝස්ස භයේන තජ්ජිතා
පාලේහීති ආලය මාලයේසිනී
තදා නදී අජකරණී රමේති මං”

“එදා කොකුන් සුදු පියා විදාලා
බයෙන් තැවී කළු වලා පෙනීලා
අහස් නැඟී යන නිවෙස් බලාලා
අජකරණී ගඟ මා සිත ගත්තී” ආදී වශයෙනි.

සුදොවුන් රජුගේ ඉල්ලීම පරිදි බුදුරදුන්ට කිඹුල්වතට වඩින්නැයි ආරාධනා කළ කාළුදායි තෙරණුවෝ එයට සෞන්දර්ය හා මුසුකළ නවතම අත්දැකීමක් ලෙස ඉදිරිපත් කළ ආකාරයක් දක්නට ඇත. “කිඹුල්වතින් හමා එන සුළඟ ද මට සැපතකැයි” වදාළ බුදුරජාණන් වහන්සේ අරභයා ආරාධනා කළේ මනරම් පරිසරයේ චමත්කාරයද වර්ණනාවට නගමිනි.

“අංගාරිනෝදානී දුමා භදන්තේ
එලේසිනෝ ජදනං විප්පහාය
තේ අච්චිමන්තෝ ච පහාසයන්තී
සමයෝ මහාවීර භගී රසානං
දුමානි පුල්ලානි මනෝරාමානී
සමත්තෝ සබ්බ දිසා පවන්තී
පත්තං පහාය ඵලමාසමානා
කාලෝ ඉතෝ පක්කමනාය මහාවීර”

කාළුදායි තෙරණුවෝ බුදුරදුන් හමුවේ කියා සිටියේ අවට ගහකොළ සුපිපි මලින් බර වී හාත්පස සුගන්ධයෙන් පිරී ඇත. පැරැණි පත් සලා නව දළු දමා අලංකාර වූ වනස්පතීන් ගිනිපුපුරු මෙන් අලංකාර වී ඇත. ඇතැම් තුරුවැල් පන්දම් දැල් වූ කලෙක මෙන් පෙළ ගැසී බලා සිටිනවා වැන්න. ආලෝකයත් සුගන්ධයත් පැතිර ඇති මේ අවට පරිසරය කෙතරම් ආශ්චර්යවත් ද” යනුවෙන් පරිසරයේ සුන්දරත්වය වර්ණනා කරන කාළුදායි තෙරණුවෝ බුදුරදුන්ට ආරාධනා කර සිටින්නේ අතිශය ප්‍රභාවත් වූ මේ පරිසරය මැදින් කිඹුල්වතට වඩින ලෙසයි.

ථෙර ගාථාවන්හි එන ඒක විහාරීය මහ රහතන් වහන්සේලාගේ පරිසර වර්ණනා තුළ වූ සෞන්දර්යය ඇගයීම් ද අතිශය තියුණු බවක් දක්නට ලැබේ. භාවනානුයෝගීව මෙන්ම සක්මනේ යෙදී සිටින අවස්ථාවල පරිසරයේ දක්නට ලැබෙන සොබාදහමේ බොහෝ සුන්දර දේ උන්වහන්සේලාගේ ඇගයීමට ලක්ව ඇති බව පෙනේ.

“සුපිප්පිතේ සීත වනේ - සීතලේ ගිරි කන්දරේ
ගත්තානි පරිසිඤ්චිත්තා - වංකස්සාමි ඒකකෝ
මාලුතේ උපවායන්තේ - සිතේ සුරභී ගන්ධිකේ
අවිජ්ජං දළයිස්සාමී – නිසින්නොනග මුද්ධානි
වනේ කුසුම සඤ්ජනේ – පබ්බහාරේ නූන සීතලේ
විමුක්ති සුඛේත සුඛිතෝ - රමිස්සාමි ගිරිබ්බජේ"

සිංහල අර්ථය:

පිපුණු මල් පිරි සීත වනයේ
ගිරි කඳුරු ඇති සීතලේ
ගතදියෙන් දොවාලා
යෙදෙමි තනියම සක්මනේ
සීත සුන්දර මන්ද මාරුත
සුවඳ පතුරා හමන කල්හී
පව්ව මුදුනේ රැඳී සිටම
අවිදු ගනඳුර නසාලන්නෙමි
මල් පිපී ඇති සීත වන රොද
සිහිල පිරි කඳු බෑවුමේ
නිවන් සුවයෙන් සුඛිත වූවෙමි
විඳිමි රසගිරි බෑවුමේ

වන අරණේ භාවනා සුවයෙන් වැඩ වසන ගෝධික තෙරණුවෝ සිය කුටියේ සිට වහින වැස්සේ සුන්දරත්වය දකින්නේ “දේවෝ වස්සති යථා සුගීතං” යනුවෙනි. එලෙසම සම්බුල කච්ඡායන තෙරණුවෝ වැස්සේ අසිරිය දැකීමෙන් “දේවෝච වස්සති දේවෝ ගල ගලා යති” යනුවෙන් තම පි‍්‍රය ජනක ගුහාවෙහි සිට විමුක්තිය අරමුණු කළහ. සිරිවඩ්ඩ තෙරණුවෝ වේහාර හා පාණ්ඩව යන පර්වතයන්ට මුහුණලා, බවුන් වඩමින් සිටියදී මේ කඳු අතර මැද නිම්නයේ විදුලි රේඛා ඇදෙමින් මැකෙමින් හෙනහඬ නඟා අකුණු පුපුරා යන අයුරු දුටහ. වළාකුලින් ගැබ්බර වූ අඳුරු අහසේ ඇති බියකරු බව තෙරණුවෝ දුටුවේ ආශ්චර්යවත් දසුනක් ලෙස ය. පර්වත මැද දිදුලන විදුලිය මනරම් චිත්‍රයක් ආලේප කර ඇති සෙයකි. ථෙර ගාථා වල ඒ බව සඳහන් වන්නේ, “විවර මනු පසන්ති විජ්ජුතා වේභාරස්සක” ආදී වශයෙනි.

එමෙන්ම ‘තාලපුට’ හිමියෝ මොණරුන් දැක උදම් අනද්දී ‘රාමන්‍යෙයක’ තෙරණුවෝ දඬුලේනුන් දැක උදම් අනන අයුරු ථෙර ගාථා වල සඳහන් වේ.

විරාගී තෙරණියන් වූ මුක්තා, සුභා, අම්බපාලී තෙරණියන්ගේ උදානයන් බුදු සමය හා සෞන්දර්ය අතර ඇති සබැඳියාව මනාව විවරණය කරනු දක්නට ලැබේ. ජීවක අඹ වනයේ විසූ සුභා තෙරණිගේ මේ උදානය ද එවැන්නකි.

“මධුරන්ච පවන්ති සබ්බ සෝ කුසුම රජේන - සමුට්ඨිතා දුමා...”

යනුවෙන් අවට ප්‍රභාමත් පරිසරය හා සුගන්ධවත් මලින් සුවඳවත් වී ඇති අයුරු, ‘ධූර්තයා’ වර්ණනා කළ අයුරු එහි සඳහන් ය.

මෙලෙසින් බුදුරදුන්ගේ හා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සෞන්දර්ය ඇගයීම් ත්‍රිපිටකය පුරාම දක්නට ලැබේ. ඒවා අපූරු පරිසර වැනුම් වලින් අලංකෘතය.

නන්දි අලුත්ගේ රත්නවීර
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/09/01/tmp.asp?ID=fea03

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails